T20 කාන්තා ක්‍රිකට් පිටිය නැවත සක්‍රීය වෙයි

NSL Womens U23 T20 Tournament 2024

50
NSL Womens U23 T20 Tournament 2024
BENONI, SOUTH AFRICA - JANUARY 16: Vishmi Gunaratne of Sri Lanka bats during the ICC Women's U19 T20 World Cup 2023 match between and at Willowmoore Park on January 16, 2023 in Benoni, South Africa. (Photo by Johan Rynners-ICC/ICC via Getty Images)

වෙසක් නිවාඩුව සහ ඊට පසුව ඇති වූ වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් තැබුණ National Super League වයස අවුරුදු 23න් පහළ විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ තරග 2ක් අද (25) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වූවා.

එම තරග අතුරින් දඹුල්ල කාන්තා කණ්ඩායම සහ කොළඹ කාන්තා කණ්ඩායම පිළිවෙළින් මහනුවර සහ ගාල්ල කණ්ඩායම් පරාජය කරමින් තරගාවලියේ ඉදිරියට පිවිසියා.

Galle සහ Colombo අතර තරගය

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩිකාවන්ගේ ඉනිම ලකුණු 80කට සීමා කිරීමට ප්‍රතිවාදී කොළඹ ක්‍රීඩිකාවෝ සමත් වූවා. ඔවුන් එලෙස දක්ෂතා දැක්වීමේ දී හෂිනි ලියනගේ ලකුණු 11කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ දක්ෂතම පන්දු යැවීම වාර්තා කළා.

ඊට අමතර ව තරුෂි තත්සරණි කඩුල්ලක් දවා ගත් අතර ඉනිමේ අනෙක් කඩුලු 6 ම දුවද්දී දවා ගැනීමට අගනුවර ක්‍රීඩිකාවෝ සමත් වීම කැපී පෙණුනා.

ලකුණු ලබා ගැනීමේ දී එරන්දි හංසමාලි පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 24ක් ලබා ගත් අතර අසේනි තලගුණේ පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 18ක් ලබා ගත්තා.

අනෙක් කිසිදු ක්‍රීඩිකාවකට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පිවිසීමට අගනුවර පන්දු යවන්නියෝ ඉඩ ලබා දුන්නේ නැහැ.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කොළඹ ක්‍රීඩිකාවෝ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 83ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය ලබා ගත්තා.

එම ඉනිමේ දී ආරම්භක පිතිකාරිනී ශිකරි ද සිල්වා පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 37ක් ලබා ගත්තා.

තරගය ජයග්‍රහණය කරා රැගෙන යද්දී ශිකරි ද සිල්වා සහ නිකේශා විජේසේකර (8) සිවු වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 32ක දී නොදැවුණ ලකුණු 31ක සබඳතාවක් එක් කළා.

කඩුලු දවා ගැනීමේ දී ඉනිමේ ආරම්භක පන්දු යවන්නිය වූ තරුශි රාජකරුණා ලකුණු 15කට කඩුලු 3ක දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Galle – සියලුම දෙනා දැවී 80 (16.0) අසේනි තලගුණේ 18, එරන්දි හංසමාලි 24, හශිනි ලියනගේ 3/11

Colombo – කඩුලු 3ක් දැවී 83 (13.4) ශිකරි ද සිල්වා නොදැවී 37, තරුෂි රාජකරුණා 3/15

Colombo වයස අවුරුදු 23න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

Kandy සහ Dambulla අතර තරගය

කාසියේ වාසිය දිනා ගත් මහනුවර ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටිය පිවිසෙමින් තම කෝටාවේ දී කඩුලු 9ක් දැවී ලකුණු 87ක් ලබා ගත්තා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ සුමුදු නිසංසලා යි. ඇය පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 24ක් ලබා ගත්තා. ඊට අමතර ව නායිකා රශ්මිකා සෙව්වන්දි පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 17ක ද සහ නෙත්මි ගුණරත්න පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 11ක් ලබා ගත්තා.

අනෙකුත් කිසිදු ක්‍රීඩිකාවක් ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවන් කරා නොගිය අතර ඊට වැට බැඳීමේ දී මල්ෂි නිරාශා ලකුණු 6කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව ජනාදි අනාලි කඩුලු 2ක් ද සහ පමෝදා ශයිනි, විදුශිකා පෙරේරා සහ ලිමී තිලකරත්න කඩුල්ලක් බැගින් බෙදා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දඹුලු ක්‍රීඩිකාවන්ගේ ඉනිම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 2ක පමණක් ලකුණු 43ක් ලබා සිටි අතර එය ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත තරගයේ ජයග්‍රහණයට ප්‍රමාණවත් වූවා.

එම ඉනිමේ දී ආරම්භක පිතිකාරිනි හෂිනි ඉන්ද්‍රජිත් පන්දු 17කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 14ක් ලබා ගනිමින් දක්ෂතා දැක් වුවා. ඊට අමතර ව සඳුනි බණ්ඩාර ලකුණු 9ක් ලබා ගත් අතර තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී ජනාදි අනාලි පන්දු 4කට හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 6ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී රශ්මිකා සෙව්වන්දි සහ ඉමල්ෂි ලියනගේ කඩුල්ල බැගින් බෙදා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Kandy – කඩුලු 9ක් දැවී 87 (20.0) සුමුදු නිසංසලා 24, රශ්මිකා සෙව්වන්දි 17, ජනාදි අනාදි 2/18, මල්ශි නරාශා 3/06

Dambulla – කඩුලු 2ක් දැවී 43 (6.3) හෂිනි ඉන්ද්‍රජිත් නොදැවී 14, රශ්මිකා සෙව්වන්දි 1/09

Dambulla වයස අවුරුදු 23න් පහළ කාන්තා කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් අනුව ලකුණු 16ක ජයක්.

නිමා වූ මෙම තරග ද්විත්වයත් සමඟින් National Super League වයස අවුරුදු 23න් පහළ විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග අද (25) නිමා වූ අතර හෙට (26) තරගාවලියේ අවසන් මහා තරගය සුපුරුදු ලෙසින් ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

එම තරගය සඳහා මේ වන විට සුදුසුකම් ලබා තිබෙන්නේ අද දවසේ ජය්‍රගහණය කළ දඹුල්ල සහ කොළඹ කණ්ඩායම් වීම ද විශේෂත්වයක්.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<