කෙටිදුර ධාවන ශූර යුපුන් නිල වශයෙන් ඔලිම්පික් වරම් ලබයි

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල - 2020

799

මෙම මාසයේ ජපානයේ ටෝකියෝ නුවර දී ආරම්භ වීමට නියමිත32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙලේ මීටර් 100 ඉසව්ව සඳහා ශ්‍රී ලාංකික කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් නිල වශයෙන් සුදුසුකම් ලැබූ බව ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව විසින් අද (03) නිල වශයෙන් තහවුරු කර සිටියා.

ඔලිම්පික් ක්‍රීඩක වර්ගීකරණයට අනුව මෙලෙස ඔලිම්පික් වරම් හිමිකර ගැනීමට යුපුන් සමත් වූ අතර පරිසාධන කාලසීමාව අවසන් වන විට යුපුන් ප්‍රසාද ලකුණු 1203ක් ලබා ගනිමින් 45 වැනි ස්ථානයෙහි පසු වුනා.

ඒ අනුව එම ඉසව්ව සඳහා තෝරාගන්නා ක්‍රීඩකයන් 56 (පරිසාධන සීමාව පසු කළ සහ වර්ගීකරණය මත) තුළ රැඳී සිටීමට ඔහුට හැකි වුනා.

1992 ඔලිම්පික් උළෙලේ මීටර් 100 ඉසව්ව සඳහා සුදුසුකම් ලබා ගැනීමට හිටපු ක්‍රීඩක ශ්‍රියන්ත දිසානායක සමත් වීමෙන් වසර 29කට පසු එම ඉසව්ව සඳහා Wild card අවස්ථාවකින් තොරව සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ පළමු ක්‍රීඩකයා යුපුන් වීම ද විශේෂත්වයක්.

එමෙන්ම චින්තක සොයිසා 1996 ඇත්ලැන්ටා ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 100 ඉසව්ව නියෝජනය කිරීමෙන් වසර 25කට පසු මීටර් 100 ඉසව්වෙන් ඔලිම්පික් උළෙලක් නියෝජනය කරන පළමු ක්‍රීඩකයා වීමට ද යුපුන්ට හැකි වේ.

පසුගිය වසරේ ඉතාලියේ පැවති මලල ක්‍රීඩා තරගාවලියක දී මීටර් 100 ඉසව්ව තත්පර 10.16ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වේ දකුණු ආසියානු වාර්තාව තමන් සතු කර ගත් යුපුන් මෙම වසරේ දී තත්පර 10.15ක කාලයකින් තරගයක් අවසන් කරමින් තමන්ගේම වාර්තාව අලුත් කළා.

එමෙන්ම පසුගිය මාසයේ පැවති තරගාවලියක දී මීටර් 100 ඉසව්ව තත්පර 10.09ක කාලයකින් අවසන් කිරීමට ඔහු සමත් වූවත් සුළඟේ වේගය නිසාවෙන් එය වාර්තාවන් ගොන්නට ඇතුළත් වුනේ නැහැ. නමුත් ඔහුගේ එම කාලය මෙරට ක්‍රීඩකයෙකු වාර්තා කළ වේගවත්ම කාලයයි.

සිය ක්‍රීඩා දිවියේ සහභාගී වූ ඉහළම තරගාවලිය ලෙස පසුගිය මාසයේ පැවති ඉතාලි ඩයමන්ඩ් ලීග් තරගාවලියට සහභාගී වූ යුපුන් එහි ප්‍රබල ක්‍රීඩකයන් අභිබවමින් සිව්වැන්නා ලෙස තරගය නිමා කිරීමට සමත් වූ අතර එම තරගාවලියේ දස්කම් මත ඔහුට ඔලිම්පික් ක්‍රීඩක වර්ගීකරණයේ ඉහළට පැමිණීමට හැකි වුනා.

තමන්ට ඔලිම්පික් වරම් හිමි වීම පිළිබඳව සිය Facebook ගිණුමේ සටහනක් තබමින් යුපුන් අබේකෝන් ප්‍රකාශ කර තිබුණේ තමන්ගේ වසර 16ක හීනය සැබෑ කරමින් ඔහුට ඔලිම්පික් වරම් හිමි වූ බවයි.

මලල ක්‍රීඩාව නියෝජනය කරමින් නිල වශයෙන් මෙවර ඔලිම්පික් උළෙලට සහභාගි වීමේ වරම් දිනා ගත් පළමුවැන්නා යුපුන් වන අතර ඔහුට අමතර නිලානි රත්නායකට හෝ නිමාලි ලියනආරච්චි හට ඔලිම්පික් වරම් හිමි වීමට ඉඩක් ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<