නිමාලි ඔලිම්පික් වරම් ලබයි

531

කාන්තා මීටර් 800 ඉසව්වේ වත්මන් ජාතික ශූරිය වන නිමාලි ලියනආරච්චි ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 800 කාන්තා ඉසව්වට නිල වශයෙන් සුදුසුකම් ලබා ගැනීමට සමත් ව ඇති බව ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව අද (05) තහවුරු කර සිටියා.

කොරෝනා වසංගතය නිසාවෙන් ලද තරගාවලි ගණන ඉතා සීමිත වීම නිසා නිමාලි හට මෙවර ඔලිම්පික් උළෙල සඳහා පරිසාධන සුදුසුකම් සපුරාලමින් තේරී පත්වීමට නොහැකි වූ නමුත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ඉල්ලීමකට අනුව ඇයට “Universality Place” අවස්ථාවක් ලබා දීමට ලෝක මලල ක්‍රීඩා සංගමය කටයුතු කර තිබුණා.

ශ්‍රී ලංකා මීටර් 3000 බාධක දිවීමේ ශූරී නිලානි රත්නායක ක්‍රීඩක වර්ගීකරණ ඔස්සේ ඔලිම්පික් වරම් දිනා ගැනීමට ඉතා ආසන්නයේ සිටි නිසාවෙන් නිමාලිගේ ඔලිම්පික් සහභාගීත්වය අවිනිශ්චිත වුනා.

නමුත් නිලානි හට ලද තරගාවලි ගණන අඩු වීම නිසා ඔලිම්පික් වර්ගීකරණයේ 46 වැනි තැන දක්වා පසුබැසීමට සිදු වූ අතර එම නිසාවෙන් ඉතා අවාසනාවන්ත ලෙස එම ඉසව්වට තෝරාගන්නා ක්‍රීඩිකාවන් 45 තුළට ඇතුළත් වීමට ඇයට හැකි වුනේ නැහැ.

නිලානි රත්නායක හට ඔලිම්පික් වරම් අහිමි වීමත් සමඟ මෙරට කිසිදු ක්‍රීඩිකාවක් පරිසාධන සුදුසුකම් සපුරා ඔලිම්පික් වරම් දිනා ගැනීමට අසමත් වීම නිසා නිමාලි ලියනආරච්චි හට ඔලිම්පික් වරම් හිමි වුනා.

ඒ අනුව මලල ක්‍රීඩාව නියෝජනය කරමින් මෙවර ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගත් දෙවැනි ශ්‍රී ලාංකිකයා වීමට නිමාලි හට හැකි වූ අතර ඇයට පෙර පිරීමි මීටර් 100 ඉසව්වේ ක්‍රීඩක වර්ගීකරණයෙන් ඔලිම්පික් වරම් දිනා ගැනීමට යුපුන් අබේකෝන් සමත්ව තිබුණා.

ඔවුන් දෙදෙනාට අමතරව තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනෙකු මෙවර ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වී ඇති අතර ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම 9 දෙනෙකුගෙන් සමන්විත වේ.

මෙරට මලල ක්‍රීඩාව ජාත්‍යන්තර තලයේ ඉහළට ගෙන යාමට සමත් වූ නිමාලි මීටර් 800 ඉසව්වේ මෙරට බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩිකාවක් ලෙස ද හැදින්විය හැක.

එම ඉසව්වේ දකුණු ආසියානු ශූරියක ද වන නිමාලි 2017 වසරේ පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ දී මීටර් 800 ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින් වසර 13කට පසු ආසියානු රන් පදක්කමක මෙරටට දායාද කළ ක්‍රීඩිකාවකි.

රිය අනතුරකට ලක්වීම නිසා කෙටි කාලයක් පිටියෙන් ඉවත්ව සිට 2020 වසරේ දී නැවතත් ක්‍රීඩා පිටියට පැමිණි නිමාලි 2021 ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දී නැවත වරක් මීටර් 800 ජාතික කිරුළ දිනා ගැනීමට ඇය සමත් වුනා.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩාව අගාධයට යමින් තිබූ වකවානුවක මලල ක්‍රීඩාවේ ගෞරවය රැකගනිමින් ජාත්‍යන්තර තලයේ ද ශ්‍රී ලංකා නාමය ඔසවා තැබූ නිමාලි ලියනආරච්චි මෙම “Universality Place” අවස්ථාව ලැබීමට සුදුසුම ක්‍රීඩිකාවක් ලෙස ද හැඳින්විය හැක.

සිය ක්‍රීඩා දිවියේ විශාලතම සිහිනය සැබෑ කරමින් ඔලිම්පික් උළෙලට තේරී පත්වූ නිමාලි ලියනආරච්චි හට ඔලිම්පික් උළෙලේ ඉහළ දස්කම් දක්වමින් මෙරට නාමයට ගෞරවයක් ගෙන ඒමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ThePapare.com අප සුබ පතන්නෙමු.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<