ඇෆ්ගනිස්තානය සමඟ T20 තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

Afghanistan Tour of Sri Lanka 2024

304
Afghanistan Tour of Sri Lanka 2024

ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සුපුරුදු පරිදි සංචිතයේ නායකත්වය වනිඳු හසරංගට හිමි වී ඇති අතර, උප නායකත්ව වගකීම චරිත් අසලංකට පැවරී තිබෙනවා.

නිමා වූ සිම්බාබ්වේ සමඟ විස්සයි විස්ස තරගාවලියට සහභාගී වූ ක්‍රීඩකයින් අතුරින් මෙවර සංචිතයෙන් දුශ්මන්ත චමීරගේ නම ඉවත් වී ඇති නමුත්, ඔහු ද සංචිතයේ පළමු තේරීමක් වූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සඳහන් කරන්නේ. නමුත් ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වුණු පළමු එක්දින තරගය අතරතුර සිදු වූ ආබාධයෙන් චමීර තවමත් සම්පූර්ණ සුවය ලබා නොමැති නිසා ඒ වෙනුවට බිනුර ප්‍රනාන්දු සංචිතයට කැඳවා තිබෙනවා.

එමෙන්ම ඇෆ්ගනිස්තානයට එරෙහි  එක්දින සංචිතයට කැඳවීම් නොලද ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා සහ දසුන් ශානක ද මෙම සංචිතය සඳහා කැඳවීම් ලබා තිබෙනවා.

ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය මෙසේයි:

වනිඳු හසරංග (නායක), චරිත් අසලංක (උප නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, මහීෂ් තීක්ෂණ, බිනුර ප්‍රනාන්දු, මතීෂ පතිරණ, ඩිල්ශාන් මදුශංක, නුවන් තුෂාර, අකිල ධනංජය, කමිඳු මෙන්ඩිස්, සදීර සමරවික්‍රම

ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර විස්සයි විස්ස තරගාවලියේ තරග පෙබරවාරි 17, 19 සහ 21 යන දිනවල දී රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, තරගාවලියේ සියලු තරග ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 7.00ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<