උමේෂ් යාදෙව් කොදෙව්වෝ හඬවයි

161

ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක උමේෂ් යාදෙව් ගේ විනාශකාරී පන්දු යැවීම හමුවේ අසරණ වූ බටහිර ඉන්දීය කොදෙව්වෝ අද  (14) හයිද්‍රාබාද් හි රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී නිමා වූ දෙවැනි ටෙස්ට් තරගයේ දී කඩුලු 10ක පරාජයක් ලැබූහ. ඉන්දීය ක්‍රීඩකයෝ ලැබූ එම ජයග්‍රහණයත් සමඟින් දෙරට අතර තරග දෙකකින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 2-0කින් ජයග්‍රහණය කිරීමට සමත් වූහ.

දකුණු අප්‍රිකානුවෝ ලෙහෙසියෙන් ම සිම්බාබ්වේ පරාජය කරයි

පොචෙෆ්ස්ට්රූම් සෙන්වේස් උද්‍යාන ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (12) නිමා වූ දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ අතර පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ…

පළමු ටෙස්ට් තරගය ද දින තුනක දී ජයග්‍රහණය කළ ඉන්දීය ක්‍රීඩකයෝ මෙම තරගයේ විසඳුම ද දින තුනකින් වාර්තා කිරීමට සමත් වීම කැපී පෙණුනි.

උමේෂ් යාදෙව් මෙම තරගයේ පළමු ඉනිමේ දී කඩුලු 6ක් සහ දෙවැනි ඉනිමේ දී කඩුලු 4ක් ලෙසින් කඩුලු 10ක් ලබා ගත් අතර ටෙස්ට් තරගයක දී කඩුලු 10ක් ලබා ගත් තෙවැනි ඉන්දීය වේගපන්දු යවන්නා ලෙසින් ඔහු වාර්තා පොත් අතරට එක් විය. මෙම දක්ෂතාව ඔහු ටෙස්ට් තරගයක දී දැක්වූ හොඳම දක්ෂතා විය. මීට පෙර ඔහු 2011 වසරේ දී කල්කටාවේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ටම එරෙහිව වාර්තා කර තිබූ ලකුණු 103කට වූ කඩුලු 7යි එම සටහනේ රැඳී තිබුණේ.

යාදෙව් තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණ අතර තරගාවලියේ වීරයා ලෙසින් තමන්ගේ කෝඩුකාර තරගාවලියේ දී ම සම්මාන දිනා ගැනීමට ප්‍රිත්වි ෂෝ සමත් විය. ඔහු පළමු තරගයේ දී ශතකයක් ලබා ගත් අතර මෙම තරගයේ දී අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් විය. ඉන්දියාව වෙනුවෙන් තම මංගල තරගාවලියේ දී ම තරගයේ වීරයා වූ 10 වැනි ඉන්දියානුවා වූයේ ප්‍රත්වි ෂෝ ය.

මෙම තරගයේ දී ඉන්දියාව තවත් ක්‍රීඩකයෙක් ටෙස්ට් පිටියට හඳුන්වා දුන්නේ ය. ඒ 26 හැවිරිදි මඳ වේගපන්දු යවන ශාදූර් තාකූර් ය.  

තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිස් ඔවුන් සියලුම දෙනා දැවී ලකුණු 311ක් ලබා ගත්තේ ය. මෙම ඉනිමේ ගෞරවයට පත් පිතිකරු වූයේ රොස්ටන් චේස් ය.

ඔහු අද ඉන්දීය ක්‍රීඩකයන්ට එරෙහිව තම සිව්වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් විය. ලකුණු 106ක ඔහුගේ ඉනිම පන්දු 189කින් සමන්විත වූ අතර හතරේ පහර 8ක් සහ හයේ පහරක් ඉනිමට ඇතුලත් විය.

චේස් තම ලකුණු ප්‍රමාණය ලබා ගනිද්දී කොදෙව් ඉනිමට ශක්තිමත් සබඳතා දෙකක් ද එක් කිරීමට සමත් විය. ඔහු 6 වැනි කඩුල්ල සඳහා ශේන් ඩොව්රිච් සමඟ එක් වෙමින් ලකුණු 69ක් ලබා ගත්හ. ඩොව්රිච් පන්දු 63කට මුහුණ දෙමින් ලකුණු 30ක් ලබා ගත්තේ ය.

ඉසුරු උදාන සුපිරි දස්කම් දක්වමින් ඇෆ්ගන් පිටිය කලඹයි

ඩුබායි හි පැවැත්වෙන ඇෆ්ගනිස්තානු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දසවැනි තරගය ඊයේ (12) දිවා/රාත්‍රී ක්‍රිකට් තරගයක් ලෙස පැවැත්වුණු අතර ශ්‍රී ලංකා ක්‍රිකට්…..

ඉනිමේ හොඳම ලකුණු සබඳතාව වූයේ චේස් සහ නායක ජේසන් හෝල්ඩර් එක්ව එක් කළ ලකුණු 104ක සබඳතාවයි. එහි දී හෝල්ඩර් තම 8 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය. ඔහු පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමග ලකුණු 52ක් ලබා ගත්තේ ය.

පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන උමේෂ් යාදෙව් ලකුණු 88කට කඩුලු 6ක් දවා ගත්තේ ය. එය යාදෙව්ගේ ටෙස්ට් දිවියේ හොඳම පන්දු යැවීම ද විය. ඊට අමතරව කුල්දීප් යාදෙව් ලකුණු 85කට කඩුලු 3ක් දවා ගත්තේ ය.

ඉන්දීය පළමු ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 367ක් විය. එහි දී රිෂාබ් පන්ක් පන්දු 134කට මුහුණ දී හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 92ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. එය රිෂාබ්ගේ දෙවැනි අර්ධ ශතකය විය.

ඊට අමතරව ප්‍රිත්වි ෂෝ සහ අජින්ක්යා රහනේ ද අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූහ. ප්‍රිත්වි පන්දු 53ක දී ලකුණු 70ක් රැස් කරද්දී රහනේ පන්දු 183කට මුහුණ දෙමින් ලකුණු 80ක් ලබා ගත්තේ ය. ඉන්දීය ඉනිමේ 5 වැනි කඩුල්ල සඳහා රහනේ සහ රිෂාබ් එක්ව ලකුණු 152ක සබඳතාවක් එක් කිරීමට සමත් වූහ.

පන්දු යැවීමේ දී ජේසන් හෝල්ඩර් ලකුණු 56කට කඩුලු 5ක් දවා ගත් අතර  ෂැනොන් ගබ්රියෙල් කඩුලු 3ක් ද සහ ජොමෙල් වරිකන් කඩුලු 2ක් ද දවා ගත්හ.

ලකුණු 56ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිමට පන්දුවට පහර දීමට පිවිසි කොදෙව් ක්‍රීඩකයන්ගේ ඉනිම විනාශ කිරීමට උමේෂ් යාදෙව් නැවත වරක් පෙරමුණ ගත්තේ ය. එවර ඔහුගේ දක්ෂතාව වූයේ ලකුණු 45කට කඩුලු 4කි. ඊට අමතරව රවින්ද්‍ර ජඩේජා කඩුලු 3ක් ද සහ රවිචන්ද්‍රන් අස්වින් කඩුලු 2ක් ද ලබා ගත්හ.

කොදෙව් දෙවැනි ඉනිම වෙනුවෙන් සාර්ථක වූ පිතිකරුවන් වූයේ සුනිල් අම්බ්‍රිස් (38), ෂායි හොප් (28) සහ ජේසන් හෝල්ඩර් (19) ය.

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 71ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයෝ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 75ක් ලබා ගැනීමට සමත් වූහ. එහි දී ආරම්භක පිතිකරුවන් වූ ප්‍රිත්වි ෂෝ සහ ලොකේෂ් රාහුල් නොදැවී ලකුණු 33 බැගින් ලබා සිටිය හ.

බටහිර ඉන්දීය කොදෙව්; පළමු ඉනිම සියලුම දෙනා දැවී 311 (101.4): කිරන් පවෙල් 22, ෂායි හොප් 36, රොස්ටන් චේස් 106, ශේන් ඩොව්රිච් 30, ජේසන් හෝල්ඩර් 52, උමේෂ් යාදව් 6/88, කුල්ඩීප් යාදව් 3/85

ඉන්දියාව; පළමු ඉනිම  සියලුම දෙනා දැවී 367 (106.4): ප්‍රිත්වි ෂෝ 70, විරාට් කෝලි 45, අජින්ක්යා රහනේ 80, රිෂාබ් පන්ක් 92, රවිචන්ද්‍රන් අස්වින් 35, ෂැනොන් ගබ්රියෙල් 3/107, ජේසන් හෝල්ඩර් 5/56, ජොමෙල් වරිකන් 2/84

බටහිර ඉන්දීය කොදෙව්; දෙවැනි ඉනිම 127 (46.1): ෂායි හෝප් 28, සුනිල් ඇම්බ්‍රිස් 38, උමේෂ් යාදව් 4/45, රවිචන්ද්‍රන් අස්වින් 2/24, රවින්ද්‍ර ජඩේජා 3/12

ඉන්දියාව; දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 75 (16.1): ප්‍රිත්වි ෂෝ නොදැවී 33, ලොකේෂ් රාහුල් නොදැවී 33

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<