කැන්ගරුවන්ගේ ජයග්‍රාහී ලෝක කුසලාන ගමනේ ඇරඹුම

Unheard World Cup Stories | Part 04

894
CALCUTTA, INDIA - NOVEMBER 08: Australia captain Allan Border holds the trophy as Dean Jones (l) looks on after Australia had beaten England by 7 runs to win the 1987 Cricket World Cup Final in Calcutta, India. (Photo by Allsport/Getty Images)

2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ දී ආරම්භ කිරීමට සියල්ල සූදානම් වී තිබෙන මොහොතක් මේ.

මෙවර තරගාවලියේ ආරම්භයට පෙර අපි හිතුවා පහුගිය තරගාවලිවල සිදු වෙච්ච වැඩිය අහලා නැති අපූරු සිදුවීම් කිහිපයක් ඔබ වෙත ගෙන එන්න. මේ ඒ ලිපි මාලාවේ සිව්වැන්නයි.

ලෝක කුසලාන තරගාවලිය හතරවැනි වතාවට පැවැත්වුණේ ඉන්දියානු උපමහද්වීපයේ. එංගලන්තයෙන් පිටට ලෝක කුසලාන තරගාවලිය පැවැත්වුණ මුල්ම අවස්ථාව එයයි. රිලයන්ස් අනුග්‍රාහකත්වය දක්වපු එවර තරගාවලිය ජයග්‍රහණය කළේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම.

ඕස්ට්‍රේලියානු ජය කිසිවෙකු අපේක්ෂා කළ එකක් නෙවෙයි. තමන්ට නුහුරු තත්වයන් යටතේ ඕස්ට්‍රේලියානුවන් ලෝක කුසලානය ජය ගත් අන්දම අපූරු අන්දරයක්. එදා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නායකත්වය දුන් ඇලන් බෝඩර් තමන්ගේ චරිතාපදානයක ඒ ගැන මතකය අවදි කරන්නේ මෙහෙම.

“සමහර විට එක හොඳ තරගයකින් ඔබේ වාසනාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්.

මටත් එහෙම තරගයක් එහෙම දවසක් තියනවා. ඒ දවස තමයි 1987 අවුරුද්දේ ඔක්තෝබර් 9 වැනිදා. ස්ථානය මදුරාසිය. මදුරාසිය කියන්නේ මට හැමවෙලේම අමිහිරි මතකයන් අරන් ආපු තැනක්.

1987 අවුරුද්දේ රිලයන්ස් අනුග්‍රාහකත්වය දක්වපු ලෝක කුසලාන තරගාවලිය පැවැත්වුණේ ඉන්දියාව සහ පාකිස්තානයේ සම සත්කාරකත්වයෙන්.

ඇලන් බෝඩර්ගේ විශ්වාසවන්ත පන්දු යවන්නා ස්ටීව් වෝ

එවර ලෝක කුසලාන තරගාවලියේ දී කිසිම කෙනෙක් ඕස්ට්‍රේලියානු ජයග්‍රහණයක් වෙනුවෙන් ලන්සු තියලා තිබුණේ නැහැ. කොහොමත් කණ්ඩායමක් විදියට අපි හොඳට සෙල්ලම් කරපු කාලෙකුත් නෙවෙයි.

සෑහෙන ක්‍රීඩකයින් පිරිසකට දකුණු අප්‍රිකාවේ සංචාරය කරපු නිසා තහංචි වැටිලා තිබුණ කාලයක්. අපි ඕස්ට්‍රේලියාවේදිම අළුබඳුන තරගාවලියත් පැරදුණා. සාජා නුවර තිබුණ එක්දින තරගාවලියත් අපි හොඳට කළේ නැහැ. ඉතින් කිසිම කෙනෙක් අපි ගැන බලාපොරොත්තු තියාගත්තේ නැති එක සාධාරණයි.

අපි ගොඩක් තරග දිනාගෙන ඇවිත් අවසාන මොහොතේ පැරදුණා.

අපිට ලෝක කුසලානයේ මුල්ම තරගය තිබුණේ එවකට ලෝක ශූරයින් වෙච්ච කපිල් දේව් නායකත්වය දරපු ඉන්දීය කණ්ඩායමට එරෙහිව. මේ තරගය ජය ගන්න ඉදිරියෙන්ම ඉන්නේ කවුද කියන එක කාටවත් රහසක් වුනේ නැහැ. තරගය විතරක් නෙවෙයි ලෝක කුසලානයම දිනා ගන්න ඉස්සරහින්ම හිටපු රට ඉන්දියාව.

ලෝක කුසලානය ගැන ඔබේ හොඳම මතකය මොකක්ද කියල කවුරුහරි මගෙන් ඇහුවොත් මට දෙන්න තියන උත්තරයක් තියනවා. ඒ අවසන් මහා තරගය දිනලා මාව කරේ තියාගෙන ගියපු එකවත්, කුසලානය අතට ලැබිච්ච මොහොතවත් නෙවෙයි. ආරම්භක තරගයේ දී ම ඉන්දීය කණ්ඩායම පරාජය කරපු එකේ සතුට සමරපු හැටි මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.

ඒක බොහොම තියුණු තරගයක්. රසබර සිදුවීම්වලින් පිරුණ තරගයක්. පරදින්න ඔන්න මෙන්න තිබුණ තරගයක් සටන්කාමීත්වය නිසාම ජය ගන්න අපිට පුළුවන් වුනා.

ඉන්දියානුවන්ට එරෙහිව මුලින්ම පන්දුවට පහර දීලා අපි ලකුණු 270ක් ලබා ගත්තා. ඒක හොඳ ලකුණු සංඛ්‍යාවක්. ජෙෆ් මාෂ් අනර්ඝ ඉනිමක් ක්‍රීඩා කරමින් ශතකයක් වාර්තා කර ගත්තා. හැබැයි ඉන්දියානු කණ්ඩායම දක්ෂ කණ්ඩායමක් කියන එක අපේ හිතේ තිබුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන්න ආපු ඉන්දියානුවන් පන්දුවාර 37ක් ඉවර වෙද්දී කඩුලු දෙකකට ලකුණු 207. කඩුලු අටක් අතැතිව පන්දු 78කින් ලකුණු 64ක් කියන්නේ බොහොම ලේසි ඉලක්කයක්.

මෙන්න මේ වෙලාවේ ක්‍රේග් මැක්ඩර්මට් ක්‍රියාත්මක වුනා. ක්‍රිකට් ක්‍රීඩාවේ තිබෙන චමත්කාර බව තමයි ඒකත් එක්ක බැඳිලා තියන අවිනිශ්චිත ස්වභාවය.

දෙවැනි වර පන්දු යැවීමට කැඳවූ අවස්ථාවේ දී මැක්ඩර්මට් ඉක්මනින් කඩුලු හතරක් දවා ගත්තා.

තරගයේ අවසන් පන්දුවාරය පටන් ගනිද්දී ඉන්දියානු කණ්ඩායමට ජයග්‍රහණය කරන්න ලකුණු 6ක් අවශ්‍ය කළා. මේ වෙද්දී ඉන්දියානු කණ්ඩායමේ කඩුලු නමයක් දැවී ගිහින් ඉවරයි. පන්දුවාරය යැව්වේ ස්ටීව් වෝ. පිතිකරණයේ හිටපු එක පිතිකරුවෙක් මනින්දර් සිං. මනින්දර් එක්ක අපිට පොඩි ඉතිහාසයක් තියනවා.

1986 අවුරුද්දේ ඒ කියන්නේ හරියටම අවුරුද්දකට කලින් මදුරාසියේ දී ටෙස්ට් තරගයක් ලකුණු සමවීමෙන් නිමාව දකිනවා. මේ තරගයේ දී අවසාන කඩුල්ල විදියට දැවී ගියේ මනින්දර්.

ආපහු ලෝක කුසලාන තරගයට ආවොත් අවසාන පන්දුවාරයට එද්දීත් තරගය කණ්ඩායම් දෙකටම විවෘතව තිබුණේ. ඒ පන්දුවාරයේ පස්වැනි පන්දුවේ දී ස්ටීව් වෝ යැවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් මනින්දර් සිං දැවී ගියා.

ඉන්දියානු කණ්ඩායම පීඩනය හමුවේ කඩා වැටුණා. එක ලකුණක ඉතාම තියුණු ජයග්‍රහණයකින් අපි පටන් ගත්තේ. ඒක නියම තරගයක්. විශිෂ්ට ජයග්‍රහණයක්.

ඒත් මේ ජයග්‍රහණය අහම්බයක් වෙන්න පුළුවන් ද?

අපිට තවත් තරගයක් තිබුණා නවසීලන්ත කණ්ඩායම එක්ක. ඒ තවත් දවස් දහයකින් හයිද්‍රාබාදයේ දී. වැස්ස නිසා තරගය පන්දුවාර 30කට සීමා වුනා. එක වතාවක දණ හරියට විතර වතුර පිරිලා තිබුණා.

නවසීලන්තය සමඟ තරගය ආරම්භක කිරීමට පෙර හයිද්‍රාබාදයේ ක්‍රීඩාංගණයේ ස්වභාවය

නැවත වතාවක් ස්ටීව් වෝ අවසාන පන්දුවාරය යමින් අපිව ගොඩ දැම්මා. අවසන් පන්දුවාරයට එනකොට නවසීලන්තයට අවශ්‍ය කරලා තිබුණේ ලකුණු හතක්. නවසීලන්තය

අතේ කඩුලු හතරක් තිබුණා. නවසීලන්ත කණ්ඩායමේ අතිදක්ෂ පිතිකරුවෙක් වන මාර්ටින් ක්‍රෝ ඒ වෙද්දී කඩුල්ලේ හිටියේ පන්දු 47කින් ලකුණු 58ක් ලබාගෙන.

ස්ටීව් යැවූ පළමු පන්දුවෙන්ම ක්‍රෝ දැවී ගියා. ඒක තරගයේ තීරණය වෙනස් කළ දැවී යෑමක්.”

ඕස්ට්‍රේලියානුවන් මූලික වටය නිමා කළේ සත්කාරක ඉන්දියානුවන්ට පිටුපසින් තරග හයකින් පහක් ජය ගනිමින්.

ඔවුන්ට අවසන් පූර්ව තරගයට මුහුණ දුන්නේ අනෙක් සත්කාරක කණ්ඩායම පාකිස්තානයට එරෙහිව. ඉම්රාන් ඛාන් නායකත්වය දුන්න පාකිස්තානය ලකුණු 18කින් පරාජය කරන්න එදා ඕස්ට්‍රේලියානුවන් සමත් වුනා.

මේ ජයග්‍රහණය කවුරුත් බලාපොරොත්තු වෙච්ච එකක් නෙවෙයි. නැවත වතාවක් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලෝක කුසලාන අවසන් මහා තරගයක.

“ඊඩන් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයට 80,000ක් විතර සෙනඟක් ඇවිල්ලා හිටියා. මේ වගේ සෙනඟක් ඉස්සරහ ලේසියෙන්ම ඕන කණ්ඩායමක් කඩා වැටෙන්න පුළුවන්.

සාමාන්‍යයෙන් මම කාසියේ වාසිය ගැන වැඩිය හිතන මිනිහෙක් නෙවෙයි. හැබැයි මට මේ වතාවේ නම් කොහොමහරි කාසියේ වාසිය දිනා ගන්න ඕන වුනා. අනිවාර්යයෙන්ම මුලින්ම පන්දුවට පහර දෙන්න ඕන කියන සිතිවිල්ල විතරයි මගේ ඔළුවේ වැඩ කළේ. මේ වෙද්දි තණතිලිවල ජීවය ගොඩක් අඩු වෙලා තිබුණේ.

මම කාසියේ වාසිය දිනුවා. දිනලා මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කළා. අපි කඩුලු පහකට ලකුණු 253ක් ගැහුවා. අවසන් තරගයකට ඒක හොඳ ලකුණු සංඛ්‍යාවක්.

මැක්ඩර්මට් එයා යවපු මුල්ම පන්දුවාරයෙන්ම කඩුල්ලක් දවා ගත්තා. ග්‍රැහැම් ගූච් කඩුල්ල මුවා කිරීමේ වරදට අහුවුනා. බිල් ඇතේ දැවී ගියේ ස්ටීව් වෝගේ පන්දු රැකීමක් හමුවේ.

මම මේ තරගයේ යවපු මුල් පන්දුවට මයික් ගැටිං රිවර්ස් ස්වීප් පහරක් එල්ල කළා. පිත්තේ වැදිලා ඉහළ ගියපු පන්දුව කඩුලු රකින ක්‍රීඩක ග්‍රේග් ඩයර් උඩපන්දුවක් ලෙසින් පහසුවෙන් රැකගත්තා. ඒක තීරණාත්මක අවස්ථාවක්.

අවසන් පන්දුවාර දහයට එද්දී එංගලන්තයට පන්දුවාරයකට ලකුණු අට ගානේ ගහන්න තිබුණා. අන්තිම පන්දුවාර තුනට ලකුණු 36ක්. ලේසි වැඩක් නෙවෙයි.

ෆිලිප් ඩිෆ්‍රෙයිටස් හතලිස් 8 වැනි පන්දුවාරයේ හතරේ එකයි, හයකුයි ගැහුවා. අන්තිම පන්දුවාර දෙකට ලකුණු 19ක් ඕන. මගේ හෘදස්පන්දන වේගය මටවත් හිතා ගන්න බැරි වුනා.

මේ වෙලාවේ නිපන්දුවක් නම් වැටෙන්න එපා!

49 දැම්මේ ස්ටීව් වෝ. තරගාවලිය පුරාවටම කළා වගේ ඔහු ආපු ගමන් ඩිෆ්‍රෙයිටස් දවා ගත්තා. ඔහුට ගැහුවේ ලකුණු දෙකයි.

ඕස්ට්‍රේලියානු නායකයා ඩීන් ජෝන්ස් සහ ක්‍රේග් මැක්ඩර්මට්ගේ කරමතින්

එංගලන්තයට ලකුණු 7ක් මෙහා නවතින්න වුනා. ඒක කොයි තරම් ආශ්වාදජනක හැඟිමක් ද? මට ඊළඟට මතක ඩීන් ජෝන්ස් සහ ක්‍රේග් මැක්ඩර්මට්ගේ කර මතින් ඊඩන් ගාඩ්න්ස් පිටිය වටා ගියපු විදිය. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසය වෙනස් කළ අවස්ථාවක් විදියට මට 1987 ලෝක කුසලාන තරගාවලිය හඳුන්වන්න පුළුවන්.”

තවත් කතාවක් සමඟ නැවත හමුවෙමු.

>>තවත්විශේෂාංගලිපිසඳහාපිවිසෙන්න<<