ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලාංකේය අභිමානය

ICC Cricket World Cup

6877
Sri lankan players records in icc cricket world cup

“1996 ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී අරවින්දගේ ඉනිමට වඩා හොඳ ඉනිමක් තවත් තිබේ වී කියලා මම හිතන්නේ නැහැ.”

හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන විසින් එදා 96 දී රූපවාහිනියෙන් දැකපු අරවින්දගේ ඉනිම පසුකාලීන ව විස්තර කරන්නේ ඒ විදිහට.

McGrath, Fleming, Warne, Reiffel වැනි විශිෂ්ට ඕස්ට්‍රේලියානු පන්දු යැවීමේ බළඇණියකට එරෙහිව කිසිම කෙනෙක් බලාපොරොත්තු නොවුනු ජයග්‍රහණයක් එදා ශ්‍රී ලංකාවට ලබා දෙන්න ප්‍රධානතම හේතුව වුනේ අරවින්ද ද සිල්වා බව නොරහසක්.

පන්දුවෙන් කඩුලු 3ක් දවා ගනිමින් සහ උඩපන්දු දෙකක් ලබා ගනිමින් ඕස්ට්‍රේලියානු ඉනිම ලකුණු 241කට සීමා කිරීමේ පුරෝගාමියා වුන අරවින්ද පිළිතුරු ඉනිම දියත් කරපු ශ්‍රී ලංකා ඉනිමේ ඉක්මන් කඩුලු දෙකක් බිඳ වැටුනයින් පසුව පිටියට පිවිසෙන්නේ ඉතිහාසගත ඉනිමකට ආරම්භය ලබා දෙමිනුයි.

“ශ්‍රී ලංකාව කොහොමවත් ජයග්‍රහණය කරාවි කියලා බලාපොරොත්තු වුන කණ්ඩායම නෙවෙයි.

නමුත් Big Game Playersලට තියෙන්නේ ඒ වගේ මානසිකත්වයක්. ඒක තමයි අරවින්ද අපිට පෙන්නුවේ. ඔවුන්ගේ දවස් වල දී ඔවුන් ව නවත්වන්න කිසිම කෙනෙක්ට බැහැ.”

ශ්‍රී ලංකාව බිහි කළ තවත් තීරණාත්මක තරගවල විශිෂ්ට ඉනිම් දියත් කළ ක්‍රීඩකයෙකු (Big Game Player) ලෙස සැලකෙන මහේල විසින් අරවින්දගේ ඉනිම විස්තර කළේ ඒ විදිහට.

මෙතෙක් ලෝක කුසලාන (එක්දින) අවසන් මහා තරග තුනක් ක්‍රීඩා කරලා තියෙන ශ්‍රී ලංකාව වෙනුවෙන් ඒ තරගවල දී ශතක දෙකක් වාර්තා වෙනවා. ඉන් එකක් 96 දී අරවින්දගේ පිත්තෙන් වාර්තා වුන ජයග්‍රාහී ශතකය. අනෙක 2011 දී මහේලගේ පිත්තෙන් වාර්තා වුන පරාජිත ශතකය.

එදා මහේලගේ පිත්තෙන් වාර්තා වුන ශතකයේ වටිනාකම ඉහළ දමන්න ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන්ට නොහැකි වුනා. අදටත් ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ට තියෙන අඳුරුතම මතකවලින් එකක් විදිහට 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය හඳුන්වලා දෙන්න පුළුවන්.

අරවින්ද ද සිල්වාගේ ලෝක කුසලාන තරගාවලි 5න් සාර්ථක ම ලෝක කුසලානය වුනේ 1996 ලෝක කුසලානය. මේ තරගාවලියේ දී ඔහු විසින් ඉනිම් 6ක දී ලකුණු 448ක් ලබා ගන්නේ 89.60ක පිතිකරණ සාමාන්‍යයක් සමඟින්. ඒ වගේම අරවින්ද තමයි ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පස්වැනියට ඉහළම ලකුණු ලාභියා වෙන්නෙත්.

96 අරවින්ද ගැන විස්තර කළ මහේල තමයි මේ ලැයිස්තුවේ 4 වැනියට තමන්ගේ නම සටහන් කර ගන්න සමත් වෙලා තියෙන්නේ.

මේ දෙන්නට ම ඉහළින් සංගක්කාර, සනත් සහ ඩිල්ශාන් තමන්ගේ නම් ලියා ගෙන තියෙනවා.

පන්දු යැවීම පැත්තට ගියොත් මාලිංග, මුරලි සහ වාස් ශ්‍රී ලංකාව වෙනුවෙන් විතරක් ම නෙවෙයි, ලෝක මට්ටමෙනුත් ලෝක කුසලාන තරගවල දී සෑහෙන්න ඉහළ දක්ෂතා පෙන්වලා තියෙනවා.

1975 සිට මෙතෙක් පැවැත්වුණු ලෝක කුසලාන තරගාවලි 12ටම සහභාගී වෙන්න සමත් වුන ශ්‍රී ලංකාව අවසන් මහා තරග තුනක්, අවසන් පූර්ව තරග හතරක් ක්‍රීඩා කරන්න සමත් වෙනවා.

ඇත්තටම ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන දක්ෂතා සෑහෙන්න ඉහළ මට්ටමක රැඳිලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන වාර්තා සහ අරවින්ද, මහේල ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ලෝක කුසලාන දක්ෂතා පිළිබඳ සාරාංශ ගත විමසීමක් පහතින්.

ලෝක කුසලාන තරගාවලිවල ශ්‍රී ලංකා දක්ෂතා

තරග: 80, ජයග්‍රහණ: 38, පරාජයන්: 39, සම: 1 ජයග්‍රාහී ප්‍රතිශතය: 47.75%

(තරග 94කින් 69ක් ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියාවේ ජයග්‍රහණ ප්‍රතිශතය 73.40%ක් වැනි ඉහළ අගයක රැඳෙනවා.)

1975, 79, 83, 87, 92 මූලික වටය
1996 ශූරතාවය
1999 මූලික වටය
2003 අවසන් පූර්ව වටය
2007 අනු ශූරතාව
2011 අනු ශූරතාව
2015 අවසන් කණ්ඩායම් 8
2019 මූලික වටය

 ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉනිමක දී ලබා ගත් ඉහළම ලකුණු: 398/5 (1996 දී කෙන්යාවට එරෙහිව) (සමස්තය අතරින් 5 වැනි ස්ථානය)

ලෝක කුසලාන තරගයක කණ්ඩායමක් දවා ගත් අඩුම ලකුණු සංඛ්‍යාව:

කැනඩාව ශ්‍රී ලංකාවට එරෙහිව: 36/10 (2003 ලෝක කුසලානයේ දී)

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ඉහළම ලකුණු ලාභියා බවට පත් වෙන්නේ ඉන්දීය සුපිරි පිතිකරු Sachin Tendulkar විසින්. ඔහු විසින් ඉනිම් 44ක දී ලකුණු 2278ක් ලබා ගන්න සමත් වෙනවා.

මෙහි දෙවැනි ස්ථානය හිටපු ඕස්ට්‍රේලියානු නායක Ricky Ponting හට හිමි වෙනවා. තුන්වැනි ස්ථානය හිමි වෙන්නේ කුමාර් සංගක්කාරට. මේ ලැයිස්තුවේ ඉහළින් ම රැඳෙන පිතිකරුවන් 11 දෙනා අතරින් සිව් දෙනෙකු ම ශ්‍රී ලාංකිකයින් වීම විශේෂත්වයක්.

ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු  (ශ්‍රී ලංකාව වෙනුවෙන්)

ක්‍රීඩකයා කාල සීමාව තරග ඉනිම් ලකුණු වැඩිම ලකුණු සාමාන්‍
කුමාර් සංගක්කාර 2003-2015 37 35 1532 124 56.74
සනත් ජයසූරිය 1992-2007 38 37 1165 120 34.26
තිලකරත්න ඩිල්ශාන් 2007-2015 27 25 1112 161* 52.95
මහේල ජයවර්ධන 1999-2015 40 34 1100 115* 35.48
අරවින්ද ද සිල්වා 1987-2003 35 32 1064 145 36.68

ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ශතක ප්‍රමාණයක් රැස් කරලා තියෙන්නේ වත්මන් ඉන්දීය නායක Rohit Sharma සහ Sachin Tendulkar විසින්. ඔවුන් දෙදෙනා ම ලෝක කුසලාන ශතක 06 බැගින් වාර්තා කරන්න සමත් වෙනවා. Sharmaගේ ශතක 6න් 5ක්ම වාර්තා වෙන්නේ 2019 ලෝක කුසලානයේ දී වීම විශේෂත්වයක්.

මේ ලැයිස්තුවේ තුන්වැනි තැන රැඳෙන්නේ කුමාර් සංගක්කාර. ඔහු ශතක 05ක් වාර්තා කරන්න සමත් වෙනවා. මෙයින් ශතක හතරක් ම ඔහු වාර්තා කළේ 2015 ලෝක කුසලානයේ දී. විශේෂතම දේ තමයි මේ ශතක හතර ම නොකඩවා ඉනිම් හතරක දී වාර්තා වූ ඒවා වීම.

ඊට අමතරව තිලකරත්න ඩිල්ශාන් සහ මහේල ජයවර්ධන ශතක 4 බැගිනුත්, සනත් ජයසූරිය ශතක තුනකුත් වාර්තා කරන්න සමත් වෙලා තියෙනවා.

ඒ වගේම ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලෝක කුසලාන අර්ධ ශතක (12) ප්‍රමාණයක් ලබා ගන්න සමත් වෙන්නෙත් කුමාර් සංගක්කාර විසින්. මීට අමතරව මහේල සහ ජයසූරිය අර්ධ ශතක 9 බැගින් වාර්තා කරන්න සමත් වෙලා තියෙනවා.

2003 ලෝක කුසලානයේ දී Sachin Tendulkar විසින් ඉනිම් 11කින් ලකුණු 673ක් වාර්තා කරන්න සමත් වෙන්නේ මෙතෙක් ලෝක කුසලාන ඉතිහාසයේ තරගාවලියක ඉහළම ලකුණු ලබා ගැනීමේ වාර්තාවට හිමිකම් කියමින්. Sachinගෙන් පස්සේ ඕස්ට්‍රේලියාවේ Matthew Hayden (2007 දී ලකුණු 659), Rohit Sharma (2019 දී ලකුණු 648) වශයෙන් මේ ලැයිස්තුවේ ඉදිරියෙන් පසුවෙනවා.

මේ සටහනේ මුලින් ම සටහන් වෙන ශ්‍රී ලාංකික නාමය වෙන්නේ මහේල ජයවර්ධනගේ නම. ඔහු මේ ලැයිස්තුවේ 8 වැනි ස්ථානයට පැමිණෙන්නේ 2007 ලෝක කුසලානයේ දී ඉනිම් එකොළහකින් ලකුණු 548ක් වාර්තා කරමින්.

“මහේල කියන්නේ Big Match Player කෙනෙක්. 2007 නවසීලන්තය සමඟ අවසන් පූර්ව තරගයේ දීත් ඔහු විශාල ශතකයක් ලබා ගත්තා. ඔහු ඒ වෙද්දී ගොඩක් ක්‍රිකට් ක්‍රීඩා කරලා තිබුණා, ඔහු පිටිය මැද දී කළ යුතු දේ දැනගෙන හිටියා. ඔහුට හොඳින් තරගය කියවිය හැකි, නමුත් වැදගත් ම දේ තමයි ඔහුගේ මානසික ශක්තිය.”

2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී Zaheer Khanගේ වේගපන්දු නිසා අසරණ වුන උපුල් තරංග එදා මහේල විසින් දියත් කළ විශිෂ්ට ඉනිම ගැන ඒ විදිහට සඳහන් කරනවා.

ශ්‍රී ලාංකික පිතිකරුවන් සියල්ල ම පාහේ අසීරුවෙන් ලකුණු රැස් කළ තණතිල්ලක මහේල විසින් පන්දු 88ක් පමණක් වැය කරමින් ලකුණු 103ක් ලබා ගන්න සමත් වුනේ 2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේ වාසිය සම්පූර්ණයෙන් ම ශ්‍රී ලංකාවට නතු කරවමින්.

නමුත් අවාසනාවකට කතාවේ අවසානය සටහන් වුනේ වෙනස් විදිහකට.

ලෝක කුසලාන තරගාවලි වල දී වැඩිම ලකුණු ලාභී ශ්‍රී ලාංකිකයින්

ක්‍රීඩකයා තරග ඉනිම් ලකුණු වැඩිම ලකුණු සාමාන්‍ය ප්‍රහාරාත්මක වේගය
මහේල ජයවර්ධන (2007) 11 11 548 115* 60.88 85.09
කුමාර් සංගක්කාර (2015) 7 7 541 124 108.20 105.87
තිලකරත්න ඩිල්ශාන් (2011) 9 9 500 144 62.50 90.74
සනත් ජයසූරිය (2007) 11 11 467 115 46.70 98.31
කුමාර් සංගක්කාර (2011) 9 8 465 111 93.00 83.78

මේ සටහන පිරික්සද්දී විශේෂයෙන්ම අවධානය යොමු වෙන නම තමයි කුමාර් සංගක්කාර කියන්නේ.

2015 ලෝක කුසලාන තරගාවලියේ දී ඉනිම් 7ක් පමණක් ක්‍රීඩා කරමින් 105.87ක සාමාන්‍යයක් සහිතව සංගා විසින් ලබා ගත්තු ලකුණු 541 තව තරග කිහිපයක් ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරන්න ලැබුණා නම් සෑහෙන්න වෙනස් වෙන්න තිබුණා. ඒ වගේම 2011 ලෝක කුසලානයේ දීත් සංගාගේ පිතිකරණ සාමාන්‍යය 90 සීමාව ඉක්මවා ගිහින් තියෙනවා.

ලෝක කුසලාන ඉතිහාසයේ ඉහළම කඩුලු ලාභීන් අතර පෙරමුණේ පසු වෙන්නේ හිටපු ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නා Glenn Mcgrath (කඩුලු 71) විසින්. Mcgrathට කඩුලු තුනක් පමණක් පසුපසින් ඉන්න මුත්තයියා මුරලිදරන් මේ ලැයිස්තුවේ දෙවැනි තැන හිමි කර ගනිද්දී, එහි තෙවැනි තැන ලසිත් මාලිංග හටත්, පස්වැනි ස්ථානය චමින්ද වාස් හටත් හිමි වෙන්නේ ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා පන්දු යැවීමේ බළඇණිය මොන තරම් ප්‍රබල එකක් ද කියන දේ මනාවට පැහැදිලි කරමින්.

(ESPN Cricinfo 2011 ලෝක කුසලානය අතරතුර දී.)

ඒ වගේම ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා දක්ෂතා ඉහළින් ම වැජඹෙන්න ප්‍රධානතම හේතුවක් වුන ක්‍රීඩක තුන් ඉරියව් දක්ෂතා මොන තරම් ඉහළ ද කියලා වැටහෙන්නේ මෙතෙක් ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම කඩුලු ලාභී වාර්තාව දෙස බලද්දී.

ක්‍රීඩකයා කාල සීමාව තරග ඉනිම් කඩුලු හොඳම සාමාන්‍යය Econ
මුත්තයියා මුරලිදරන් 1996-2011 40 39 68 4/19 19.63 3.88
ලසිත් මාලිංග 2007-2019 29 28 56 6/38 22.87 5.51
චමින්ද වාස් 1996-2007 31 31 49 6/25 21.22 3.97
සනත් ජයසූරිය 1992-2007 38 31 27 3/12 39.25 4.83
තිලකරත්න ඩිල්ශාන් 2007-2015 27 22 18 4/4 24.83 4.41
අසන්තා ද මෙල් 1983-1987 9 9 18 5/32 24.94 4.97

ඉහළම ලකුණු ලාභීන් සහ කඩුලු ලාභීන් කියන කොට්ඨාශ දෙකේ ම සනත් ජයසූරිය සහ තිලකරත්න ඩිල්ශාන්ගේ නම් සඳහන් වීම පුදුමයට කාරණයක්!

“ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තරගවල ‘1996 දී අර්ජුන, 2011 දී සංගා’ යනුවෙන් සටහන් වුන පුවරුවක් නිතර දකින්න ලැබුණා. ඔවුන් ඒ හා සමාන ඉරක් අඳී වී මේ විදිහටත්, ‘1996 දී සනා, 2011 දී ඩිල්ශාන්’.

96 දී සනත් තරගාවලියේ වටිනා ම ක්‍රීඩකයා විදිහට සම්මාන දිනා ගත්තා වගේම 2011 දී ඩිල්ශානුත් තරගාවලියේ වීරයා සම්මානයට අත පොවන මානයේ හිටියා. නමුත් ලෝක කුසලාන අවසන් මහා තරගය පරාජය වීමත් සමඟ ඩිල්ශාන්ට ලැබෙන්න තිබුණු සම්මානය Yuvraj Singh අතට ගියා.

ඒ වගේම මේ කඩුලු ලාභීන් අතර කඩුලු 18ක් සමඟින් සම පස් වැනි ස්ථානයේ රැඳෙන්න සමත් වුන අසන්තා ද මෙල් පිළිබඳ වත් විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. 1983 ලෝක කුසලානයේ දී Roger Binnyට (කඩුලු 18) පමණක් දෙවැනි වෙමින් ඉහළම කඩුලු ලාභීන් අතර රැඳෙන්න මෙල් විසින් සමත් වුනේ කඩුලු 17ක් දවා ගනිමින් (1987 ලෝක කුසලානයේ දී අසන්තා දවා ගන්නේ එක් කඩුල්ලක් විතරයි). මේ කඩුලු 17 අතරට කඩුලු 5 දක්ෂතා දෙකක් ඇතුළත් වීමත් විශේෂයි.

ඒ වගේම 1996 ලෝක කුසලානය සමඟ ක්‍රිකට් ලෝකයේ ආධිපත්‍යය ගොඩනගා ගන්න සමත් වුන ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින් අතරට 80 දශකයේ ක්‍රීඩා කළ මෙල්ගේ නම ඇතුළත් වීම ම ඔහු කෙතරම් විශිෂ්ට වේගපන්දු යවන්නකු ද කියලා පැහැදිලි කරවනවා.

“1983 ලෝක කුසලානයේ නවසීලන්තයට එරෙහිව බ්‍රිස්ටල් වල දී ක්‍රීඩා කළ තරගයේ දී මම කඩුලු තුනක් දවා ගත්තා. නමුත් ඔවුන්ගේ නායක Geoff Howarthගේ කඩුල්ල රුමේශ් රත්නායකගේ නමටයි දාලා තිබුණේ. මගේ පන්දුවකට Howarth ලබා දුන් උඩපන්දුව මඩුගල්ල (රන්ජන්) විසින් රැක ගත්තේ.

මේ වරද ගැන අපි දැන ගත්තේ පසුව. නමුත් මට ඒ ගැන කිසිම කනගාටුවක් නැහැ.” – අසන්තා ද මෙල්

මේ ගැන නිවැරදි කරන්න උත්සාහ කළත්, ඒ උත්සාහය අසාර්ථක වුනා කියලයි දැන ගන්න ලැබෙන්නේ. මේ වරද නොවෙන්න අසන්තා තමයි මේ තරගාවලියේ ඉහළ කඩුලු ලාභියා බවට පත් වෙන්නේ.

මේ අතරේ ලෝක කුසලාන ඉතිහාසයේ කඩුලු හතරේ අවස්ථා 4ක් ලබා ගන්න මුත්තයියා මුරලිදරන් සමත් වෙද්දී, ලසිත් මාලිංග සහ චමින්ද වාස් විසින් කඩුලු පහේ අවස්ථා එක බැගින් ලබා ගන්න සමත් වෙලා තියෙනවා.

ඇත්තටම මාලිංග සහ වාස් විසින් වාර්තා කළ මේ කඩුලු පහේ අවස්ථා දෙක ම කඩුලු 6 බැගින් දවා ගැනීමට සමත් වූ අවස්ථා දෙකක්.

2003 දී චමින්ද වාස් බංග්ලාදේශයට එරෙහිව ඉනිමේ පළමු පන්දු තුනෙන් දවා ගත් කඩුලු ත්‍රිත්වයක් සමඟ ලකුණු 25කට කඩුලු හයක් දවා ගනිද්දී, ලසිත් මාලිංග 2011 දී කෙන්යාවට එරෙහිව ලබා ගත්තු කඩුලු ත්‍රිත්වයක් සමඟින් ලකුණු 38කට කඩුලු 6ක් දවා ගන්න සමත් වෙනවා.

මේ කඩුලු දවා ගැනීමේ අවස්ථා දෙක ම ලෝක කුසලාන ඉතිහාසයේ පන්දු යවන්නෙකු විසින් දක්වපු ඉහළම පන්දු යැවීමේ දක්ෂතා අතර 5 වැනි ස්ථානයේ රැඳීමත් විශේෂත්වයක්.

ඊට අමතරව ලසිත් මාලිංග විසින් 2007 ලෝක කුසලානයේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව පිට පිට පන්දු 4කින් කඩුලු 4ක් දවා ගැනීමත් අමතක කළ නොහැකි මතකයක්.

ලෝක කුසලාන තරගාවලියක වැඩිම කඩුලු ලාභියා බවට පත් වෙන්න ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Mitchell Starc විසින් සමත් වුනේ 2019 ලෝක කුසලානයේ දී කඩුලු 27ක් දවා ගනිමින්. මේ ලැයිස්තුවේ තුන්වැනි ස්ථානය චමින්ද වාස්ට (2003 දී කඩුලු 23ක්) සහ මුත්තයියා මුරලිදරන්ට (2007 දී කඩුලු 23ක්) හිමි වෙනවා.

මෙතෙක් ලෝක කුසලාන ඉතිහාසයේ කඩුලු රකින්නෙකු ලෙස ඉහළම දක්ෂතා පෙන්වන්න කුමාර් සංගක්කාර විසින් සමත් වෙන්නේ (උඩපන්දු: 41, ස්ටම්ප්: 13, සමස්ත දවාගැනීම්: 54) තමන්ගේ නම ලෝක කුසලාන වාර්තා වලින් තව කාලයකට ඉවත් කරන්න නොහැකි බව සනාථ කරමින්.

“ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ ගොඩක් විශිෂ්ට ක්‍රීඩකයින් හිටියා, අරවින්ද තමයි පළවෙනියා. මහේල ජයවර්ධන ඉන්නවා. ඊට කලින් රෝයි ඩයස්, දුලිප් මෙන්ඩිස්, සිදත් වෙත්තමුණි හිටියා.

නමුත් මට අනූව නම් කුමාර් සංගක්කාර තමයි කෙනා.” – Mark Nicholas (ක්‍රිකට් විස්තර විචාරක)

ලෝක කුසලාන ඉතිහාසය පුරාවටම මේ විදිහේ දක්ෂතා දක්වපු ක්‍රීඩකයින් රැසක් ශ්‍රී ලංකාව සතු වෙද්දී අද වෙනතෙක් ම එක් ලෝක කුසලානයකින් පමණක් සෑහීමට පත් වෙන්න ඔවුන්ට සිදුවීමත් තරමක් පුදුම සහගතයි.

දක්ෂතාව ලෝකය හොල්ලන මට්ටමේ තිබුනත්, වාසනාව නොතිබීම නිසා ලෝක කුසලාන අවසන් මහා තරග දෙකක් අවාසනාවන්ත ලෙස පරාජය නොවෙන්න මේ වාර්තාවලට මීටත් වඩා ඉහළ වටිනාකමක් හිමි වෙන්න ඉඩ තිබුණා.

ඒ වෙනුවෙන් හොඳම උදාහරණය තමයි එදා 96 දී අරවින්ද වාර්තා කළ ශතකය තරම් ම මහේල 2011 දී වාර්තා කළ ශතකයත් විශිෂ්ට එකක් වුනත් අවාසනාවකට ඒක ජයග්‍රහණයකින් කෙළවර වුන තරගයක් වුනේ නොවීම නිසා තරගයේ ගෞරවය ඉන්දීය ක්‍රීඩක දෙදෙනෙක් වන Gautam Gambhirට සහ MS Dhoniට හිමි වීම.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<