නිමාලි හෝ නිලානි අතරින් එක් අයෙකුට පමණක් ඔලිම්පික් වරම්

221

ජූලි මාසය අවසානයේ ජපානයේ දී ආරම්භ වීමට නියමිතව ඇති 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉතිරිව ඇත්තේ තවත් එක් දිනයක් පමණයි. ඒ ඔලිම්පික් පරිසාධන කාලසීමාව හෙට (29) දිනයෙන් අවසන් වෙන නිසයි.

එලෙස ඔලිම්පික් කාලසීමාව අවසන් වීමට ඉතා ආසන්නයට පැමිණ තිබුනත් මලල ක්‍රීඩාව නියෝජනය කරමින් කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවට මෙවර තරගාවලියට නිල වශයෙන් සුදුසුකම් ලබා ගැනීමට තවමත් හැකිව නැහැ.

කොරෝනා වසංගතය නිසා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමි වූ මලල ක්‍රීඩා තරගාවලි ඉතා අවම වීම එයට ප්‍රධානතම හේතුවයි.

නමුත් මෑත කාලයේ ඉතා ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ යුපුන් අබේකෝන් ඔලිම්පික් ක්‍රීඩක වර්ගීකරණයේ මේ වන විට 46 වැනි ස්ථානයේ රැඳී සිටීම නිසා එම වර්ගීකරණය ඔස්සේ බොහෝ විට ඔහුට ඔලිම්පික් වරම් ලැබෙනු ඇත.

කාන්තා මලල ක්‍රීඩාව දෙස අවධානය යොමු කිරීමේ දී මීටර් 800 ජාතික ශූර නිමාලි ලියනආරච්චි හට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ඉල්ලීමකට අනුව “Wild card” අවස්ථාවක් ලබා දීමට ලෝක මලල ක්‍රීඩා සංගමය කටයුතු කර ඇත.

නමුත් එම “Wild card” අවස්ථාවෙන් ඔලිම්පික් වරම් ලබා ගැනීමට නම් එම ක්‍රීඩිකාව නියෝජනය කරන රටින් තවත් කිසිදු ක්‍රීඩිකාවක් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබාගෙන නොසිටිය යුතු නිසාවෙන් නිමාලිගේ ඔලිම්පික් අසුන ද තවමත් තහවුරු කළ නොහැක.

ඒ මීටර් 3000 බාධක ඉසව්ව නියෝජනය කරන ජාතික ශූරී නිලානි රත්නායක වත්මන් ඔලිම්පික් ක්‍රීඩක වර්ගීකරණයේ වත්මන් සටහනේ 43 වැනි ස්ථානයට නැවත පැමිණෙමින් (46 වැනි ස්ථානයේ සිට) තෝරාගන්නා ක්‍රීඩිකාවන් 45 ඇතුළතට පැමිණීමට සමත්ව ඇති නිසයි.

එම නිසාවෙන් නිලානි හට සිය ස්ථානය රැකගැනීමට හැකියාව ලැබුනොත් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට හැකිවනු ඇති නමුත් ඇයට සුදුසුකම් ලබා ගැනීමට හැකිවුවහොත් නිමාලි ලියනආරච්චි හට සිය ඔලිම්පික් අසුන අහිමි වනු ඇත.

නිමාලි ලියනආරච්චි 

මෙරට මලල ක්‍රීඩාව ජාත්‍යන්තරව තලයේ ඉහළට ගෙන යාමට සමත් වූ නිමාලි මීටර් 800 ඉසව්වේ මෙරට බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩිකාවක් ලෙස ද හැදින්විය හැක.

එම ඉසව්වේ දකුණු ආසියානු ශූරියක ද වන නිමාලි 2017 වසරේ පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ දී මීටර් 800 ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින් වසර 13කට පසු ආසියානු රන් පදක්කමක මෙරටට දායාද කළ ක්‍රීඩිකාවකි.

2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට දින කිහිපයක් තිබිය දී සිදු වූ හදිසි අනතුරක් නිසාවෙන් වසරක පමණ කාලයක් පිටියෙන් ඉවත්ව සිටි නිමාලි නැවත ක්‍රීඩා පිටියට පිවිසියේ 2020 දෙසැම්බර් මාසයේ පැවති ජාතික ශූරතාවයේ දීයි. 

එහි දී තෙවැන්නා ලෙස තරගය අවසන් කළ ඇය මෙම වසරේ පැවති 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දී ජාතික කිරුළ දිනා ගැනීමට ද සමත් වුනා. එම දස්කම් නිසාවෙන් ඔලිම්පික් ක්‍රීඩක වර්ගීකරණයේ මුල් 60 දෙනා අතරට පැමිණීමට ඇයට හැකි වීම ද විශේෂත්වයක්.

නමුත් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුහුණ පෑ තරගාවලි හිඟය නිසාවෙන් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට ඇයට අවස්ථාවක් හිමිනොවූ අතර ඇය අවසාන වශයෙන් ඊයේ පැවති ඉන්දිය අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වුනා.

එම තරගය ආරම්භයේ සිටම ඉන්දිය ක්‍රීඩිකාවන් ඇයට තරගයේ ඉදිරියට පැමිණීමට ඉඩ නොදෙමින් හිතාමතා මාර්ගය අවහිර කරනු අයුරු ද දක්නට ලැබුණු නිසාවෙන් පරිසාධන කාලසීමාව ඉක්මවීමට ඇයට නොහැකි වූ නමුත් තරගයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ඇය සමත් වුනා.

ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් නිමාලි හට Wild card අවස්ථාවක් ලබා දීමට තීරණය කර ඇති නිසාවෙන් ඇය වත්මන් ක්‍රීඩක වර්ගීකරණයේ 25 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත්ව තිබුනත්, නිලානි රත්නායක ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ සීමාවේ සිටීම නිසා තවමත් ඔලිම්පික් සුදුසුකම් ලැබීම අවිනිශ්චිත වේ.

නිලානි රත්නායක 

මෙරට මලල ක්‍රීඩා ඉතිහාසයේ මෑත කාලයේ බිහි වූ අවාසනාවන්තම ක්‍රීඩිකාව ලෙස නිලානි රත්නායක හැදින්විය හැක.

වසර ගණනාවක් දේශීය මීටර් 3000 බාධක දිවීමේ කිරුළ තමන් සතුකර ගැනීමට සමත් වූ නිලානි 2019 වසරේ පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ මීටර් 3000 ඉසව්ව අවසන් වීමට ඉතා ආසන්නයේ දී පය පැටලී ඇද වැටුණේ රිදී පදක්කම දිනා ගැනීමට තිබූ ඉහළම අවස්ථාවක් අහිමි කරගනිමිනි.

එමෙන්ම 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සිය සුපුරුදු ඉසව්ව වූ මීටර් 3000 බාධක දිවීමෙ ඉසව්ව ඇතුළත් නොවීම වසරකට අධික බලාසිටීමකින් පසු නිලානි නැවත බාධක දිවීම තරගයකට සහභාගී වන්නේ දෙසැම්බර් මස පැවති ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දීයි.

එහි දී ද ඇයට අභියෝගයක් එල්ල කිරීමට කිසිදු ක්‍රීඩිකාවක් නොමැති නිසා සුපුරුදු පරිදි හුදකලා සටනකින් පසු ජාතික කිරුළ රැකගැනීමට නිලානි සමත් වන අතර එම ජයග්‍රහණය සමඟින් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට ද ඇයට හැකි වුනා.

ඉන් පසු පැවති මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ දී සහ 99 වැනි ජාතික ශූරතාවයේ දී ජයග්‍රහණ ලබා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ තවත් ඉදිරියට පැමිණීමට ඇය සමත්වූවත් ඉන්පසු කිසිදු තරගාවලියක් නියෝජනය කිරීමේ වරම් ඇයට හිමි වුනේ නැහැ.

එම නිසාවෙන් සහ අනෙකුත් රටවල්හී ක්‍රීඩා තරගාවලි රැසක් පැවැත්වීම නිසා නිලානි හට ප්‍රසාද ලකුණු සටහනේ පසුබැසීමට සිදු වූ අතර ඇය වත්මන් වර්ගීකරණයේ 43 වැනි ස්ථානයේ පසුවනවා. ප්‍රසාද ලකුණු සටහන මත තෝරාගන්නා ක්‍රීඩිකාවන් ගණන 45කි.

කෙසේ නමුත් නිලානි හෙට දිනයේ දී ඉන්දියාවේ පැවැත්වෙන අන්තර් ප්‍රාන්ත තරගාවලියේ දී තරග බිමට පිවිසීමට නියමිතව ඇති අතර එහි දී ඔලිම්පික් පරිසාධන සීමාව වන මිනිත්තු 9.30ක කාලය පසුකිරීමට ද අවස්ථාවක් ඇත.

කෙසේ නමුත් මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා අතරින් එක් අයෙකුට නිසැක වශයෙන් ඔලිම්පික් වරම් හිමි වන නිසාවෙන් මලල ක්‍රීඩාවට මෙරටින් ඔලිම්පික් අසුනක් හිමි වීම තහවුරු වේ.

එම අවස්ථාව මෙම ක්‍රීඩිකාවන් දෙදෙනාගෙන් කුමන අයෙකුට හිමිවූවත් ඔවුන් දෙදෙනාම එයට ඉතාමත් සුදුසු වේ. මන්ද ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට වැඩි අවධානයක් යොමු නොවූ යුගයක මලල ක්‍රීඩාව වෙනුවෙන් ඔවුන් කළ සේවය සුළුපටු නොවන නිසාවෙනි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<