උගන්ඩා ක්‍රීඩකයෝ සංවර්ධිත කණ්ඩායමට පරාජය වේ

Uganda Tour of Sri Lanka 2024

493

2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගත් උගන්ඩාව මෙරට පැමිණ සහභාගී වූ පළමු විස්සයි විස්ස තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධිත සංචිතයේ කණඩායම ඉදිරියේ කඩුලු 5ක පරාජයක් ලැබුවා.

මෙම තරගය අද (12) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති අතර උගන්ඩා කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධිත කණ්ඩායම සමඟ මෙරට දී පුහුණු විස්සයි විස්ස තරග 7කට සහභාගී වීමට නියමිතයි.

ඔවුන් මෙරට පිවිසෙන්නේ ඉන්දියාවේ දී ද පුහුණු තරග 9කට සහභාගී වීමෙන් අනතුරුවයි.

1 වැනි තරගය, ගාල්ල, 12, පෙබරවාරි 24, Uganda Tour of Sri Lanka

o කාසියේ වාසිය : ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධිත සංචිතය

o ක්‍රීඩාංගණය : ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, ගාල්ල

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධිත සංචිතය: නුවනිඳු ප්‍රනාන්දු (නායක), සොහාන් ද ලිවේරා (කඩුලු රකින්නා), ක්‍රිශාන් සංජුල, අශේන් බණ්ඩාර, මොවින් සුබසිංහ, දිනුර කළුපහන, චමිඳු වික්‍රමසිංහ, මල්ෂ තරුපති, ඉසිත විජේසුන්දර, තරිඳු රත්නායක, දනාල් හේමානන්ද.

උගන්ඩා කණ්ඩායම: Brian Masaba (නායක), Roger Mukasa, Simon Ssesazi, Ronald Lutaaya, Kenneth Waiswa, Dinesh Nakrani, Kenneth Waiswa, Alpesh Ramjani, Kakuru Cyrus (කඩුලු රකින්නා), Juma Miyagi, Bilal Hassun, Henry Ssenyondo.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සංචාරක උගන්ඩා ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 87ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධිත සංචිතයේ ක්‍රීඩකයෝ ඔවුන්ගේ ඉනිමේ තවත් පන්දුවාර 5ක් සහ පන්දු 20ක් ඉතිරිව තිබිය දී එම ඉලක්කය අභිබවා ගියා.

උගන්ඩා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ 32 හැවිරිදි වියේ පසුවෙන වමත් පිතිකරු Dinesh Nakrani. ඔහු පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 29ක් ලබා ගත්තා.

ඊට අමතර ව නායක Brian Masaba පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 21ක් ලබා සිටියා. අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු ලබා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ.

කඩුලු දවා ගැනීමේ දී මල්ෂ තරුපති ලකුණු 20කට කඩුලු 3ක් බිඳ හෙළමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව ඉසිත විජේසුන්දර සහ දනාල් හේමානන්ද කඩුලු 2 බැගින් ද දිනුර කළුපහන සහ තරිඳු රත්නායක කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුරු සත්කාරක ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක නුවනිඳු ප්‍රනාන්දු. ඔහු ඉනිම අවසන් වන විට පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 25ක් ලබා ගත්තා.

ඊට අමතර ව ආරම්භක වමත් පිතිකරු සොහාන් ද ලිවේරා පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තා. ක්‍රිශාන් සංජුල (10), අශේන් බණ්ඩාර (12) සහ මොවින් සුබසිංහ (12) මෙම ජයග්‍රහණය ඉක්මන් කිරීමට මඟ සැලසුවා.

කඩුලු දවා ගැනීමේ දී පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දැක් වූ Dinesh Nakrani වමතින් මඳ වේග පන්දු යවමින් ලකුණු 19කට කඩුලු 3ක් දවා ගත්තා. ිඊට අමතර ව වමත් දඟ පන්දු යවන්නන් වූ  Henry Ssenyondo සහ Alpesh Ramjani කඩුල්ල බැගින් දවා ගත්තා.

උගන්ඩාව – කඩුලු 9ක් දැවී 87 (20.0) Dinesh Nakrani 29, Brian Masaba නොදැවී 21, ඉසිත විජේසුන්දර 2/09, දනාල් හේමානන්ද  2/09, මල්ෂ තරුපති 3/20

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධිත සංචිතය – කඩුලු 5ක් දැවී 88 (15.0) සොහාන් ද ලිවේරා 21, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 25, Dinesh Nakrani 3/19

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධිත සංචිතයට කඩුලු 5ක ජයක්.

තරගාවලියේ 2 වැනි තරගය හෙට (13) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<