සුපිරි ලීගයේ තුන් කට්ටුව

SLC Women's National Super League 2024

158

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Women’s National Super League සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා Dambulla Women සහ Colombo Women කණ්ඩායම් සුදුසුකම් ලබා ගත්තා. 

එම කණ්ඩායම් 2 අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගනිද්දී තරගාවලියේ පළමු වටය නිමා කරන විට දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව ලෙසින් Kandy Women කණ්ඩායමේ කවීෂා දිල්හාරි, වැඩිම ලකුණු ලබා ගත් පිතිකාරිනිය ලෙස Dambulla Women කණ්ඩායමේ හර්ෂිතා සමරවික්‍රම ද සහ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නිය ලෙසින් Colombo Women කණ්ඩායමේ සචිනි නිසංසලා ද ලැයිස්තු ගත වුනා.  

කණ්ඩායම් 4ක් අතර පැවැති මෙම තරගාවලියේ පළමු වටය නිමාවේ දී ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු සහ දෙවැනි ස්ථාන දිනා ගත් මෙම කණ්ඩායම් 2ක, අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනිමින් ශූරතාව සඳහා හෙට (12) Colts පිටියට එක් වීමට නියමිතයි.  

Colombo Women සංචිතය: හසිනි පෙරේරා (නායිකාව/ කඩුලු රකින්නිය), නෙත්මි පූර්ණා, ප්‍රසාදනී වීරක්කොඩි, නවෝද්‍යා නෙත්මිණි, සචිනි නිසංසලා, රෝෂිනි පෙරේරා, තාරිකා සෙව්වන්දි, ඉනෝෂි ප්‍රනාන්දු, ජනාදි අනාලි, තරුෂි තත්සරණි, ශෂිනි ගිම්හානි, හරිනි නෙලිත්මා පෙරේරා, හිරුෂි පීරිස්, මධාරා සමරකෝන්, පියුමි වත්සලා, සඳුනි නිසංසලා, උද්‍යාංගනී ද සිල්වා. 

Dambulla Women සංචිතය: හර්ෂිතා සමරවික්‍රම (නායිකාව), සඳලි වීරසිංහ, ඉමල්කා මෙන්ඩිස්, සත්‍යා සංදීපනී, මනුදි නානායක්කාර, කෞෂිනි නුත්‍යාංගා (කඩුලු රකින්නිය), මලිකි මදාරා, මල්ෂා ෂෙහානි, චමරි ලක්ෂානි, පමෝදා ශයිනි, නිමාෂා මධුශානි, ඩිල්ශානි කුමාරසිරි, හරිනි නෙලිත්මා පෙරේරා, මල්ෂා රණතුංග, මේනුකා හේරත්, සංසලා වනිගසේකර, උදේශිකා ප්‍රබෝධනී.  

මෙම කණ්ඩායම් 2 පළමු වටයේ අවසන් තරගයේ දී ද එකිනෙකා හමුවෙද්දී, Dambulla Women කණ්ඩායම තරග 2ක් ජයග්‍රහණය කරමින් අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා සිටියා. නමුත් Colombo Women කණ්ඩායමට එය තීරණාත්මක තරගයක් වී තිබුණේ ඒ වෙද්දී ඔවුන් ජයග්‍රහණය කර තිබුණේ එක් තරගයක් පමණක් වූ බැවින්. කෙසේ වෙතත් පැවැති එම තරගයෙන් Colombo Women කණ්ඩායම කඩුලු 6ක ජයක් හිමි කර ගනිමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.  

තරගාවලියේ පළමු වටය නිමා වූ ආකාරය 
  Team 1  Team 2  Results 
1  Colombo Women  Kandy Women  Kandy Women කණ්ඩායමට කඩුල්ලක ජයක්.  
2  Dambulla Women  Galle Women  Dambulla Women කණ්ඩායමට ලකුණු 178ක ජයක් 
3  Kandy Women  Dambulla Women  Dambulla Women කණ්ඩායමට කඩුලු 5ක ජයක්.  
4  Galle Women  Colombo Women  Colombo Women කණ්ඩායමට කඩුලු 8ක ජයක්.  
5  Kandy Women  Galle Women  Galle Women කණ්ඩායමට කඩුල්ලක ජයක්.  
6  Dambulla Women  Colombo Women  Colombo Women කණ්ඩායමට කඩුලු 6ක ජයක්. 

 

තරගාවලියේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව 

තරගාවලියේ වඩාත් ම දක්ෂතා දැක් වූ තුන් ඉරියව් ක්‍රීඩිකාව වූයේ Kandy Women කණ්ඩායමේ කවීෂා දිල්හාරි. ඇය මෙම තරගාවලියේ දී පිතිකාරිනියක් ලෙසින් ලකුණු 173ක් ලබා ගනිද්දී පන්දු යවන්නියක් ලෙසින් කඩුලු 7ක් දවා ගත්තා.  

පිතිකාරිනියක් ලෙසින් ඇයගේ සාමාන්‍ය දැක් වුණේ 57.67ක් වන අතර පන්දු යැවීමේ දී 17.14ක් ලෙසින් දැක් වුණා.  

23 වැනි වියේ පසුවෙන කවීෂා රත්ගම දේවපතිරාජ විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට දායාද වූ ක්‍රීඩිකාවක් වන අතර ඇය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියෝජනය කරමින් එක්දින ජාත්‍යන්තර තරග 18කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 44කට ක්‍රීඩා කර තිබෙනවා. 

කවීෂා, චීනයේ පැවැති  Asian Games කාන්තා ක්‍රිකට් ඉසව්වේ රිදී පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකත්වයේ ද කටයුතු කළා. 

තරගාවලියේ දක්ෂතම පිතිකාරිනියන් 

තරගාවලියේ පළමු වටය නිමා වෙද්දී දක්ෂතම පිතිකාරිනියන් අතුරින් පළමු ස්ථානය ලබා ගැනීමට සමත් වූයේ Dambulla Women කණ්ඩායමේ හර්ෂිතා සමරවික්‍රම. ඇය තරග 3ක දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 189ක්. එහි සාමාන්‍ය ලෙසින් දැක් වුණේ 189.0ක් ලෙසයි.  

ඇයගේ ඉනිම් අතර Galle Women කණ්ඩායමට එරෙහිව පන්දු 133ක දී නොදැවී වාර්තා කරන ලද ලකුණු 130ක් ද ඇතුලත්. එය මෙවර තරගාවලියේ මෙතෙක් වාර්තා වූ එක ම ශතකය බවට ද පත් වූවා.  

25 වැනි වියේ පසුවෙන හර්ෂිතා කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට දායද කළ ක්‍රීඩිකාවක්. මේ දක්වා ඇය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් එක්දින ජාත්‍යන්තර තරග 26ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 48කට ක්‍රීඩා කර තිබෙනවා.  

ඇයත්, චීනයේ පැවැති  Asian Games කාන්තා ක්‍රිකට් ඉසව්වේ රිදී පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකාවක්. 

මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය  Kandy Women කණ්ඩායමේ කවීෂා දිල්හාරි සතු වුවා. ඇය තරග 3ක දී ලකුණු 173ක් ලබා ගනිමින් මෙම අසුනට හිමිකම් කී අතර එම ලකුණු අතරට අර්ධ ශතක 2ක් ඇතුලත් කිරීමට ද සමත් වූවා. ඒ Colombo Women කණ්ඩායමට එරෙහිව පන්දු 93ක දී වාර්තා කරන ලද ලකුණු 62ක් සහ Dambulla Women කණ්ඩායමට එරෙහිව පන්දු 69කදී වාර්තා කරන ලද ලකුණු 62යි.  

තරග 2ක දී ලකුණු 142ක් ලබා ගත් Colombo Women කණ්ඩායමේ නෙත්මි පූර්ණා මෙම ලැයිස්තුවේ තෙවැනි ස්ථානය හිමි කර ගත්තා. ඇය ලබා ගත් ලකුණු අතර Colombo Women කණ්ඩායම අවසන් මහා තරගයට ගෙනා තරගයේ දී පන්දු 141කට මුහුණ දෙමින් නොදැවී ලබා ගත් ලකුණු 87 ද ඇතුලත් අතර ඊට පෙර ඇය Galle Women කණඩායමට එරෙහිව පන්දු 78කට මුහුණ දෙමින් ලකුණු 55ක් ද ලබා ගත්තා. මෙම තරග 2 අවසානයේ දී ඇයගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය දැක් වුණේ 142.0ක් ලෙසිනුයි.  

තවමත් 18 වැනි වියේ පසුවෙන නෙත්මි පූර්ණා වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරන ක්‍රීඩිකාවක් වන අතර, 2021 වසරේ දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙසත්, එම වසරේ දී ම දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව සහ දක්ෂතම පිතිකාරිනී අනුශූරතාවත් දිනා ගැනීමට ද දක්ෂතා දැක් වූ ක්‍රීඩිකාවක්.  

ඇය ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ සාමාජිකාවක් ලෙසින් ද එක් ව සිටිනවා..  

ඊට අමතර ව Dambulla Women කණ්ඩායමේ ඉමල්කා මෙන්ඩිස් අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 128ක් ලබා ගනිමින් මෙම ලැයිස්තුවේ සිවු වැනි ස්ථානය ද සහ Kandy Women කණ්ඩායමේ අමා කාංචනා තරග 3ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 113ක් ලබා ගනිමින් 5 වැනි ස්ථානයට ද පත් වුණා.  

තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නියන් 

මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය Colombo Women කණ්ඩායමේ සචිනි නිසංසලා සතු කර ගන්නවා. ඒ තරග 3ක දී කඩුලු 8ක් දවා ගනිමිනුයි. මේ කඩුලු අතුරින් ඇයගේ හොඳම පන්දු යැවීම බවට පත් වුණේ Dambulla Women කණ්ඩායමට එරෙහිව ලකුණු 21කට දවා ගන්නා ලද කඩුලු 4යි.  

ඇයගේ එම දක්ෂතාව මෙවර තරගාවලියේ පන්දු යවන්නියක් පෑ ඉහළ ම දක්ෂතාවයි.  

රත්ගම දේවපතිරාජ විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි සචිනි නිසංසලා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ද සාමාජිකාවක්. ඇය මේ වන විට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්දින ජාත්‍යන්තර තරගයක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 5කට තම දක්ෂතා එක් කර තිබෙනවා.  

මෙම ලැයිස්තුවේ 2 වැනි ස්ථානය Kandy Women කණ්ඩායමේ කවීෂා දිල්හාරි සතු කර ගත්තා. ඇය තරග 3ක දී කඩුලු 7ක් දවා ගනිමින් මෙම අසුනට හිමිකම් කී අතර ඇයගේ හොඳම පන්දු යැවීම බවට පත් ව තිබුණේ Galle Women කණ්ඩායමට එරෙහිව ලකුණු 36කට දවා ගත් කඩුලු 3යි.  

තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නන් ලැයිස්තු ගත කිරීමේ දී තෙවැනි ස්ථාන ත්‍රිත්වයක් වාර්තා වෙනවා. ඒ අතුරින් පළමුවෙන් කියැවෙන්නේ Colombo Women කණ්ඩායමේ ඉනෝෂි ප්‍රනාන්දු. අනතුරුව Dambulla Women කණ්ඩායමේ නිමාශා මධුශානි සහ Galle Women කණඩායමේ කාව්‍යා කාවින්දි ඊට එක් වෙනවා. ඔවුන් තිදෙනා ම කඩුලු 5ක් බැගින් ලබා තිබෙනවා.  

මේ අතුරින් කාව්‍යා කාවින්දි Kandy Women කණ්ඩායමට එරෙහිව ලකුණු 44කට කඩුලු 4ක් දවා ගන්නා ලද අතර ඉනෝෂි ප්‍රනාන්දු ද එම කණ්ඩායමට ම එරෙහි ව ලකුණු 18කට කඩුලු 3ක් දවා ගනිමින් ද නිමාශා මධුශානි Galle Women කණ්ඩායමට එරෙහිව ලකුණු 24කට කඩුලු 2ක් ද දවා ගනිමින් තම තමන්ගේ හොඳම පන්දු යැවීම් වාර්තා කරනවා.  

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<