ශ්‍රී ලංකාව සමඟ තරග වැදීමට Shakibගේ පෙනීම බාධාවක් වෙයි!

Sri Lanka Tour of Bangladesh 2024

902

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය සඳහා බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක Shakib Al Hasanගේ සහභාගීත්වය පිළිබඳ යම් ගැටලුවක් ඇති වී තිබෙනවා. 

2023 වසරේ පැවැත්වුණු එක්දින ලෝක කුසලානයේ දී Shakibගේ වම් ඇසේ පෙනීමේ අඩු වීමක් සිදු වූ නිසා ඔහු තරමක් අපහසුවෙන් පිතිකරණයේ යෙදුණු බව පසුව අණාවරණය වුනා. 

Shakibට ඇති වූ මානසික පීඩනය තත්වයක් ඔහුගේ ඇසට බලපෑම් කර ඇති බවයි මේ පිළිබඳ පළමු වෛද්‍ය පැහැදිලි කිරීම ලෙස ලැබී තිබුණේ. නිමා වුන ලෝක කුසලානයේ දී Shakib විසින් බංග්ලාදේශ කණ්ඩායමට නායකත්වය ලබා දුන් අතර, එම නායකත්ව වගකීම ඔහු බලාපොරොත්තු නොවූ ආකරයෙනුයි ඔහු වෙත හදිසියේ ම පැමිණියේ. එම නිසා තමන්ට නායකයකු ලෙස හොඳින් ලෝක කුසලානයට සූදානම් වීමට නොහැකි වූ බවත් Shakib මීට පෙර සඳහන් කර තිබුණා. මෙම සිදුවීම් නිසා ඔහුට යම් අමතර පීඩනයක් ඇති වන්නට ඇතැයි අනුමාන කළ හැකියි. 

කෙසේ වෙතත් ලෝක කුසලානය නිමා වීමෙන් පසුව ද ඔහුගේ මෙම පෙනීමේ ගැටලුව සම්පූර්ණයෙන්ම සුව අතට හැරී තිබුණේ නැහැ. මේ වන විට එය තමන්ගේ ආතතිය නිසා සිදු වුනා ද නැතිනම් වෙනත් හේතුවක් මත සිදු වුනා ද යන්න පිළිබවඳවත් Shakib විසින් සැක පළ කරනවා. 

මෙම ගැට‍ළුව නිසා මේ දිනවල බංග්ලාදේශයේ පැවැත්වෙන BPL තරගාවලියේ Rangpur Riders කණ්ඩායම නියෝජනය කරන Shakib පන්දු යවන්නකු ලෙස පමණක් කණ්ඩායමට සිය දායකත්වය ලබා දීමට තීරණය කර තිබුණා. 

” මම වැඩියෙන් ලකුණු රැස් කරන තරමට, මට එය සුවපහසුයි. මට ලකුණු නැති වුනා ම මගේ රිද්මය හොයා ගන්න බැහැ. මම මගේ ජීවිතයේ කිසිම දවසක මේක (පන්දු යැවීම පමණක්) කරලා නැහැ. ඒ මගේ පළමු අවස්ථාව, මට Rangpur Riders වෙනුවෙන් වරදකාරී හැඟීමක් දැනෙනවා. මට ඔවුන්ගේ බලාපොරොත්තුවලින් බාගයක් පමණයි ඉටු කරන්න පුළුවන් වෙලා තියෙන්නේ.” 

කෙසේ වෙතත් සිය පෙනීමේ ගැට‍ළුව නිසා තමන් ක්‍රීඩාවෙන් සමු ගැනීමට අදහස් නොකරන බවත් Shakib විසින් පසුගිය දා අවධාරණය කර තිබුණා. 

නමුත් එළඹෙන ශ්‍රී ලංකාව සමඟ තරගාවලියට තම සහභාගීත්වය පිළිබඳ ව නම් තවමත් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවයි Shakib පවසන්නේ. 

“අපි තවමත් මේ තරගාවලිය (BPL) ක්‍රීඩා කරනවා. මම නිලධාරීන් සමඟ කතා කරලා ශ්‍රී ලංකාව සමඟ ක්‍රීඩා කරනවාද නැද්ද කියලා තීරණයක් ගන්නවා.” 

එමෙන්ම තම නායකත්ව වගකීම් පිලිබඳවද ඉදිරියේ දී තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවයි ඔහු සඳහන් කර තිබුණේ. 

තම පෙනීමේ ගැට‍ළුව වෙනුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා Shakib එංගලන්තයට සහ සිංගප්පූරුවට පවා ගොස් විෂය ප්‍රවීණයින් හමු වී ඇතත් ඔවුන්ගෙන් ද මේ සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිචාරයක් ලැබී නැහැ. 

“මගේ ඇස් කවදා දියුණු වේවිද කියලා දන්නේ නැහැ. අපි උත්සාහ කරන්නේ වැරදුණු තැන හොයා ගන්න. මම සිංගප්පූරුවට ගියා මගේ ඇහැට වුනේ මොකක්ද කියලා හොයාගන්න.” 

Shakib සිය ගැටලුවට හේතුව අධික පීඩනය බව පිළිගැනීමට මැලි වුනත් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය නම් විශ්වාස කරන්නේ එයට හේතුව Shakibට ඇති වූ පීඩනය වන්නට ඇති බවයි. එමෙන්ම එම පීඩනයෙන් මිදීම සඳහා Shakibට මෝහන ප්‍රතිකාරයක් ලබා දීමේ සැලසුමක් තමන්ට ඇති බවත් BCB නිලධාරියකු විසින් Cricbuzz වෙබ් අඩවිය වෙත සඳහන් කර තිබුණා. 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ක්‍රිකට් තරගාවලිය එළඹෙන මාර්තු මාසයේ දී ආරම්භ වීමට නියමිත අතර, තරගාවලියට ටෙස්ට් තරග දෙකක්, එක්දින සහ විස්සයි විස්ස තරග තුන බැගිනුත් අන්තර්ගතයි. 

තරගාවලිය පිළිබඳ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්. 

Cricbuzz ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<