ඉන්දීය කණ්ඩායමට Mitchell Johnsonගෙන් අනතුරු ඇඟවීමක්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022

6175

2022 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ දින කීපයක් පමණයි.

මෙවර ලෝක කුසලානයේ ප්‍රබල කණ්ඩායම් වනු ඇතැයි බොහෝ කණ්ඩායම් පිළිබඳව විචාරකයන් මත පළකර තිබෙනවා. මේ අතර ඉන්දීය කණ්ඩායමත් ඉදිරියෙන්ම සිටින කණ්ඩායමක්.

හිටපු ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක Mitchell Johnson විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායමේ බලපෑම පිළිබඳව පසුගිය දා අදහස් දක්වා සිටියා.

එහි දී Mitchell Johnson ඉන්දීය කණ්ඩායමට දැඩි අවවාදයක් ලබා දෙමින් විස්සයි විස්ස ලෝක කුසලානය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) පසුගිය සතියේ දී ලෝක කුසලානය සඳහා සහභාගී වන ඉන්දීය සංචිතය නම් කෙරුණා. එයට ක්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුළත්. ඉන් අනතුරුව ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවීණයන් සහ විචාරකයන් නම් කළ ඉන්දීය කණ්ඩායම පිළිබඳව මෙන්ම, එහි ශක්තීන් සහ දුර්වලතා පිළිබඳව ඔවුන්ගේ මතය ඉදිරිපත් කර තිබුණා. ඉන්දියාව ඔවුන්ගේ ක්‍රීඩා කරන 11 දෙනා සකස් කළ යුතු ආකාරය පිළිබඳව දැනටමත් විවාද ආරම්භ වී තිබෙනවා.

Mitchell Johnson සිය අදහස් දැක්වීම තුළ මූලිකවම අවධානය යොමුකර තිබුණේ ඉන්දීය වේගපන්දු බලඇණිය වෙතයි. Jasprit Bumrah, Bhuvneshwar Kumar, Harshal Patel සහ Arshdeep Singh ප්‍රධාන වේගපන්දු යවන්නන් ලෙස සංචිතය නියෝජනය කරනවා. ඊට අමතරව වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන Hardik Pandya ද මෙම සංචිතයට ඇතුළත්. R. Ashwin, Yuzvendra Chahal සහ Axar Patel දඟපන්දු යවන්නන් ලෙස කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා.

Johnson තම මතය දක්වමින් පවසා සිටියේ, ඉන්දීය සංචිතයට එක් වේගපන්දු යවන්නෙකු අඩු බවයි. පර්ත් වැනි ඇතැම් ක්‍රීඩාංගණවල දී කණ්ඩායමට වේගපන්දු යවන්නන් හතර දෙනෙකු අවශ්‍ය වන බව ඔහු පවසනවා.

ඔබට වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙක්, දඟපන්දු යවන්නන් කිහිප දෙනෙක්, වේගපන්දු යවන්නන් හතර දෙනෙක් සිටිනවා නම් එය අවදානමක්. නමුත් ඉන්දියාව බොහෝ විට වේගපන්දු යවන්නන් දෙදෙනෙකු සහ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන්. ඒත් එක්කම දඟපන්දු යවන්නන් දෙදෙනෙක් යොදාගනීවි, Johnson උපුටා දක්වමින් PTI පුවත් සේවය වාර්තා කළා.

ඕස්ට්‍රේලියාවේ දී, ඔබට අනිවාර්යයෙන්ම වේගපන්දු යවන්නන් තිදෙනෙකු ක්‍රීඩා කිරීමට අවශ්‍ය වෙනවා. සමහර විට ඇතැම් කොන්දේසි යටතේ වේගපන්දු යවන්නන් සිවදෙනෙක් අවශ්‍ය වේවි. උදාහරණයක් ලෙස, පර්ත් ක්‍රීඩාංගණයේ දී වේගපන්දු යවන්නන් සිව්දෙනෙක් අවශ්‍ය වේවි. මම හිතන්නේ ඔවුන්ට සැලසුමක් තියනවා. නමුත් ඔබ වේගපන්දු යවන්නන් හතරක් පමණක් යොදාගත්තොත් එය ටිකක් අවදානමක්, Johnson වැඩිදුරටත් පවසා සිටියා.

ඉන්දියාව මේ වන විට ඕස්ට්‍රේලියාවට එරෙහිව තරඟ තුනකින් සමන්විත තරගාවලියක් සඳහා සූදානම් වෙමින් සිටිනවා. එළඹෙන අඟහරුවාදා සිට මොහාලි හිදී ඔවුන් ඕස්ට්‍රේලියාව සමඟින් ක්‍රීඩා කිරීමට නියමිත අතර ලෝක කුසලාන තරගාවලියට පෙර දකුණු අප්‍රිකාව සමඟ සීමිත පන්දුවාර තරගාවලියකට ද සහභාගී වනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<