පාකිස්තානු පොඩ්ඩෝ වේලාසනින් ම තරගාවලිය ජය ගනී

Sri Lanka U17 tour of Pakistan 2026

5
Sri Lanka U17 tour of Pakistan 2026

ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව් වැනි තරගයෙන් ලකුණු 93ක ජයග්‍රහණයක් ලබා ගැනීමට පාකිස්තාන ක්‍රීඩකයෝ සමත් වෙනවා.

ඒ සමඟින් ඔවුන් තවත් තරගයක් ඉතිරි ව තිබෙද්දී තරගාවලිය තරග 3-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ද සමත් වූවා.

>>පාකිස්තාන 17න් පහළ ක්‍රීඩකයෝ එකට එක කරයි<<

Multan ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (21දා) පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්තාන නායකයා පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 9ක් දැවී ලකුණු 273ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 180ක් පමණයි.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට පෙර තරගය හා එක් වූ චෙනුක දොඩංගොඩ, අදීශ ලක්ශාන් සහ මහිරු කොඩිතුවක්කු වෙනුවට යෙනුල හේවාවිතාරණ, රවීන් සචින්ත සහ කලිඳු සචින්තන එක් කර තිබුණා.

පාකිස්තානය මෙම තරගයට එක් වෙන්නේ වෙනස්කම් ද්විත්වයක් සිදු කරමින්. එහි දී ඔවුන් පෙර තරගය හා එක් වූ Mohammad Naveed සහ Hassan Ali වෙනුවට Hamza Abbas Baloch සහ Abdullah Ahmed Butt එක් කර ගෙන තිබුණා.

ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම

ස්ටෙවෝන් පීරිස් (නායක සහ කඩුලු රකින්නා), මෙතුක ගුණරත්න, යෙනුල හේවාවිතාරණ, ශැනෝන් සිල්වා, සශිත් බණ්ඩාර, රෙශෝන් සොලමන්ස්, සඳරු මල්ශාන්, රවීන් සචින්ත, චෙනුල් හතරසිංහ, කලිඳු සචින්තන සහ තාරුක සමන්ජිත්.

පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම

Azan Ahmed (නායක), Sudais Ahmed, Daud Tauqeer Rana, Mohammad Yousaf, Arsalan Hassan (කඩුලු රකින්නා), Hamza Abbas Baloch, Hamid Raza, Ammar Khan, Mohammad Saim, Abdullah Ahmed Butt සහ Fahad Iqbal.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක Azan Ahmed. ඔහු පිට පිට 2 වැනි අර්ධ ශතකයත් වාර්තා කරමින් පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 82ක් ලබා ගත්තා.

ඊට අමතර ව Mohammad Yousaf පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 60ක් ද සහ Daud Tauqeer Rana පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 44ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී තාරුක සමන්ජිත්, කලිඳු සචින්තන සහ සශිත් බණ්ඩාර කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව රෙශෝන් සොලමන්ස් ද කඩුල්ලක් දවා ගත්තා.

තවත් පන්දු 45ක් ඉතිරි ව තිබිය දී පිළිතුරු ඉනිම නිමා කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ රෙශෝන් සොලමන්ස්. ඔහු පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 64ක් ලබා ගත්තා.

ඊට අමතර ව නායක ස්ටෙවෝන් පීරිස් පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 33ක් ද සහ සඳරු මල්ශාන් පන්දු 30ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 29ක් ද ලබා ගත්තා.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 12ක් තුළ දවා ගත් පාකිස්තාන පන්දු යවන්නන් අතුරින් Ammar Khan ලකුණු 44කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

ඊට අමතර ව Fahad Iqbal ලකුණු 31කට කඩුලු 2ක් ද, Mohammad Saim ලකුණු 34කට කඩුලු 2ක් ද සහ Sudais Ahmed, Abdullah Ahmed Butt සහ Hamid Raza කඩුල්ල බැගින් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – කඩුලු 9ක් දැවී 273 (50.0) Daud Tauqeer Rana 44, Mohammad Yousaf 60, Azan Ahmed 82, තාරුක සමන්ජිත් 2/41, කලිඳු සචින්තන 2/42, සශිත් බණ්ඩාර 2/47

 

ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 180 (42.3) ස්ටෙවෝන් පීරිස් 33, රෙශෝන් සොලමන්ස් 64, සඳරු මල්ශාන් 29, Fahad Iqbal 2/31, Ammar Khan 3/44, Mohammad Saim 2/34

 

පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමට ලකුණු 93ක ජයක්.

දෙරට අතර පැවැත්වෙන 5 වැනි සහ අවසන් එක්දින තරගය මේ මස 24 වැනිදා Multan හි දී ම පැවැත් වීමට නියමිතයි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<