ඇමරිකාවෙන් ඔලිම්පික් යන්න හිටිය ක්‍රීඩිකාවකට Marijuana හරස් වෙයි

407

තහනම් ද්‍රව්‍යයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වීම නිසාවෙන් ඇමරිකානු කෙටිදුර ධාවන ශූරී Sha’Carri Richardsonගේ මෙවර ඔලිම්පික් සහභාගීත්වය අවිනිශ්චිත වී ඇත.

මේ වන විට 21 වැනි වියේ පසුවන Sha’Carri Richardson මෙම වසර තුළ ඉහළ දස්කම් දක්වමින් ඔලිම්පික් උළෙල සඳහා තේරී පත්වීමට සමත් වූ අතර පසුගිය දා පැවති ඇමරිකානු ඔලිම්පික් තේරීම් තරගාවලියේ දී කාන්තා මීටර් 100 ඉසව්ව තත්පර 10.86ක කාලයකින් අවසන් කරමින් ජය ගැනීමට ද ඇයට හැකි වුනා.

නමුත් එම තරගයෙන් පසුව සිදු කළ තහනම් උත්තේජක පරීක්ෂණයේ ප්‍රතිඵලවලට අනුව ඇයගේ සාම්පලයේ marijuana නම් තහනම් ද්‍රව්‍යය අඩංගු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

එම නිසාවෙන් ඇයගේ ඔලිම්පික් තේරීම් තරගාවලියේ ජයග්‍රහණ අවලංගු වීමට සහ මෙම තහනම් ද්‍රව්‍යය භාවිතා කිරීමට වැරදිකරු වීම නිසාවෙන් ඇයට බොහෝ විට දින 30ක තහනමකට ද යටත් වීමට සිදු වනු ඇත.

කෙසේ නමුත් මෙය සම්බන්ධයෙන් කිසිදු නිල ප්‍රකාශයක් ඇමරිකානු බලධාරීන් විසින් නිකුත් කර නොමැති නමුත් ඇයගේ ස්ථානයට වෙනත් ක්‍රීඩිකාවක් ආදේශ කිරීමට ඔවුන් කටයුතු කරමින් සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

කාන්තා මීටර් 100 ඉසව්ව තත්පර 10.72ක කාලයකින් අවසන් කරමින් මෙම වසරේ දෙවැනි වේගවත්ව කාලය වාර්තා කිරීමට ද Richardson සමත් වූ අතර ඇයගේ වර්තමාන දස්කම් මත ඇය ඔලිම්පික් උළෙලේ රන් පදක්කම දිනා ගනු ඇතැයි බොහෝ දෙනා මත පලකර සිටියා.

නමුත් මෙම සිදුවීමත් සමඟ යම් හෙයකින් ඇයට තහනමක් පැනවීමට බලධාරීන් කටයුතු කළහොත් Richardsonගේ ඔලිම්පික් සිහිනයට තිත තැබීමට ඇයට සිදුවනු ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<