Home Sinhala අසලංක – භානුක සබඳතාවයෙන් සුපිරි 12 වටයට සුපිරි ආරම්භයක්

අසලංක – භානුක සබඳතාවයෙන් සුපිරි 12 වටයට සුපිරි ආරම්භයක්

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

384

2021 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහභාගී වූ සුපිරි 12 වටයේ පළමු තරගයෙන් කඩුලු 5ක සුපිරි ජයග්‍රහණයක් ලබා ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද (24) සමත් වුනා. ඒ  සාජා හිදී බංග්ලාදේශය පරාජය කරමින්.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දු යැවීමට තීරණය කළා. බංග්ලාදේශය කඩුලු 4ක් දැවී ලකුණු 171ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම දියත් කළ ශ්‍රී ලංකාව පන්දුවාර 18කුත් පන්දු 5ක් අවසානයේ කඩුලු 5ක් දැවී එම ඉලක්කය සපුරා ගත්තා.

එහි දී චරිත් අසලංක සහ භානුක රාජපක්ෂ ශ්‍රී ලංකාව වෙනුවෙන් අර්ධ ශතක ලබා ගැනීම කැපී පෙනුණා.

ශ්‍රී ලංකාව මේ තරගය සඳහා අවතීර්ණ වුනේ එක් වෙනස්කමක් සිදු කරමින්. ඒ ආබාධයට ලක්වූ මහීෂ් තීක්ෂණ වෙනුවට වමතින් වේගපන්දු යවන බිනුර ප්‍රනාන්දු මේ තරගය සඳහා කැඳවමින්. එසේම බංග්ලාදේශය ද Taskin Ahamed වෙනුවට වමතින් දඟපන්දු යවන Nasum Ahmed අද තරගයට කැඳවා තිබුණා.

ශ්‍රී ලංකාව: කුසල් පෙරේරා (wk), පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල් , අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, දසුන් ශානක (C), චාමික කරුණාරත්න, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, ලහිරු කුමාර

බංග්ලාදේශය: Litton Das, Mohammad Naim, Shakib Al Hasan, Mushfiqur Rahim, Mohammad Mahmudullah (capt), Afif Hossain, Nurul Hasan (wk), Mahedi Hasan, Mohammad Saifuddin, Nasum Ahmed, Mustafizur Rahman

පළමු වටය අවසානයේ A කාණ්ඩයේ අපරාජිතව ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර ස්කොට්ලන්තය හමුවේ පරාජයට පත්වුණු නමුත්, ඔවුන් ඕමානය සහ පැපුවා නිව්ගීනියාව පරාජය කරමින් B කාණ්ඩයේ දෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට බංග්ලාදේශයට සිදු වුනා.

බංග්ලාදේශ ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි Litton Das සහ Mohammad Naim ඉතාමත් සාර්ථක ආරම්භයක් ලබා දෙමින් ඔවුන්ගේ ඉනිම ගොඩනැංවීම සඳහා අවශ්‍ය මූලික අඩිතාලම සකස් කළා.

එහි දී ඔවුන් දෙදෙනා Powerplay අවස්ථාව තුල හැකි උපරිමයෙන් ලකුණු රැස්කරගත් අතර පන්දුවාර 5කුත් පන්දු 5ක් අවසානයේ ගොඩනැංවුණු පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 40කට සීමා කිරීමට ලහිරු කුමාර සමත් වුනා.

එම අවස්ථාවේ දී දැවී ගිය Das සහ කුමාර අතර යම් උණුසුම් වචන හුවමාරුවක් ද සිදු වුනා. අවසානයේ ඔවුන් සිය Powerplay අවස්ථාව තුල කඩුල්ලක් දැවී ලකුණු 41ක් ලබා ගත්තා.

Das ලකුණු 16කට දැවී ගිය පසුව පිටියට පැමිණි Shakib ලකුණු 10කට දවා ගැනීමට චාමික සමත් වුනා. එය ඒ මොහොතේ දී ශ්‍රී ලංකාවට ඉතාමත් වටිනා කඩුල්ලක් වුනේ ඔහු තුන් ඉරියව්වෙන් දස්කම් දක්වමින් තරගයක් වෙනස් කළ හැකි ක්‍රීඩකයෙක් නිසයි.

පසුව Naim සමඟ තෙවැනි කඩුල්ල සඳහා පිටියේ එක්වුණු Rahim සමඟ ලකුණු 63ක සුපිරි සබඳතාවයක් නැගුවා. එමඟින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් යම් පීඩනයකට හසු වූ අතර ඔවුන්ගේ පන්දුවල පතිතයින් අද එතරම්ම හොඳ මට්ටමක තිබුණෙ නැහැ. තණතීරුවෙන් ද පිතිකරුවන් සඳහා යම් වැඩි සහයක් හිමි වුනා.

පන්දු 52ක දී වාර්තා වුනු Naimගේ ඉනිම සඳහා 4 පහර 6ක් ඇතුළත් වුනු අතර බිනුර ප්‍රනාන්දු යොමු කළ වේගය අඩාල කළ කෙටි පන්දුවක් හමුවේ පුල් පහරක් එල්ල කිරීමට ගොස් Naim දැවී ගියා.

පන්දු 37ක් තුල වේගවත් පිතිකරණක නිරත වුනු Rahim 4 පහර 5ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් පළමු පන්දුවේ සිටම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ පන්දුවලට පහරදුන්නා. එහි ප්‍රතිඵලයක් ලෙස අවසන් පන්දුවාර 4 තුල ලකුණු 41ක් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් උඳුරා ගැනීමට බංග්ලාදේශය සමත් වුනා.

නායක Mahmudullah නොදැවී ලකුණු 10*ක් ලබා ගන්නා විට Afif ලකුණු 7කට දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට කුමාර සමත් වුනා.

පන්දු යැවීමේ දී චාමික, බිනුර සහ කුමාර එක් කඩුල්ල බැගින් දවා ගත් අතර බංග්ලාදේශය පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 4ක් දැවී ලකුණු 171ක අභියෝගාත්මක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක පිතිකරුවන් සඳහා දඟපන්දු යවන්නන් දෙදෙනෙකු යොදා ගැනීමට බංග්ලාදේශ නායකයා තීරණය කළ අතර ඉන් සාර්ථක ඵල  නෙලා ගත් ඔවුන් බංග්ලාදේශයට එරෙහිව විස්සයි විස්ස පිටියේ හොඳින් ලකුණු ලබා ගත් කුසල්ගේ කඩුල්ල එක් ලකුණකට දවා ගත්තා.

අනතුරුව අංක 3 පිතිකරු ලෙස පිටියට පැමිණි අසලංක සමඟ එක්වුණු නිස්සංක 3 වැනි කඩුල්ල සඳහා පන්දු 45ක් තුල ලකුණු 69ක වේගවත් සබඳතාවයක් ගොඩනංවමින් Powerplay අවස්ථාව තුල උපරිම ලකුණක් වෙත යාමට අවශ්‍ය මඟ සකස් කළා.

ඒ අනුව ශ්‍රී ලංකාව Powerplay අවස්ථාව තුල එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 54ක් ලබා ගනිමින් මේ තරගය සාර්ථක අවසානයක් වෙත යාම සඳහා අවශ්‍ය මුලික අඩිතාලම සකස් කළා.

Shakib 9 වැනි පන්දුවාරය තුල ලකුණු 24ක් ලබා සිටි නිස්සංකව දවා ගත් අතර අවිශ්ක ප්‍රනාන්දු හට ද ලකුණක් හෝ ලබා ගැනීමට Shakib අවස්ථාවක් දුන්නේ නැහැ. වනිඳු ලකුණු 6යි.

ලකුණු 79කට කඩුලු 4ක් බිඳ වැටී තිබුණු අවස්ථාවේ දී අසලංක සමඟ පිටියේ එක් වූ, අද සිය 30 වැනි උපන්දිනය සමරණ භානුක 5 වැනි කඩුල්ල සඳහා ලකුණු 86ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ලකුණු සටහන සවිමත් කළා.

සිය විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ දෙවැනි අර්ධ ශතකය ලබා ගත් භානුක ලකුණු 53කට දැවී යාමත් සමඟ පන්දු 62ක දී ගොඩනැංවුණු එම සබඳතාවය අවසන් වුනා. පන්දු 31ක් තුල වාර්තා වුනු එම සුපිරි ඉනිම සඳහා 4 පහර සහ 6 පහර 3 බැගින් ඇතුළත් වුනා.

මීට මාස 3කට ඉහත දී ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් දිනා ගත් අසලංක අද අංක 3 පිතිකරුවා ලෙස පිටියට පිවිසෙමින් සිය විස්සයි විස්ස දිවියේ මංගල අර්ධ ශතකය ලබා ගත්තේ පන්දු 49ක් තුල නොදැවී ලකුණු 80*ක් ලබාගෙනයි.

එම ඉනිම සඳහා 4 පහර 5ක් සහ දැවැන්ත 6 පහර 5ක් ඇතුළත් වුනු අතර එම සුපිරි ඉනිම නිසා තරගයේ වීරයා සම්මානය ද දිනා ගැනීමට ද ඔහු සමත් වුනා.

අවසානයේ දී ශ්‍රී ලංකාව පන්දුවාර 18කුත් පන්දු 5ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 172ක් ලබාගෙන තරගය ජයග්‍රහණය කළ අතර එය, ඕනෑම කණ්ඩායමක් සාජා පිටියේ දී පැවති ජාත්‍යන්තර T20 තරගයක දී හඹා ගොස් ජය ගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස වාර්තා වුනා.

එසේම T20 ලෝක කුසලානයක ශ්‍රී ලංකා කණ්ඩායමක් හඹා ගොස් ජය ගත් වැඩිම ලකුණු ප්‍රමාණයේ වාර්තා ද මෙය වුනා.

පන්දු යැවීමේ දී Shakib සහ Nasum කඩුලු දෙක බැගින් දවා ගත් අතර බංග්ලාදේශ පන්දු රැකීම ද යම් දුර්වල මට්ටමක තිබුණා.

ලකුණු සාරාංශය,

බංග්ලාදේශය – 171/4 (20): Mohammad Naim 62, Mushfiqur Rahim 57*, චාමික කරුණාරත්න 1/12, බිනුර ප්‍රනාන්දු 1/27, ලහිරු කුමාර 1/29.

ශ්‍රී ලංකාව – 172/5 (18.5): චරිත් අසලංක 80*, භානුක රාජපක්ෂ 53, පැතුම් නිස්සංක 24, Shakib Al Hasan 2/17, Nasum Ahmed 2/29.

තරගයේ වීරයා – චරිත් අසලංක

ශ්‍රී ලංකාව මුහුණ දෙන මීළඟ තරගය මේ මස 28 වැනිදා ඩුබායි හිදී ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙනවා. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<


Result


Sri Lanka
172/5 (18.5)

Bangladesh
171/4 (20)

Batsmen R B 4s 6s SR
Mohammad Naim Sheikh c & b Binura Fernando 62 52 6 0 119.23
Liton Das c Dasun Shanaka b Lahiru Kumara 16 16 2 0 100.00
Shakib Al Hasan (vc) b Chamika Karunaratne 10 7 2 0 142.86
Mushfiqur Rahim not out 57 37 3 2 154.05
Afif Hossain run out () 7 6 2 0 116.67
Mahmudullah not out 10 5 0 0 200.00


Extras 9 (b 2 , lb 3 , nb 3, w 1, pen 0)
Total 171/4 (20 Overs, RR: 8.55)
Fall of Wickets 1-40 (5.5) Liton Das, 2-56 (7.4) Shakib Al Hasan (vc), 3-129 (16.1) Mohammad Naim Sheikh,

Bowling O M R W Econ
Chamika Karunaratne 3 0 12 1 4.00
Binura Fernando 3 0 27 1 9.00
Dushmantha Chameera 4 0 41 0 10.25
Lahiru Kumara 4 0 29 1 7.25
Charith Asalanka 1 0 14 0 14.00
Wanidu Hasaranga 3 0 29 0 9.67
Dasun Shanaka 2 0 14 0 7.00


Batsmen R B 4s 6s SR
Kusal Perera b Nasum Ahmed 1 3 0 0 33.33
Pathum Nissanka b Shakib Al Hasan (vc) 24 20 1 1 120.00
Charith Asalanka not out 80 49 5 5 163.27
Avishka Fernando b Shakib Al Hasan (vc) 0 3 0 0 0.00
Wanidu Hasaranga c Mohammad Naim Sheikh b Mohammad Saifuddin 6 5 1 0 120.00
Bhanuka Rajapaksa b Nasum Ahmed 53 31 3 3 170.97
Dasun Shanaka not out 1 1 0 0 100.00


Extras 7 (b 0 , lb 0 , nb 0, w 7, pen 0)
Total 172/5 (18.5 Overs, RR: 9.13)
Fall of Wickets 1-2 (0.4) Kusal Perera, 2-71 (8.1) Pathum Nissanka, 3-71 (8.4) Avishka Fernando, 4-79 (9.4) Wanidu Hasaranga, 5-165 (18.5) Bhanuka Rajapaksa,

Bowling O M R W Econ
Nasum Ahmed 2.5 0 29 2 11.60
Mehidy Hasan Miraz 4 0 30 0 7.50
Mohammad Saifuddin 3 0 38 1 12.67
Shakib Al Hasan 3 0 17 2 5.67
Mustafizur Rahman 3 0 22 0 7.33
Mahmudullah 2 0 21 0 10.50
Afif Hossain 1 0 15 0 15.00