පළමු යොවුන් තරගාවලියේ දී ම වීරයා වූ “සාලින්ද”

1495

මේ වන විට 23 හැවිරිදි වියේ පසුවන සාලින්ද උෂාන් කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි දක්ෂ වමත් පිතිකරුවෙකි. ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම නියෝජන කරමින් සහභාගී වූ පළමු තරගාවලියේ දී ම තරගාවලියේ වීරයා වීමට සාලින්ද සමත් විය. ඔහු 2016 වසරේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ද නියෝජනය කළේය.

“මගේ අයියා දිනූෂ පෙරේරා. අයියත් ඒ දවස්වල ගියේ ඉසිපතනෙට. මගේ පොඩි කාලේ මම දකින්නේ අයියා ක්‍රිකට් ගහනවා, රග්බි සෙල්ලම් කරනවා. ඉතිං අයිය තමයි මගේ ලෝකෙ වීරයා වෙන්නේ. මම නිතරම උත්සාහ කළේ අයිය කරන දේ කරන්න. ඒත් මට රග්බි අලල්ලා ගියේ නැහැ. ක්‍රිකට් තමයි අල්ල ගන්න පුළුවන් වුනේ” සාලින්ද තම අතීතය සිහිපත් කළා. 

සාලින්ද සිය සොයුරු දිනූෂ සමඟ

සාලින්ද දෙදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා. අයියා දිනූෂ කොළඹ ඉසිපතන විද්‍යාලයේ ක්‍රිකට් සහ රග්බි කණ්ඩායම් දෙකේම නායකත්වය දැරූ කෙනෙක්. ඔහු පාසල් ගමන නිමා කරන්නේ කොළඹ රාජකීය විද්‍යාලයෙන්. වර්තමාන පදිංචිය මව්බිමෙන් දුර මෙල්බර්න් නුවර. 

“මම මුලින්ම ක්‍රිකට් ගහන්න යන්නේ 3 පන්තියේ දී විතර. ඒ අයියත් එක්ක රෝයි ඩයස් ක්‍රිකට් ඇකඩමියට. එතැන දී ඉගෙන ගත්ත දේ අයිය නැවත ගෙදර ඇවිත් මට කියල දෙනවා. වැඩියෙන්ම කියල දෙන්නේ බැට් කරන විදිහ. මේ නිසා මට බැට් කරන්න වැඩි අවස්ථා ලැබෙනවා. මම තව තවත් ප්‍රශ්න අහමින් වැඩි වැඩියෙන් බැට් කරනවා. ඒ බැට් කරන්න තියෙන ආසාවට. පස්සෙ අයිය මේ හොරේ අල්ල ගන්නවා. ඒත් ඉතිං ලැබුණ හැම වෙලාවකදිම මම බැට් කළා. අයිය බෝල් කළා.” 

මෙහෙම ආරම්භ කළ සාලින්දගේ ක්‍රිකට් ගමනට ඉසිපතන විද්‍යාලය සම්බන්ධ වෙන්නේ ඊට වසර දෙකකට විතර පස්සේ. ඒ සාලින්ද 5 පන්තියේ සිටිද්දී. එතැන් සිට ඉසිපතන විද්‍යාලයේ වයස අවුරුදු 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ කණ්ඩායම් සියල්ලටම දායකත්වය ලබා දීමට සාලින්දට හැකි වෙනවා. 

රෝයි ඩයස් මහතාගෙන් යොවුන්  ශ්‍රී ලංකා වරම් දිනා ගනිමින්

මේ සෑම වයස් කාණ්ඩයකම විද්‍යාලයීය කණ්ඩායම් නායකයා බවට පත් වෙන්නටත් සාලින්දට හැකි වෙනවා. වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ අවුරුදු 5ක් ක්‍රීඩා කරන සාලින්ද 2016 වසරේ විද්‍යාලයීය පළමු පෙළ කණ්ඩායමේ නායකයා. එම වසරේ දී සාලින්දගේ කණ්ඩායම බස්නාහිර පළාත් දක්ෂතම කණ්ඩායම බවට පත් වෙනවා. 

“ඒ වෙද්දි මම ඉහළ දක්ෂතා පෙන්වමින් සිටියේ. 2014 අවුරුද්දේ Coca Cola Pathway එකේ දිවයිනේ දක්ෂතම පිතිකරු වුනේ මම.  ඒ වගේම වයස අවුරුදු 17න් පහළ පළාත් කණ්ඩායමේත්, වයස අවුරුදු 19න් පහළ පළාත් කණ්ඩායමේත් හිටියා. අපි බස්නාහිර පළාත් හොඳම කණ්ඩායම වෙද්දී මම ජනප්‍රියතම ක්‍රීඩකයා වුනා. මේ දක්ෂතාත් සමඟ 2015 වසරේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එක් වීමට අවස්ථාව ලැබෙනවා.”

සාලින්ද යොවුන් කණ්ඩායම හා එක්වු එම මංගල තරගාවලියේ දී ඔහු තරගාවලියේ වීරයා වගේම අවසන් මහා තරගයේ වීරයා ද වෙනවා. සාලින්ද එම තරගාවලියේ තරග 3ක දී ශතකයක් සහ අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු 239ක් රැස් කරනවා. එහි සාමාන්‍ය 119.5ක්. ඒ අවසන් තරගයේ දී ඔහු වාර්තා කළ ශතකය නොදැවී ලබා ගත් එකක් වීම නිසා. 

“මගේ මුල්ම යොවුන් ජාත්‍යන්තර තරගය සදා නොමැකෙන සිහිවටනයක් කර ගැනීමට මට හැකි වුනා. ඒ ගැන සතුටුයි. බොහෝ දෙනෙක් මගේ ඒ ඉනිම් තුන ගැන කතා කළා. ඒ වගේම කැමතිම ක්‍රීඩාංගණය වන පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී නොදැවි ශතකයක් වාර්තා කරන්නට ලැබීම ගැනත් සතුටු වෙනවා.” 

එම තරගාවලියෙන් පසුව සාලින්ද පාකිස්තානය සමඟත් සහ ඉන්දියාව සහ එංගලන්තය සමඟ පැවති තුන් කොන් තරගාවලියටත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩයම හා සමඟ එක්වෙමින් සහභාගී වෙනවා. 2016 යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට ද සාලින්ද සමත් වෙනවා. නමුත් ඔහුට එම තරගයේ දී ක්‍රීඩා කිරීමට ඉඩ ලැබෙන්නේ එක් තරගයකට පමණයි. බංග්ලාදේශයට එරෙහි එම තරගයේ දී සාලින්ද ලකුණු 40ක් ලබා ගන්නවා.

මේ කාලයේම සාලින්ද කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායම හා එක්වෙමින් වයස අවුරුදු 23න් පහළ තරගාවලිය නියෝජනය කරනවා. එම තරගාවලියේ දී තරග 6ක දී ලකුණු 300 සීමාව පසු කිරීමට සාලින්ද සමත් වෙනවා. ඊට පසු අවුරුද්දේ දී සාලින්දගේ ක්‍රිකට් නවාතැන වෙන්නේ බදුරලිය ක්‍රිකට් සමාජය. බදුරලියට පැමිණි පළමු අවුරුද්දෙම සාලින්ද ලකුණු 350 (තරග 4ක දී) සීමාව පසු කරනවා. දෙවැනි අවුරුද්දේ ලකුණු 600 (තරග 8ක දී)  පසු කරනවා. එතැන් සිට සාලින්ද තම දක්ෂතා මුදා හරින්නේ බදුරලිය කණ්ඩායමට. 

“Club ක්‍රිකට්වල මගේ හොඳම ඉනිම වෙන්නේ සී. සී. සී. කණ්ඩායමට එරෙහිව ලබා ගත් ලකුණු 154යි. එම තරගයේ දී අපට පරාජයෙන් ගැලවෙන්න නම් දීර්ඝ ඉනිමකට යන්න වුනා. ඒ වෙලාවේ මම පන්දු 300කට වැඩියෙන් මුහුණ දෙමින් කණ්ඩායම පරාජයෙන් ගලවා ගත්තා. ඒ මතකය තාම තියෙනවා.” 

සාලින්ද මේ වන විට පළමු පෙළ තරග 22කට සහභාගී වෙමින් ඉනිම් 34ක දී ලකුණු 1171ක් ලබා සිටිනවා. එහි සාමාන්‍ය 35.48ක්. 

සාලින්ද බදුරලිය ක්‍රිකට් කණ්ඩායමට අමතරව වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ දී පළමුව ජෝන් කීල්ස් කණ්ඩායමත් ඊට පසුව MAS ආයතන කණ්ඩයමත් නියෝජනය කරනවා. MAS කණ්ඩායම හා එක්වෙමින් සිටිය දී වසර 3ක් ජයග්‍රාහී කණ්ඩායමේ සාමාජිකයෙක් වීමටත් සාලින්ද වාසනාවන්ත වෙනවා. 

ඊට අමතරව විශ්වවිද්‍යාලයීය RedBull තරගාවලියේ දී ICBT කණ්ඩායම නියෝජනය කරමින් එහි නායකත්වය ද දැරුවා. එම තරගාවලියේ ශූරයන් වෙමින් ලෝක විශ්වවිද්‍යාලයීය තරගාවලියට ද සහභාගී වෙමින් තෙවැනි ස්ථානයට පත් වීමට ඔවුන් සමත් වෙනවා. 

තවත් විශේෂාංග ලිපි:

මේ සියලු දේ සමඟින් කාර්ය බහුල කාලයක් ගත කළ ද සාලින්ද වඩාත් ප්‍රිය කරන්නේ ගෙදරට වී සිටිමටලු. පියා සුමිත් පෙරේරා මහතා ව්‍යාපාරිකයෙක් හේතුවන් කාර්ය බහුල වෙද්දී මව සුජීවනි බෝධිපාල මහත්මිය ගෘහණියක ලෙසින් ගෙදර වැඩ කටයුතුවලට කොටු වී සිටී. 

“තාත්තා ව්‍යාපාරික කටයුතු හේතුවෙන් ගෙදර රැඳෙන වේලාව අඩුයි. අයියත් ඉන්නේ රට. අම්ම විතරයි ගෙදර ඉන්නේ. ඒ නිසා මම මගේ විවේකයෙන් වැඩි කාලයක් අම්මත් එක්ක ගත කරන්න පුරුදු වුනා. අම්මට උදව් කරමින් බොහොම නිදහසේ ඉන්න තමයි මගේ කැමැත්ත. මේ නිසාම මගේ හොඳම යාළුවා අම්මා බවට පත් වුනා. මගේ ක්‍රිකට් ජීවිතයේ බොහෝ දේවල් කතා කරන්නේ අම්මත්, තාත්තත් සමඟ. මේ නිසාම අම්මටත් , තාත්තටත් හොඳ ක්‍රිකට් දැනුමක් තියෙනවා. ඒත් ඉතිං තරග බලන්න නම් අම්ම කැමැත්තක් නෑ. තාත්ත වුනත් තරගයක් බලන්න එන්නේ කලාතුරකින්. ඒ වුනත් ඔවුන් මගේ ක්‍රිකට් ජීවිතයේ හැම අඩු පාඩුවක්ම හොයා බලනවා.”

සාලින්ද සහ ඔහුගේ ආදරණීය මව

සාලින්දගේ ක්‍රිකට් ජීවිතය කිසිදු බාධාවකින් තොරව ගලා ගියේ දෙමාපියන් ඔහු වෙත දක්වනු ලැබූ දායකත්වය හේතුවෙන්. අයියා, දිනූෂ පෙරේරා ද හැකි සෑම අවස්ථාවකම සාලින්දගේ ක්‍රිකට් ජීවිතයට සේ ම සාමාන්‍ය ජීවිතයේ වැදගත් අවැදගත් සෑම කරුණක් සමඟම මල්ලී සමඟ සිටිනවා. උදව් කරනවා. 

“ගොඩක් ලොකු ගමනක් ආවා. තවත් ඊට වඩා ලොකු ගමනක් යන්න තියෙනවා. මේ වෙනුවෙන් අම්මත්, තාත්තත් සහ අයියත් දක්වපු දායකත්වය මිල කරන්න බැහැ. තාත්තගේ බිස්නස් වැඩවලට වුනත් මාව සම්බන්ධ කර ගන්නේ නැහැ. ඒ මම ඒකට අවධානය යොමු කළොත් ක්‍රිකට්වලින් මගේ අවධානය බිඳෙයි කියලයි.”

සාලින්දගේ ආදරණීය පවුල

මේ අය සමඟ සාලින්දගේ පළමු පුහුණුකරුගේ සිටම මේ දක්වාම පුහුණු කිරීම් කටයුතු සිදු කළ සියලුම පුහුණුකරුවන් ද සාලින්ද ඉතා ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. ඒ වගේම ඉසිපතන විද්‍යාලයේ සියලු දෙනාමත් සහ බදුරලිය ක්‍රිකට් සමාජයේ නිලධාරීන් සහ තම සහෝදර ක්‍රීඩකයනුත් තමන්ගේ ගමනට විශාල ශක්තියක් බවයි සාලින්ද පවසන්නේ. ඊට අමතරව තමන් සහභාගී වන තරගයක් බලමින් සහයෝගය දක්වන සෑම දෙනෙක්ටමත් ඔහු ස්තුති කරනවා. 

“කිසි දෙයක් පහසුවෙන් ලබා ගන්න බැහැ. මහන්සි වෙන්න ඕන. පුහුණුවීම් අඛණ්ඩව කරන්න ඕන. මම ඒ වෙනුවෙන් කැප වෙනවා. මේ අවුරුද්දේ ශ්‍රී ලංකා Development Squad එකට එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ක්‍රම ක්‍රමයෙන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම දක්වා පැමිණෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ ඉලක්කයත් එක්ක තමයි මේ දවස්වල කාලය ගත කරන්නේ.” 

සාලින්දගේ එම බලාපොරොත්තු ඉටු වේවායි ThePapare.com සුබ පැතුම් එක් කරමු. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<