රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ හොඳම අවස්ථා 10ක්!

Rugby World Cup 2023

689

2023 රග්බි ලෝක කුසලාන උණුසුමත් සමඟින් ම රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ අමතක නොවෙන සිදුවීම් කිහිපයක් මතක් කර ගන්න කැමති ද?

රග්බි ලෝක කුසලානය ආරම්භ වෙන්නේ 1987 දී. එතැන් පටන් මේ වන තෙක් 9 වතාවක් පැවැත්වුණු ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් අනන්ත අප්‍රමාණ සිදු වෙලා ඇති.

ඒ අතරිනුත් හොඳම අවස්ථා 10 තෝරා ගැනීමේ දී ලොව පිළිගත්තු වෙබ් අඩවි (BBC වැනි) වගේම Chat GPT වැනි නව තාක්ෂණික අංශවලත් සහය ලබා ගත්තා.

10 – Jhon Kirwanගේ උත්සාහක දිනුම – 1987

1987 වසරේ දී පැවැත්වුණු ආරම්භක රග්බි ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය පැවැත්වෙන්නේ ඉතාලිය සහ සම සත්කාරක නවසීලන්තය අතර. මේ තරගයේ දී නවසීලන්තය ක්‍රීඩක Jhon Kirwan විසින් තනිවම ලබා ගන්නා උත්සාහක දිනුම මෙතෙක් ඉතිහාසයේ හොඳම උත්සාහක දිනුමක් ලෙස සැලකෙනවා.

මුළු ඉතාලි කණ්ඩායම ම අබිබවා යමින්, Kirwan විසින් ඉතා වේගයෙන් ඉදිරියට ඇදෙන දර්ශනය ඕනෑම රග්බි රසිකයෙකුගේ රෝමෝද්ගමනය කරවන දර්ශනයක් බව නම් නොඅනුමානයි.

9Jannie De Beerගේ උපක්‍රමශීලී Drop Goal ලබා ගැනීම් – 1999

දකුණු අප්‍රිකානු Fly-Half ක්‍රීඩක Jannie De Beer විසින් 1999 ලෝක කුසලානයේ දී එංගලන්තයට එරෙහිව Drop Goal 5ක් වාර්තා කරන්න සමත් වෙනවා. එක් තරගයක Drop Goals පහක් වාර්තා කිරීම හැමදාම වෙන දෙයක් නෙවෙයි තමයි. නමුත් මේ දක්ෂතාව තවත් විශේෂ වෙන්නේ ඔහු විසින් මේ බොහෝ ගෝල ලබා ගන්න  පන්දුව යැවූ දුර නිසා.

එදා De Beer විසින් එංගලන්තයට එරෙහිව මෙහෙම ලකුණු රැස් කරද්දී එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටි Matt Dawson මෑතක දී BBC සමඟ එක් වුනු Podcast වැඩසටහනක් අතරතුර තමන්ගේ අත්දැකීම මේ විදිහට විස්තර කළා.

“දෙකකට පසු (Drop Goals) අපි ‘මේක නම් අමුතු වැඩක්’ කියලා හිතුවා.

ඒක තමයි ඔවුන්ගේ උපක්‍රමය වුනේ. ඔහුට වෙන කරන්න දෙයක් නොතිබුණු නිසා ඔහු Drop Goals වලට ගියේ නැහැ. එය ඔවුන්ට ඉදිරියට යන්න ඉතාම හොඳ උපක්‍රමයක් වුනා. අපි හිතුවේ අපි තරගයේ ඉන්නවා කියලා, නමුත් ඒක එහෙම වුනේ නැහැ.”

8 – Haka නැටුමට එරෙහිව

නවසීලන්තය විසින් තමන්ගේ තරග රටාවෙන් ප්‍රතිවාදීන් බිඳ හෙළීමට පෙර, ඔවුන් මානසික ව බිඳ හෙළීම වෙනුවෙන් “හකා” නර්තනය පාවිච්චි කරනවා. නමුත් සමහර අවස්ථාවල දී ප්‍රතිවිරුද්ධ පාර්ශව විසින් මීට එරෙහිව විවිධ ආකාරයේ ප්‍රතිචාර දක්වන අවස්ථා ද නැතිවාම නෙවෙයි.

2019 ලෝක කුසලානයේ දී එංගලන්ත කණ්ඩායම විසින් නවසීලන්තයේ හකා නර්තනයට ප්‍රතිචාර දැක්වීම ඉන් එක් අවස්ථාවක්.

2011 වර්ෂයේ දී නවසීලන්තයට ටොංගා කණ්ඩායම මුණ ගැහෙනවා. මේ තරගය ආරම්භයට පෙර නවසීලන්තයෙන් හකා දකින්න ලැබුණා වගේම ටොංගා දේශයෙන් Sipi Tau නර්තනය දකින්න ලැබෙනවා. මේකත් ලෝක කුසලාන ඉතිහාසයේ අමතක නොවන මතකයක්.

නමුත් නවසීලන්ත හකා නැටුමට කණ්ඩායමකින් ලැබුණු හොඳම ප්‍රතිචාරය ලැබුණේ 2007 ලෝක කුසලානයේ දී කියලයි බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ.

2007 ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයේ දී නවසීලන්තය විසින් විසින් හකා නටද්දී, ප්‍රංශ කණ්ඩායම ඒ අසලට ම වෙලා නොබියව බලා ගෙන ඉන්නවා. ඒ මොහොතේ දී දකින්න ලැබුණු ප්‍රංශ ක්‍රීඩක Sebastian Chabalගේ බියකරු මුහුණ නවසීලන්තයේ හකා නැටුමට වඩා ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගත්තා කිව්වොත් නිවැරදියි.

නැටුමට ප්‍රතිචාර දැක්වුවා වගේම, මේ තරගයේ දී නවසීලන්තය පරාජය කරමින් ලෝක කුසලාන ඉතිහාසයේ නවසීලන්තයේ අසාර්ථක ම තරගාවලියක් සටහන් කරවන්නත් ප්‍රංශය විසින් සමත් වෙනවා.

2011 ලෝක කුසලාන අවසන් තරගයේ දීත් හකා නැටුමට ඒ විදිහට ම ප්‍රතිචාර දක්වන්න ප්‍රංශය උත්සාහ කරනවා. නමුත් ඒ තරගයේ දී නම් නවසීලන්තය අබිබවා යන්න ඔවුන් සමත් වුනේ නැහැ.

07 – David Campese තනිවම Haka මග හරී – 1991

ඉහත සඳහන් කළ හැම අවස්ථාවක ම නවසීලන්තයේ හකා නර්තනයට කණ්ඩායම්වල අවධානය ලැබුණා. නමුත් 1991 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේ දී ඕස්ට්‍රේලියාවේ David Campese විසින් මේ හකා නර්තනය දශමයකට හෝ ගණන් නොගෙන ඕස්ට්‍රේලියානු දිනුම් කණුව අසලට වෙලා පුහුණුවීම් වල නිරත වුනා.

Campese නැත්නම් Campoගේ මේ ක්‍රියාව හකා වලට ලැබුණු හොඳම ප්‍රතිචාරයක් ලෙසයි සැලකෙන්නේ. ඒ වගේම Campese කියන්නේ 91 තරගාවලියේ ශූරතාවය ඕස්ට්‍රේලියාවට දිනා දෙන්න වැඩිම බර ඇදපු ක්‍රීඩකයා කිව්වත් වරදක් නැහැ. ඔහු මේ තරගාවලියේ දී උත්සාහ දිනුම් පහක් වාර්තා කරනවා.

නවසීලන්තය සමඟ තරගයේ දීත් ඔහු විසින් එක් උත්සාහක දිනුමක් වාර්තා කරන්න සමත් වුනා. ඒ වගේම එවකට ඕස්ට්‍රේලියානු පුහුණුකරු ලෙස කටයුතු කළ Bob Dwyer කියන විදිහට නම් එදා තරගයේ පළමු අර්ධයේ දී Campese ක්‍රීඩා කරපු විදිහ Campගේ ක්‍රීඩා ජීවිතයේ වෙන කිසිම අවස්ථාවකට වඩා ඉහළයි.

6 – 2015 දී නොකඩවා දෙවැනි වරටත් නවසීලන්තය ලෝක ශූරයින් බවට පත් වීම

මෙතෙක් ලෝක කුසලාන ඉතිහාසයේ තමන් ජයග්‍රහණය කළ ලෝක ශූරතාවය රැක ගන්න සමත් වුන එකම කණ්ඩායම බවට නවසීලන්තය විසින් 2015 වර්ෂයේ දී සමත් වෙනවා. Richie McCawගේ නායකත්වයෙන් යුතුව මේ කාල සමය තුළ ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම රග්බි කණ්ඩායමක් බව කිසිදු සැකයකින් තොරව හඳුන්වා දෙන්න පුළුවන්.

5 – නවසීලන්තයට එරෙහි අවසන් පූර්ව තරගය ප්‍රංශය විසින් කණපිට පෙරලීම – 1999

මේ තරගයේ පළමු අර්ධය නිමා වෙන්නේ ලකුණු 25-10ක් විදිහට නවසීලන්තය පෙරමුණ ලබා ගනිමින්. නවසීලන්තය විසින් ලබා ගත්තු ලකුණු 24 වෙනුවෙන් Jonah Lomu සිය රග්බි ලෝක කුසලාන දිවියේ අවසන් උත්සාහක දිනුම් දෙක වාර්තා කරන්නත් සමත් වුනා.

නමුත් තරගයේ දෙවැනි අර්ධය සම්පූර්ණයෙන්ම ප්‍රංශයට නතු වුනා. එහි අවසන් ප්‍රතිඵලය වුනේ 43-31ක් විදිහට ප්‍රංශය මේ තරගය ජයග්‍රහණය කිරීම සහ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම. ප්‍රංශය වෙනුවෙන් Christophe Lamaison විසින් උත්සාහක දිනුමක්, ප්‍රවර්තන 4ක්, දඬුවම් පහර තුනක් සහ Drop Goal අවස්ථා 2ක් සාර්ථක කර ගන්න සමත් වීම විශේෂත්වයක්.

මේ පරාජය නිසා ලොව මෙතෙක් බිහි වුනු විශිෂ්ටතම රග්බි ක්‍රීඩකයෙක් ලෙස සැලකෙන Jonah Lomuට ලෝක ශූරතාවයක අඩුව සමඟ පසු කාලයක ක්‍රීඩාවෙන් සමුගන්නත් සිදු වුනා.

4Wilkinsonගේ ජයග්‍රාහී ඩ්‍රොප් ගෝලය

2003 රග්බි ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ අවසාන තත්පර 20 වන විටත් තරගයේ ජයග්‍රහණය හිමි වෙන්නේ ඕස්ට්‍රේලියාවට ද නැතිනම් එංගලන්තයට ද කියන ගැටලුව ඉතිරි වෙලා තිබුණා. ඒ වෙද්දී ලකුණු තත්වය තිබුණේ 17-17ක් විදිහට.

නමුත් මේ මොහොතේ ක්‍රියාත්මක වුන 2003 ලෝක කුසලානයේ සාර්ථක ම ක්‍රීඩකයා වුන එංගලන්තයේ Jonny Wilkinson විසින් ලබා ගත්තු Drop Goalයත් සමඟ ලකුණු තත්වය 20-17ක් බවට පත් වුනා. එයිනුත් තවත් තත්පර ගණනකට පසුව එංගලන්තය තමන්ගේ පළමු සහ එකම රග්බි ලෝක ශූරතාවය ජයග්‍රහණය කරන්න සමත් වුනා.

BBC සමඟ පැවැත්වුණු Podcast වැඩසටහන අතරතුර හිටපු සුපිරි දකුණු අප්‍රිකානු ක්‍රීඩක Bryan Habana Wilkinsonගේ මේ පෙළහර පෑම විස්තර කරන්නේ මේ විදිහට.

“ලෝක කුසලාන අවසන් මහා තරගයක් ජයග්‍රහණය කරවීම වෙනුවෙන් ඔහු එය ඔහුගේ දුර්වල පාදයෙන් සිදු කළා. ඒ වගේ පීඩනයක් සමඟ සිය දුර්වල පාදයෙන් කළ දෙය මගින් ඔහු කවුරුන්ද යන වග මනාවට පැහැදිලි කළා.”

3 – Mike Catt මතින් දිව ගිය Lomu

1995 ලෝක කුසලානය වෙනුවෙන් Jonah Lomu නවසීලන්තය කණ්ඩායම සමඟ ක්‍රීඩා කරන්න එන්නේ ඔහුට යාන්තම් වයස අවුරුදු 20ක් පිරෙද්දී. ඒ වගේම ඔහු ඒ වෙද්දී නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරලා තිබුණේ තරග ද්විත්වයකට පමණයි.

නමුත් 1995 ලෝක කුසලානයේ දී අත්දැකීම් හෝ වයස කියන්නේ වචන දෙකක් පමණක් බව ඔප්පු කරන්න Lomu සමත් වෙන්නේ තරගාවලිය පුරාවටම උත්සාහක දිනුම් හතක් වාර්තා කරන ගමන්. මේ අතරිනුත් උත්සාහක දිනුම් හතරක් ම ඔහු විසින් වාර්තා කළේ එංගලන්තය සමඟ පැවැත්වුණු අවසන් පූර්ව වටයේ තරගයේ දී.

මේ තරගයේ දී ඔහු විසින් වාර්තා කළ උත්සාහක දිනුම් හතර අතරින් පළමු උත්සාහක දිනුම ඔහු විසින් වාර්තා කරන්නේ එංගලන්ත ක්‍රීඩක Mike Catt මතින් දිව යමින්. මේ උත්සාහක දිනුමත් වසර 28කට පසුවත් තවමත් ලොවක් කතා වන අවස්ථාවක්.

ඒ වගේම රග්බි ක්‍රීඩා ලෝකයේ පළමු සුපිරි තරුව වුන Lomuගේ ගමනේ සුවිශේෂී සංධිස්ථානයක් විදිහටත් මේ උත්සාහ දිනුම් හතර හඳුන්වලා දෙන්න පුළුවන්.

මීට අමතරව මේ තරගයේ දී ම නවසීලන්තයේ Zinan Brooke විසින් වාර්තා කළ විශිෂ්ට Drop Goal එකත් විශේෂයෙන්ම මතක් කළ යුතු අන්දමේ එකක්.

2 – ජපානය විසින් දකුණු අප්‍රිකාව දණ ගැස්වීම – 2015

2015 වසර වන තෙක් තමන්ගේ රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ එකම එක තරගයක් පමණක් (1991 දී) ජයග්‍රහණය කරන්න සමත් වෙලා තිබුණු ජපානය විසින් එවකට දෙවරක් ලෝක ශූරයින් වෙලා තිබුණු දකුණු අප්‍රිකාව ලකුණු 34-32ක් ලෙස පරාජය කරනවා.

ආරම්භයේ පටන් කරට කර ඇදී ගිය තරගයක් වුනත් තරගය නිමා වෙන්න මිනිත්තු කිහිපයක් ඉතිරි වෙලා තියෙද්දී Karne Hesketh විසින් ජපානය වෙනුවෙන් වාර්තා කළ විශිෂ්ට උත්සාහක දිනුමත් එක්ක ජපානය තරගය ජයග්‍රහණය කළා.

මෙය මෙතෙක් රග්බි ඉතිහාසයේ පැවැත්වුණු අමතක නොවෙනම මතකයක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්.

විශේෂයෙන්ම මේ ජයග්‍රහණයෙන් පසුව ජපානය විසින් 2015 තරගාවලියේ දී තවත් තරග දෙකක් ජයග්‍රහණය කරන්න සමත් වෙනවා. ඒ වගේම දකුණු අප්‍රිකාවට එරෙහිව ජපානය ලබපු ජය තවත් එක් අහඹුවක් පමණක් ම නොවන බව ඔවුන් 2019 ලෝක කුසලානයේ දී ඔප්පු කරලා පෙන්වන්නේ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පවා පිවිසෙමිනුයි.

1 – දේදුනු දේශයේ සම්ප්‍රාප්තිය – 1995

1987 දී ආරම්භ වුන රග්බි ලෝක කුසලානයට දකුණු අප්‍රිකාව විසින් මුලින් ම සහභාගී වෙන්නේ 1995 වර්ෂයේ දී. වර්ණභේදවාදය නිසා ජාත්‍යන්තර වශයෙන් පැනවුන විවිධ ක්‍රීඩා තහනම් වලින් මිදිලා ක්‍රීඩාවට අවතීර්ණ වෙන දකුණු අප්‍රිකාව තමන් කවුද කියලා ලෝකයට පෙන්වන්න පටන් ගනිමින් හිටපු කාලය මේ.

1995 වර්ෂයේ රග්බි ලෝක කුසලාන සත්කාරකත්වය හිමි වෙන්නෙත් දකුණු අප්‍රිකාවටමයි.

මේ තරගාවලියේ දී නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසෙනවා.

නවසීලන්තය සහ සත්කාරක දකුණු අප්‍රිකාව අතර තරගය අවසන් මොහොත වන තෙක් ම උණුසුම්ව දෙපසට ම දෝලනය වෙමින් පැවැත්වුණා. නමුත් තරගය නිම වෙන්න මිනිත්තු කිහිපයකට කලින් දකුණු අප්‍රිකානු Fly-Half ක්‍රීඩක Joel Stransky විසින් වාර්තා කළ Drop Goalය සමඟ තරගයේ ජයග්‍රහණය වගේම දකුණු අප්‍රිකාව සිය පළමු රග්බි ලෝක ශුරතාවයත් ජයග්‍රහණය කරන්න සමත් වුනා.

තරගය අවසානයේ ගැටලු සහිත කාලයේ විවිධ දුක්ගැහැට විඳිමින් පසුව ශ්‍රේෂ්ඨත්වයට පත් වුනු දකුණු අප්‍රිකානු වීරයා Nelson Mandela විසින් දකුණු අප්‍රිකානු රග්බි කණ්ඩායමේ නිල ජර්සියක් ද ඇඟලා ගෙන ඇවිත් නව ලෝක ශූරයින් වෙත ලෝක කුසලානය පිරිනැමුවා.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක Francois Pienaar විසින් Mandela අතින් මේ කුසලානය ලබා ගන්නා මොහොත රග්බි ඉතිහාසයේ පමණක් ම නෙවෙයි, ලෝක ක්‍රීඩා ඉතිහාසයේ ම විශිෂ්ටතම මතකවලින් වලින් එකක් බව සැක නැතිව කියන්න පුළුවන්.

“ඔබ 1987 සිට 2019 දක්වා විශේෂ අවස්ථා පුනරූපනය කරන වීඩියෝ පටයක් නරඹමින් සිටිනවා නම්, සැකයකින් තොරව මෙය තමයි ඔබ විසින් තෝරා ගන්නා පළමුවැන්න.

එය දර්ශනයක් ලෙස මෙන්ම, රග්බි වෙනුවෙන් සහ දකුණු අප්‍රිකාව වෙනුවෙන් කෙතරම් ද වටින අවස්ථාවක් ද!”

Bryan Habana විසින් සිය රටේ පළමු රග්බි ලෝක කුසලාන ජයග්‍රහණය පිළිබඳ එසේ BCC වෙත අදහස් දක්වනවා.

මෙවර රග්බි ලෝක කුසලානය අද (08, නමුත් ශ්‍රී ලංකා වේලාවෙන් හෙට මධ්‍යම රාත්‍රියේ) ආරම්භ වීමට නියමිතයි. මෙවර රග්බි ලෝක කුසලාන උණුසුම විඳින අතරේ ම අතීත ලෝක කුසලාන තරගාවලිවල ඔබේ කැමති ම අවස්ථා බෙදා හදා ගැනීමටත් මෙන්න අවස්ථාව!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<