බංග්ලාදේශ ක්‍රිකට්වල වෙනස්කම් රැසක්!

Bangladesh Cricket Captaincy

2690

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්ව වෙනසක් සිදු කරමින් සියලු තරග අංශ සඳහා නව නායකයකු පත් කර තිබෙනවා.

මේ අනුව මෙතෙක් කණ්ඩායමේ නිල නායකයා ව සිටි Shakib Al Hasan වෙනුවට Najmul Hossain Shanto නව නායකයා ලෙස නම් කර ඇති අතර, ඔහු ඉදිරි වසරක කාලය සඳහා මෙම වගකීම දරනු ඇති බවයි BCB සභාපති Nazmul Hassan සඳහන් කර තිබුණේ.

නිමා වූ එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ දී බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය දැරූ නිත්‍ය නායක Shakibහට ඉන් පසුව නවසීලන්තය සමඟ පැවැත්වුණු ටෙස්ට් සහ එක්දින තරගමාලා මග හැරී ගිය අතර, ඒවායේ නායකයා ලෙස කටයුතු කලේ Shanto විසිනුයි.

නමුත් එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා Shakibගේ නායකත්වය යටතේ බංග්ලාදේශය තරග වදිනු ඇති බව මීට පෙර පළ වූ බොහෝ මාධ්‍ය වාර්තාවල සඳහන් වීම නිසාම මෙම නායකත්ව වෙනස බොහෝ දෙනා පුදුමයට පත් කළ එකක් වුනා.

කෙසේ වෙතත් නිමා වූ ලෝක කුසලානය අතරතුර සිය එක් ඇසක පෙනීමේ ගැටලුවක් ඇති වීම Shakibගෙන් මෙම නායකත්වය ගැලවී යාමට ප්‍රධානතම හේතුව ලෙස BCBය සඳහන් කරනවා.

“අපි Shantoව තරග අංශ තුනේ ම නායකයා ලෙස තෝරා ගත්තා. තවමත් ඇහේ ගැටලුව හොඳ නොවුණු Shakibටත් අපි කතා කළා.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් සමඟ බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිත තරගාවලි සඳහා ඔහුගේ (Shakibගේ) සහභාගීත්වය ගැන අපිට විශ්වාසයක් නැහැ. ඒ වගේම අපිට ඉදිරියේ දී එන විස්සයි විස්ස ලෝක කුසලානය ගැනත් හිතන්න වෙනවා.

Shakib තමයි අපේ පළමු තේරීම. ඒත් අපිට අවිනිශ්චිතතාවක් තියා ගන්න අවශ්‍ය නැහැ. අපිට තීරණය පරක්කු කරන්නත් බැහැ.”

සිය පළමු තේරීම වූ Shakib වෙනුවට Shanto වෙත හැරුණු හේතුව එසේ BCB සහාපති Nazmul Hassan විසින් පැහැදිලි කරනවා.

මේ අනුව නව බංග්ලාදේශ නායකයාගේ පළමු නිල වගකීම එළඹෙන ශ්‍රී ලංකා සංචාරයත් සමඟින් ආරම්භ වනු ඇති.

මේ අතර බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුවේ ද වෙනසක් සිදු කිරීමට BCBය විසින් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව හිටපු බංග්ලාදේශ ක්‍රීඩක Gazi Ashraf Hossain නව තේරීම් කමිටු සභාපති ලෙස නම් කර තිබෙනවා.

එමෙන්ම BCBය විසින් 2024 වසර සඳහා ක්‍රීඩකයින් 21 දෙනකු වාර්ෂික කොන්ත්‍රාත්තුව සඳහා ඇතුළත් කර ගෙන තිබෙනවා. මෙහි දී Litton Das, Shakib Al Hasan, Mehidy Hassan Miraz, Najmul Hossain Shanto සහ Shoriful Islam යන ක්‍රීඩකයින් තරග රටා තුන සඳහා ම ගිවිසුම් ගත වී ඇති නමුත් ඔවුන්ගේ හිටපු නායකයකු වන Tamim Iqbal හට BCB වෙතින් කොන්ත්‍රාත්තුවක් හිමි වී නැහැ.

පසුගිය වසරේ ජුලි මාසයේ දී ක්‍රීඩාවට සමු දීමට තීරණය කළ Tamim, එම තීරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පැය 24ක කාලයක් ගෙවී යාමටත් මත්තෙන් එය වෙනස් කළා.

නමුත් එතෙක් කළ ඔහු විසින් දැරූ බංග්ලාදේශ එක්දින නායකත්වයෙන් ඔහු ඉවත් වූ අතර, ඒ අනුවයි හදිසියේ ම Shakib හට එක්දින නායකත්වයත් හිමි වුනේ. නොසිතූ ලෙස Shakibට පැවරුණු අමතර වගකීම් ඔහුගේ පෙනීමේ ඇති වූ දුර්වලතාවට ද හේතුවක් වූ බවයි පසුව අණාවරණය වුනේ.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<