පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය නොකඩවා දෙවැනි වරටත් ශූරයින් වෙයි

වයස අවුරුදු 19න් පහළ දෙවන පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022

533

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කළ වයස අවුරුදු 19න් පහළ දෙවැනි පෙළ Tier A කොටසේ ශූරතාවය නොකඩවා දෙවැනි වරටත් දිනා ගැනීමට පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය අද (9) සමත් වුනා.

BRC පිටියේ දී පැවැත්වුණු මේ අවසන් මහා තරගයේ දී ශ්‍රී සුමංගල විද්‍යාලය හමුවේ කඩුලු 7කින් පරාජය වුනේ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයයි.

ශ්‍රී සුමංගල විද්‍යාලය අවසන් පූර්ව තරගයේ දී කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය කඩුලු 3කින් පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනිද්දී, කටුනේරිය සාන්ත සෙබස්තියන් සහ ශ්‍රී දේවනාන්ද විද්‍යාල අතර පැවති අනෙක් අවසන් පූර්ව තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා ප්‍රතිඵලයක් රහිතව අවසන් වුනා.

ඒ නිසාවෙන් එහි ජයග්‍රාහකයින් තෝරාගැනීමට මූලික වටයේ ප්‍රසාද ලකුණුවල සාමාන්‍ය (Average Points) සලකා බැලුණු අතර එහි දී ද එම කණ්ඩායම් දෙකේ ලකුණු සාමාන්‍යයන් සමාන වූ නිසා දල ලකුණු ලබා ගැනීමේ වේගයට (Net Run Rate) අනුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී සුමංගල විද්‍යාලයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් සාන්ත සෙබස්තියන් විද්‍යාල ලකුණු සටහන පන්දුවාර 29කුත් පන්දු 4ක් අවසානයේ ලකුණු 66කට සීමා කරන්නට විශ්ව ලහිරු ඇතුළු ශ්‍රී සුමංගල ක්‍රීඩකයින් සමත් වුනා.

නිමේෂ් මදුසංක සහ සෙනුර දිමාල් පිළිවෙලින් ලකුණු 16ක් සහ ලකුණු 13ක් ලබාගෙන සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ වැඩිම ලකුණු ලාභින් දෙදෙනා බවට පත්වෙද්දී, මෙවර තරග වාරය පුරාවට ශ්‍රී සුමංගල විද්‍යාලය වෙනුවෙන් වැඩිම කඩුලු දවාගෙන පන්දුවෙන් දස්කම් දැක්වූ වමතින් දඟපන්දු යවන විශ්ව නිලකුණු පන්දුවාර 2ක් ද සමඟ ලකුණු 19කට කඩුලු 3ක් දවා ගත්තා.

රසික ඩිල්ශාන් සහ හේෂාන් කාවින්ද අතරේ කඩුලු දෙක බැගින් බෙදී යද්දී, සාන්ත සෙබස්තියන් මුල් පෙළ කඩුලු 2ක් දුවද්දී දැවී යාම් වලට හසු වුනා.

පිළිතුරු ඉනිම දියත් කළ ශ්‍රී සුමංගල විද්‍යාලය පන්දුවාර 14කුත් පන්දු 5ක් අවසානයේ කඩුලු 3ක් දැවී එම ලකුණු 67 ඉලක්කය හඹා ගියා. එහි දී දුරංක සිල්වා ලකුණු 26ක් ලබාගෙන ඔවුන්ගේ වැඩිම ලකුණු ලාභියා වෙද්දී, විශ්ව නොදැවී ලකුණු 14*ක් ලබා ගත්තා.

සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ගයාන් හර්ෂණ ලකුණු 9කට කඩුලු 3ක් දවා ගත්තා. ශ්‍රී සුමංගල විද්‍යාලය වෙනුවෙන් මෙවර තරග වාරයේ වැඩිම ලකුණු ලබා ගත් නායක ප්‍රභාෂ් ජයසේකර මේ තරගයේ දී නොදැවී ලකුණු 7*ක් ලබා ගැනීමට සමත් වුනා.

කටුනේරිය, සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 66 (29.3): නිමේෂ් මදුසංක 16, සෙනුර දිමාල් 13, විශ්ව ලහිරු 3/19, රසික ඩිල්ශාන් 1/12, හේෂාන් කාවින්ද 2/14.

පානදුර, ශ්‍රී සුමංගල විද්‍යාලය – 67/3 (14.5): දුරංක සිල්වා 26, විශ්ව ලහිරු 14*, ගයාන් හර්ෂණ 3/09.

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට කඩුලු 7ක ජයක්

හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය සහ අම්බලන්ගොඩ පී. ද. එස්. කුලරත්න විද්‍යාලය අතර පැවැත්වීමට නියමිත දෙවැනි පෙළ Tier B කොටසේ අවසන් මහා තරගය හෙට (10) කොළඹ BRC ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. එහි තරග තොරතුරු සහ දෙස් විදෙස් කෙළිබිමේ තවත් තතු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<