CCC ක්‍රීඩකයෝ ජයග්‍රහණයට කඳවුරු බඳිති

SLC Major League Cricket Tournament 2022 - Final

1815

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ අවසන් දිනය වඩාත් තියුණු මුහුණුවරකට ලක් කරමින් තෙවැනි දිනය වූ අද (19) දවස නිමාවේ දී ටැමිල් යූනියන් ක්‍රීඩකයන් ලබා ගත් ලකුණු 558ට පිළිතුරු ලෙසින් CCC ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 411ක් ලබා ගනිමින් ජයග්‍රහණය ආසන්නයට පිවිසියා.

කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය වෙනුවෙන් CCC කණ්ඩායමට තවත් අවශ්‍ය වන්නේ ලකුණු 148ක් පමණයි. ඒ සඳහා ඔවුන් සතුව තවත් කඩුලු 5ක් ඉතිරි ව ඇති අතර ටැමිල් යූනියන් ක්‍රීඩකයන්ට ද ඔවුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ලබා ගත යුතුව ඇත්තේ එම කඩුලු 5යි.

එබැවින් බැලූ බැල්මට ම මෙම තරගයේ ජයග්‍රහණය දෙපිලට ම දෝලනය වූව ද, පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය SSC පිටියේ ජයග්‍රහණයේ වැඩි වාසි සතුව පවතින්නේ CCC වෙතයි.

නමුත් ටැමිල් යූනියන් පන්දු බල ඇණියට ද තරගය ඔවුන් වෙත නතු කර ගැනීමට පිතිකරුවෙක්ගේ සුළු අත්වැරැද්දක් වුව ප්‍රමාණවත් විය හැකියි.

තරගයේ තෙවැනි දිනය ආරම්භ වෙද්දී CCC කඩුලු 2ක් දැවී ලකුණු 149ක් ලබා ටැමිල් යූනියන්ට වඩා ලකුණු 409ක් පිටුපසින් සිටියා. නමුත් ඔවුන් අද දවසේ දී කඩුලු 3ක් පමණක් අහිමි කර ගනිමින් ලකුණු 262ක් ලබා ගත්තා.

පෙර දින පිටියේ නොදැවී රැඳී සිටි මිනෝද් භානුක (72) සහ කමිඳු මෙන්ඩිස් (31) විශ්වාසවන්ත ඉනිමක් ගොඩ නැගීම වෙනුවෙන් අද පිටියට පිවිසිය ද ඔවුන් දෙදෙනාගේ සබඳතාව වැඩි වේලාවක් පැවැතුණේ නැහැ.

භානුක පන්දු 84කට මුහුණ දී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 75ක් ලබා සිටිය දී රවිඳු ප්‍රනාන්දුගේ පන්දුවකට දැවී ගියා. ටැමිල් යූනියන් නිත්‍ය කඩුලු රකින්නා වූ සදීර සමරවික්‍රම වෙනුවට මෙම තරගයේ දී කමේෂ් නිර්මාල් යොදවා සිටි අතර ඔහු තමන් කෙරෙහි තැබූ විශ්වාසය මනා ලෙස සුරකිමින් භානුක Stump කිරීමකින් දවා ගැනීමට සහාය වුනා.

භානුක සහ කමිඳු අතර තෙවැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 83කින් නිමා වෙද්දී, පිටියට  එක් වූයේ ලසිත් අබේරත්නයි. එතැන් සිට ඔවුන් දෙදෙනා එක් ව දිවා විවේකය දක්වා තම කඩුලු ආරක්ෂා කර ගනිමින් ටැමිල් යූනියන් පන්දු යවන්නන් වෙහෙසට පත් කළා.

දිවා විවේකයට තරගය නතර කරද්දී  CCC ක්‍රීඩකයෝ පන්දුවාර 57ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 256ක් ලබා සිටියා. ඒ වෙද්දී කමිඳු නොදැවී ලකුණු 95ක් සහ ලසිත් නොදැවී ලකුණු 37ක් ලබා සිටියා.

දිවා විවේකයෙන් පසුව යැවුණ සිව්වැනි පන්දුවාරයේ දී කමිඳු තම ශතක ලකුණ වාර්තා කිරීමට සමත් වුනා. ඒ සඳහා පන්දු 137 වැය ව තිබූ අතර එය කමිඳුගේ පළමු පෙළ තරග දිවියේ 10 වැනි ශතකයයි.

එතැන් සිට තවත් ලකුණු 5ක් තම ඉනිමට එක් කර ගනිද්දී, කමිඳුගේ ඉනිම ද අවසන් කිරීමට රවිඳු සමත් වුනා. එවර ද ඔහුට කමේෂ් සහාය වූ අතර ඒ උඩ පන්දුවක් රැක ගනිමින්. ඒ වෙද්දී කමිඳු පන්දු 149කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සමඟින් ලකුණු 105ක් ලබා සිටි අතර කමිඳු සහ ලසිත් අතර සිව්වැනි කඩුල්ලට ලකුණු 108ක සබඳතාවක් ගොඩ නැගී තිබුණා.

කමිඳුගෙන් හිස් වූ කඩුල්ලට නායක අශාන් ප්‍රියංජන් එක් වූ අතර ලසිත් හා එක් වූ ඔවුන්ගේ සබඳතාව ලකුණු 17කට සීමා කිරීමට නැවත වතාවක් ක්‍රියාත්මක වූ රවිඳු සමත් වුනා. ලසිත් පන්දු 101කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 48කට දැවී යන විට CCC ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 288ක් ව තිබුණා.

අනතුරුව පිටියට පිවිසි චමිඳු විජේසිංහ, අශාන් හා එක් වෙමින් එතැන් සිට තේ විවේකය දක්වා වූ පන්දුවාර 20ක ආධිපත්‍ය පතුරවනු ලැබුවා. ලකුණු 66ක සබඳතාවකින් අනතුරුව පැවති තේ විවේකයේ දී  CCC ඉනිම කඩුලු 5 ම නතර වී තිබූ අතර ලකුණු 354ක් ලෙසින් ලකුණු පුවරුව කියැවුණා. ඒ වෙද්දී අශාන් නොදැවී ලකුණු 35ක් සහ චමිඳු නොදැවී ලකුණු 33ක් ලබා සිටියා.

තේ විවේකයෙන් අනතුරුව ඔවුන් දෙදෙනාගේ ආධිපත්‍ය දිගින් දිගට ම පැවති අතර අයහපත් කාලගුණ තත්ත්වය මත තරගය තවත් පන්දුවාර 12ක් යැවීමට තිබිය දී නතර කරන විට ද ඔවුන් දෙදෙනා තම කඩුලු රැක ගනිමින් පිටියේ රැඳී සිටීමට සමත් වුනා.

ඒ වෙද්දී කකුලේ ආබාධයක් සහිතව ද පිතිකරණයේ යෙදුණ අශාන් පන්දු 111කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 52ක් ලබා සිටි අතර චමිඳු පන්දු 139කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 71ක් ලබා සිටියා.

අද දවසේ දැවී ගිය කඩුලු ත්‍රිත්වයේ ම හිමිකාරිත්වය දකුණතින් පිට දඟපන්දු යවන 23 හැවිරිදි රවිඳු ප්‍රනාන්දු සතු කර ගැනීමට සමත් වීම කැපී පෙනුණා. දවස අවසන් වෙද්දී රවිඳුගේ පන්දු යැවීම ලකුණු 81කට කඩුලු 3ක් ලෙසින් සටහන් වුනා.

හෙට (19) තරගයේ සිව්වැනි සහ අවසන් දිනයයි.

  • ටැමිල් යූනියන් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 558 (135.2) නවොද් පරණවිතාන 54, සදීර සමරවික්‍රම 188, රොන් චන්ද්‍රගුප්ත 48, දිලුම් සුදීර 32, රවිඳු ප්‍රනාන්දු 45, ඉසුරු උදාන 88, කවිඳු පතිරත්න 46, විශ්ව ප්‍රනාන්දු 4/102, ලක්ෂාන් සඳකැන් 4/128
  • CCC – පළමු ඉනිම (දෙවැනි දිනයට තරගය නතර කරන විට පන්දුවාර 29ක දී කඩුලු 2ක් දැවී 149) කඩුලු 5ක් දැවී 411 (107) නිමේෂ ගුණසිංහ 33, මිනෝද් භානුක 75, කමිඳු මෙන්ඩිස් 105, ලසිත් අබේරත්න 48, අශාන් ප්‍රියංජන් නොදැවී 52, චමිඳු විජේසිංහ නොදැවී 71, රවිඳු ප්‍රනාන්දු 3/81

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<