වසර 29ක ලෝක වාර්තාවක් බිඳ වැටේ

230

Oslo හී පැවති Diamond League තරගාවලියට සහභාගී වීමෙන් පිරිමි මීටර් 400 කඩුලු පැනීම ඉසව්වේ ලෝක වාර්තාව බිඳ හෙළීමට නෝර්වේ ක්‍රීඩක Karsten Warholm ඊයේ (01) සමත් වුනා.

එම තරගාවලියේ පිරිමි මීටර් 400 කඩුලු පැනීම ඉසව්ව තත්පර 46.70ක කාලයකින් පළමුවැන්නා ලෙස අවසන් කරමින්, Kevin Young විසින් 1992 වසරේ පිහිටුවා තිබූ වසර 29ක් පැරණි එම ඉසව්වේ ලෝක වාර්තාව තත් (46.78) බිඳ හෙළීමට ඔහුට හැකි වුනා.

එම වාර්තාව පිහිටුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් Karsten Warholm ප්‍රකාශ කර සිටියේ සිය රට වැසියන් සහ පවුලේ සාමාජිකයන් ඉදිරියේ මෙම දස්කම පෑමට හැකි වීම පිළිබඳව තමන් පුදුමයට හා සතුටට පත්වන බවයි.

“එය ඇත්තටම හොඳ මොහොතක්, සෑම කෙනෙකුම වසර ගානක් තිස්සේ නොකැඩී තිබ්බ ඒ වාර්තාව ගැන කතා කළා. එය ඇත්තටම මටත් වඩා වයසයි. මා තුළ එම හැකියාව තිබෙන බව දැනන් හිටියත් ඇත්තටම ඒක කරන්න ලැබුණ එක ගැන සතුටුයි. ඒ ගැන මම ඇත්තටම සතුටු වගේම ආඩම්බර වෙනවා” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.

නෝර්වේ නියෝජනය කරමින් මලල ක්‍රීඩා පිටියේ ඉහළ දස්කම් දැක්වූ Karsten Warholm 2017 සහ 2019 යන වසරවල මීටර් 400 කඩුලු පැනීම ඉසව්වේ ලෝක කිරුළ දිනා ගැනීමට සමත් වුනා.

එමෙන්ම කොරෝනා වසංගතයට නතර වූ ක්‍රීඩාව නැවත ආරම්භ වීමෙන් පසු ඉහළ දස්කම් අතර සිටින විසිපස් හැවිරිදි Karsten Warholm මෙවර ඔලිම්පික් උළෙලේ මීටර් 400 කඩුලු පැනීමේ රන් පදක්කම දිනා ගැනීමට බොහෝ ඉඩක් ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<