Hafeezගෙන් පාකිස්තාන ක්‍රිකට් ගැන දැඩි විවේචන

6836

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ මැදපෙළ ඉතා දුර්වල බවත්, Shoaib Malik වැනි අත්දැකීම් බහුල පිතිකරුවෙක් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායෙමේ මැදපෙළ ශක්තිමත් කිරීමට අත්‍යාවශ්‍ය වුනත් තේරීම් කමිටුව ඒ පිළිබඳ සලකා නොබලන බවත්, හිටපු පාකිස්තාන නායක සහ තුන් ඉරියව් ක්‍රීඩක Mohammad Hafeez විසින් ප්‍රකාශ කර සිටිනවා.

මෙවර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීමට නියමිත පාකිස්තාන සංචිතය පසුගිය සතියේ නම් කළ අතර, බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු සුන් කර දමමින් ලෙස එම සංචිතයට පාකිස්තාන සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Shoaib Malikගේ නම ඇතුළත් කර නොගැනීමට පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

ගිය වසරේ අග භාගයේ දී බංග්ලාදේශයට අවසන් වරට විස්සයි විස්ස ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කළ Shoaib Malik මේ දක්වා පාකිස්තානය වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 124කට ක්‍රීඩා කර තිබෙනවා.

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ මැදපෙළ එතරම්ම ශක්තිමත් නොවන මොහොතක පවා Malikට අවධානය ලබා නොදීම පිළිබඳව පාකිස්තාන ක්‍රිකට් රසිකයින් මෙන්ම Shoaib Malik පවා ප්‍රශ්න කර සිටිනවා.

“අපි කවදා ද මේ යාළු-මිත්‍රකම්, පෞද්ගලික කැමැත්ත මත තේරිම් කරන සංස්කෘතියෙන් මිදෙන්නේ?” යනුවෙන් Malik විසින් Twitter ප්‍රකාශයක් නිකුත් කර තිබුණා.

“තේරීම් කමිටු විසින් මේ යාළු-මිත්‍රකම්වලට දක්වන විශේෂ සැලකිල්ල ගැන කිව්වට පස්සේ නම් ඔහුට සමුගැනීමේ තරගයක් වත් ලැබේවි ද කියන්න සැකයි. දැන් ඔවුන් ඔහුට තවත් අකමැති ඇති.”

හිටපු පාකිස්තාන නායක Mohammad Hafeez විසින්  Malikට දිගින් දිගටම දක්වන මේ නොසැලකිල්ල පිළිබඳ කනගාටුවෙන් යුතුව එලෙස ප්‍රකාශ කර සිටිනවා.

ඒ වගේම තමන්ට කළ දේම Malikටත් වනු ඇති බවටත්, කිසිම ගෞරවයක් නොදක්වාම ඔහුව කණ්ඩායමෙන් ඉවතට දමනු ඇති බවත්, එම නිසා පසුගිය ලෝක කුසලානයෙන් පසුව ඔහුටත් ක්‍රිකට්වලින් විශ්‍රාම ගන්නැයි තමන් කී බවත් Hafeez තව දුරටත් ප්‍රකාශ කර සිටියා.

අවුරුදු 21-22 ක් තිස්සේ ශාරීරික යෝග්‍යතාවය එකම මට්ටමෙන් පවත්වා ගන්න ගමන් Malikට පකිස්තානයට තමන්ගේ උපරිමය දෙන්න පුළුවන් වුනා. මම මගේ සමුගැනීම ප්‍රකාශ කරපු වෙලාවේම Malikටත් කිවුවා දැන් ක්‍රිකට් වලින් සමු ගමු කියලා. මොකද මම දැනගෙන හිටියා මට වගේම ඔහුටත් කිසිම විදිහක ගෞරවාන්විත සමුගැනීමක් ඔවුන් ලබා නොදෙන බව. ඒත් ඔහුට අවශ්‍ය වුනේ අවසන් වතාවටත් රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නයි.”

පසුගිය වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයෙන් පසුව Hafeez සිය ක්‍රිකට් දිවියට සමුදුන් අතර, ඔහු තව දුරටත්  Malik පිළිබඳ කනස්සලු සහගතව අදහස් දක්වමින් කියා සිටියේ, 2019 ක්‍රිකට් ලෝක කුසලානයෙන් අනතුරුව එක්දින ක්‍රිකට් වලින් සමුගන්න සූදානම්ව සිටි  Malikට සමුගැනීමේ තරගයක් ලබා දිය යුතු බවටත් කණ්ඩායම් කළමණාකාරීත්වයට ඔහු යෝජනා කළ බවයි.

ඔවුන් මගේ යෝජනාවට ඇහුම්කන් දුන්නේවත් නැහැ, ඔහුගේ වසර ගණක සේවය පිළිබඳ ඔවුන් සැලකිල්ලක් දැක්වුවේ නැහැ. කොහොමත් අපේ කණ්ඩායම් කළමනාකාරිත්වය ක්‍රීඩකයින්ට හොඳ සමුගැනීමක් ලබා දෙන්න කිසිම උනන්දුවක් දක්වන්නෙම නැහැ නේ.

ඒ වගේම නිකං කියනවට කියන්න එපා ඔහුට පුල් පහරවල්, කට් පහරවල් එල්ල කරන්න බැහැ කියලා නම්. ඔහු අවුරුදු 22ක් රටට සෙල්ලම් කරේ මේ පහරවල් එල නොකර නෙවෙයි නේ. වැදගත් වෙන්නේ ක්‍රීඩකයාගේ වයස අවුරුදු 20, 40 ද කියන එක නෙවෙයි, අපිට වැදගත් වෙන්නේ හොඳට ක්‍රිකට් සෙල්ලම් කරන්න පුළුවන්, කණ්ඩායම දිනවන්න පුළුවන් ක්‍රීඩකයෙක් කියන එකයි.”

තව දුරටත් කණ්ඩායමේ තේරිම් පිළිබඳ අදහස් දක්වමින් Hafeez ප්‍රකාශ කළේ, Asif ali සහ Kushdil shah යන දෙදෙනා ම එක විදිහේ පිතිකරුවන් බවයි.

කණ්ඩායම මේ මට්ටමෙන් රැඳිලා පවතින්නේ මුල්පෙ පිතිකරුවන තුන් දෙනා නිසා, Babar Azam සහ Mohommad Rizwan තමයි කණ්ඩායම මේ මට්ටමට ගේන්න ප්‍රධානතම හේතුව වුනේ. හැබැයි ඔවුන් දෙදෙනාම මීට වඩා ඉක්මනින් ලකුණු ලබා ගන්න උත්සාහ කරන්න ඕන.

Asif ali සහ Kushdil shah දෙන්නටම ඉනිමක් ගොඩ නංවන්න බැහැ, ඒ වගේම kushdilගේ පන්දුවට පහර දීමේ වේගය 110ක් වගේ අගයක තිබිලත් අපි එයාව සලකන්නේ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රහාරක පිතිකරුවෙක් විදිහට.

අපි අපෙන්ම අහගන්න ඕන මෙයාලට මුල්පෙළ ඉක්මනින් බිද වැටෙන වෙලාවක පීඩනය දරාගෙන ඉනිමක් ගොඩ නංවන්න පුළුවන් කියලා. අපි ක්‍රීඩකයින් තෝරන්නේ අපේ මුල්පෙළ පිතිකරුවන් පිටියේ ස්ථාවර වෙන්න ගොඩක් වෙලා ගන්නවා කියන සාධකය ඔළුවේ තියාගෙන. මේක මහ විහිළු සහගත දෙයක්.”

Mohammad Hafeez විසින් කණ්ඩායමේ තේරීම් සම්බන්ධයෙන් මෙන්ම,  Shoaib Malik වැනි අත්දැකීම් බහුල ක්‍රීඩකයකු ඉතාම පහසුවෙන් නොසලකා හැරීම පිළිබඳ මෙසේ අදහස් දක්වා තිබුණා.

ක්‍රිකට් ලෝකයේ මෙවැනි උණුසුම් තතු විත්ති ඔබ හා සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමගින්.

Hindustan Times සහ Times of India ඇසුරෙනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<