ඔස්ට්‍රේලියා යෞවනයෝ ඉන්දියාව දණ ගස්වයි

ICC U 19 Cricket World Cup 2024

170
U 19 Cricket World Cup

15 වැනි වයස අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලානය තමන් සතු කර ගැනීමට ඔස්ට්‍රේලියානු යෞවනයෝ පසුගියදා (11) සමත් වූවා. දකුණු අප්‍රිකාවේ දී පැවැති මෙම තරගාවලියේ අවසන් මහා තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ ඉන්දියාවයි.  

1988 වසරේ දී පැවැති මංගල යොවුන් ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රාහකයන් මෙන් ම 2002 සහ 2010 වසරවල ද ජයග්‍රාහකයන් වූ ඔස්ට්‍රේලියාව මෙවර ශූරතාව දිනා ගන්නේ සිවු වැනි වතාවටයි.  

ඔවුන් ඊට අමතර ව 2012 වසරේ දී සහ 2018 වසරේ දී අනුශූරයන් බවට පත් ව තිබෙනවා.  

ඉන්දියාවට මෙවර අහිමි වෙන්නේ 6 වැනි ලෝක කුසලානයයි. ඔවුන් මේ දක්වා 2000, 2008, 2012, 2018 සහ 2022 වසර 5 දී ශූරතාව දිනා තිබෙනවා. ඔවුන් මෙවර දිනා ගත් අනුශූරතාවත් සමඟ අනුශූරතා ප්‍රමාණය 4ක්.  

තරගාවලියේ අවසන් පූර්ව තරග සඳහා ඔස්ට්‍රේලියාව හා පාකිස්තානයත් සහ දකුණු අප්‍රිකාවත් සහභාගී වෙනවා. එහි දී ඔස්ට්‍රේලියාව පාකිස්තානයට එරෙහිව කඩුල්ලක තියුණු ජයග්‍රහණයකුත් සහ ඉන්දියාව දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු 2ක ජයග්‍රහණයකුත් ලබා ගනිමින් මෙම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.  

ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ගමන් මඟ 
  ප්‍රතිවාදීන්  තරගයේ ප්‍රතිඵල 
1  නැමීබියාව  ඔස්ට්‍රේලියාවට කඩුලු 4ක ජයක්.  
2  සිමබාබ්වේ  ඔස්ට්‍රේලියාවට ලකුණු 225ක ජයක්.  
3  ශ්‍රී ලංකාව  ඔස්ට්‍රේලියාවට කඩුලු 6ක ජයක්.  
සුපිරි හය වටය 
4  එංගලන්තය  ඔස්ට්‍රේලියාවට ලකුණු 110ක ජයක්.  
5  බටහිර ඉන්දීය කොදෙව්  තරගයේ විසඳුමක් නෑ.  
අවසන් පූර්ව තරගය 
6  පාකිස්තානය  ඔස්ට්‍රේලියාවට කඩුල්ලක ජයක්.  
අවසන් මහා තරගය 
7  ඉන්දියාව   ඔස්ට්‍රේලියාවට ලකුණු 79ක ජයක්.  

 අවසන් මහා තරගය, Benoni, පෙබරවාරි 11, 2024, ICC U 19 Cricket World Cup 

  • ක්‍රීඩාංගණය – Willowmoore Park, Benoni 
  • කාසියේ වාසිය – ඔස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම 

කාසියේ වාසිය හිමිකර ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු යෞවනයෝ කඩුලු 7ක් දැවී ලකුණු 253ක් ලබා ගත්තා. එය මෙවර ලෝක කුසලාන ඉතිහාසයේ ඉන්දියාවට එරෙහිව ප්‍රතිවාදී කණ්ඩායමක් ලබා ගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුණා.  

එම ඉනිම වෙනුවෙන් වැඩි දායකත්වයක් දැක් වූවේ Harjas Singh. ඔහු පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 55ක් ලබා ගත්තා. එය ඔහු මෙම තරගාවලියේ දී වාර්තා කරන ලද එක ම අර්ධ ශතකයයි.  

ඊට අමතර ව නායක Hugh Weibgen පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 48ක් ලබා ගත්තා. ඊට අමතර ව Oliver Peake පන්දු 43ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 46ක් ද සහ ආරම්භක පිතිකරු Harry Dixon පන්දු 56ක දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 42ක් ද ලබා ගත්තා.  

Harry Dixon ගේ මෙම ඉනිමත් සමඟින් ඔහු මෙවර තරගාවලියේ ඔස්ට්‍රේලියානු පිතිකරුවෙක් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ද සමත් වූවා. ඔහු තරග 7ක ඉනිම් 7ක දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 309ක්. එහි සාමාන්‍ය ලෙසින් දැක් වුණේ 44.14ක්.  

කඩුලු දවා ගැනීමේ දී Raj Limbani කඩුලු 3ක් ද සහ Naman Tiwari කඩුලු 2ක් ද ලබා ගත්තා.  

ඉන්දීය පිළිතුරු ඉනිම 44 වැනි පන්දුවාරයේ දී අවසන් කිරීමට ඔස්ට්‍රේලියානු යෞවනයෝ සමත් වූවා. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු වූ Adarsh Singh. ඔහු පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 47ක් ලබා ගත්තා.  

ඊට අමතර ව පසු පෙළින් පිටියට එක් වූ Murugan Abhishek ද පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 42ක් ලබා ගත්තා.  

පිතිකරුවන් අතුරින් මෙවර ලෝක කුසලානයේ වැඩිම ලකුණුලාභීයා වූ ඉන්දීය කණ්ඩායමේ නායක Uday Saharan අඩු ලකුණු ප්‍රමාණයකට සීමා වීම ඔවුන් මුහුණ දුන් අවාසනාවන්ත සිදු වීමක්.  

කෙසේ වෙතත් කඩුලු දවා ගැනීමේ දී Mahli Beardman සහ Raf MacMillan කඩුලු 3 බැගින් දවා ගත් අතර Callum Vidler කඩුලු 2ක් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • ඔස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 7ක් දැවී 253 (50.0) Harry Dixon 42, Hugh Weibgen 48, Harjas Singh 55, Ryan Hicks 20, Oliver Peake නොදැවී 46, Raj Limbani 3/38, Naman Tiwari 2/63
  • ඉන්දියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 174 (43.5) Adarsh Singh 47, Musheer Khan 22, Murugan Abhishek 42, Callum Vidler 2/35, Mahli Beardman 3/15, Raf MacMillan 3/43

ඔස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 79ක ජයක්.  

තරගාවලියේ ලැයිස්තු ගත වූ සුවිශේෂී දක්ෂතා 

326/5 (50.0): ඉන්දියාව විසින් ඇමෙරිකාවට එරෙහිව ලබා ගන්නා ලද මෙම ලකුණු සංඛ්‍යාව මෙවර තරගාවලියේ කණඩායමක් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත් වුනා.  

231/10 (50.0): ශ්‍රී ලංකාව විසින් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලබා ගන්නා ලද මෙම ලකුණු ප්‍රමාණය ඔවුන් මෙවර තරගාවලියේ දී ප්‍රතිවාදී කණ්ඩායමකට එරෙහිව ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.  

56/10 (27.0): මෙවර තරගාවලියේ අඩු ම ලකුණු සංඛ්‍යාවකට ප්‍රතිවාදී කණ්ඩායමක් දවා ගැනීමේ ගෞරවය ලබා ගන්නේ ශ්‍රී ලංකාවයි. ඔවුන් මෙම දක්ෂතාව දක්වන්නේ නැමීබියාවට එරෙහිවයි.  

542/12 (77.0): මෙවර තරගාවලියේ කණ්ඩායම් 2ක් එක් ව ලබා ගන්නා ලද වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව හිමි වෙන්නේ දකුණු අප්‍රිකාවට (273/3) සහ ස්කොට්ලන්තයටයි (269/9).  

463/17 (99.3): ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුවට එක් වෙන්නේ බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ තරගයේදීයි. එම තරගයේ දී ශ්‍රී ලංකාව සියලුම දෙනා දැවී ලකුණු 231ක් ලබා ගන්නා ලද බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 232ක් ලබා ගන්නවා.  

225: ඔස්ට්‍රේලියාව, සිම්බාබ්වේ කණඩායමට එරෙහි ව ලැබූ ලකුනු 225ක ජයග්‍රහණය මෙවර තරගාවලියේ කණ්ඩායමක් ලැබූ ඉහළ ම ජයග්‍රහණය බවට පත් වුනා.  

77: නැමීබියාවට එරෙහිව ලැබූ මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ දී ලැබූ ඉහළ ම ජයග්‍රහණය බවට පත් වුනා.  

397: මෙවර තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වූයේ ඉන්දීය කණ්ඩායමේ නායක, Uday Saharan. ඔහු නේපාලයට එරෙහිව වාර්තා කරන ලද ශතකයක් සහ තවත් අර්ධ ශතක 3ක් සමඟ ලබා ගත් ලකුණු ප්‍රමාණය 397ක්.  

196: තරගාවලියට එක් වූ ශ්‍රී ලාංකිකයන් අතර වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා වූයේ දිනුර කළුපහනයි. ඔහු මේ වෙනුවෙන් අර්ධ ශතක 3ක් ලබා ගත් අතර මෙම ලකුණු ප්‍රමාණයට ඔහුට තරගාවලියේ හිමි වූයේ 16 වැනි ස්ථානයයි.  

147*: මෙවර තරගාවලියේ පිතිකරුවෙක් විසින් ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව නවසිලන්තයේ  Snehith Reddy සතු වුනා. ඔහු මෙම ඉනිම ක්‍රීඩා කරන්නේ නේපාලයට එරෙහිවයි.   

64: දිනුර කළුපහන විසින් ඔස්ට්‍රේලියාවට එරෙහිව ලබා ගන්නා ලද මෙම ලකුණු සංඛ්‍යාව මෙවර තරගාවලියේ ශ්‍රී ලාංකීය පිතිකරුවෙක් ඉනිමක ලබා ගත් ඉහළ ම ලකුණු ප්‍රමාණයයි.   

21: මෙවර තරගාවලියේ වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නා බවට පත් වූයේ දකුණු අප්‍රිකාවේ වමතින් මඳ වේග පන්දු යැවී Kwena Maphaka. ඔහු මේ වෙනුවෙන් පන්දුවාර 53.3ක් යවනු ලැබූ අතර ප්‍රතිවාදීන්ට ලබා දුන් ලකුණු සංඛ්‍යාව 21ක්. ඔහුගේ ඉනිම හොඳම පන්දු යැවීම බවට පත් වූයේ ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 21කට ලබා ගත් කඩුලු 6යි.  

11: ශ්‍රී ලාංකීය පන්දු යවන්නන් අතුරින් වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නා බවට පත් වූයේ වමතින් දඟ පන්දු යැවූ විශ්ව ලහිරු.  

7/29 (7.5): එංගලන්තයේ පා දඟ පන්දු යවන Tazeem Chaudry Ali මෙවර තරගාවලියේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඒ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි.  

4/17 (4.0): මල්ෂ තරුපති, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පෑ මෙම දක්ෂතාව ශ්‍රී ලාංකීය පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතාවයි.  

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<