ඇන්ජලෝ සහ චලන පළමු පෙළ කඩඉම් පසු කරයි

SLC Major League Cricket Tournament 2022

823
SLC Major League Tournament 2022 - 16th September

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League ක්‍රිකට් තරගාවලියේ පස්වැනි සතියේ පළමු දිනය වූ අද (16) දිනය නිමා වන විට මීගමුව කණ්ඩායමේ දකුණත් ඉදිරිපෙළ පිතිකරු ඇන්ජලෝ ජයසිංහ තම පළමු පෙළ ලකුණු 3000 පසු කරද්දී, බදුරලිය කණ්ඩායමේ වමතින් දඟපන්දු යවන චලන ද සිල්වා කඩුලු 100ක් වාර්තා කිරීම කැපී පෙනුණා.

ඇන්ජලෝ අද NCC කණ්ඩායමට එරෙහි තරගයේ දී පන්දු 194කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් නොදැවී ලකුණු 113ක් ලබා ගැනීමට සමත් වුනා. මෙය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 5 වැනි ශතකය වන අතර එය ඔහුගේ 68 වැනි පළමු පෙළ තරගයයි.

බදුරලිය කණ්ඩායමේ වමතින් දඟපන්දු යවන චලන ද සිල්වා යුද හමුදා කණ්ඩායමට එරෙහිව අද කඩුලු 2ක් දවා ගත් අතර ඒ සමඟින් ඔහු තම පළමු පෙළ කඩුලු 100ක් වාර්තා කිරීමට සමත් වුනා. ඔහුගේ කඩුලු සංග්‍රාමයේ ශතක සාමාජිකයා වූයේ යුද හමුදා කණ්ඩායමේ තුලින ඩිල්ශාන්. මෙය චලනගේ පළමු පෙළ 33 වැනි තරගයයි.

මේ අතර රාගම කණ්ඩායමේ නිශාන් මධුශ්ක මෙවර තරගාවලියේ තම සිව්වැනි ශතකය වාර්තා කිරීමට අද සමත් වුනා. ඒ පොලිස් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිවයි. ඔහු පන්දු 205කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 125ක් රැස් කරගත්තා.

යුද හමුදා කණ්ඩායමේ දකුණත් පිතිකරු තුලින ඩිල්ශාන් ද මෙවර තරගාවලියේ තම දෙවැනි ශතකය වාර්තා කිරීමට සමත් වුනා. මීට පෙර පානදුර කණ්ඩායමට එරෙහිව ශතකයක් වාර්තා කළ තුලින අද බදුරලිය කණ්ඩායමට එරෙහිව පන්දු 177කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සමඟින් ලකුණු 111ක් වාර්තා කරගත්තා.

මේ අතර යුද හමුදා කණ්ඩායමේ 22 හැවිරිදි වමත් පිතිකරු ෂෙශාන් ප්‍රනාන්දු අද තම මංගල ශතකය වාර්තා කිරීමට සමත් වුනා. ඒ බදුරලිය කණ්ඩායමට එරෙහිව පන්දු 161කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 116ක් රැස්කර ගනිමින්.

ගුවන් හමුදාවේ උදයවංශ පරාක්‍රම සහ මොවින් සුබසිංහ පානදුර කණ්ඩායමට එරෙහිව ශතක ලබා ගත්තා. උදයවංශ පන්දු 125කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 119ක් රැස්කර ගනිද්දී, මොවින් පන්දු 75ක දී හතරේ පහර 5ක් සහ හයේ පහර 12ක් සමඟින් ලකුණු 114ක් වාර්තා කරගත්තා. එය ඔහුගේ පළමු පෙළ හොඳම ඉනිම බවට ද පත් වුනා.

මේ අතර SSC කණ්ඩායමේ නිපුන් දනංජය, නුවනිඳු ප්‍රනාන්දු සහ කවිඳු නදීශාන්, Ace කැපිටල් කණ්ඩායමේ තෙනුක දාබරේ සහ රොෂාන් ජයතිස්ස, ලංකන් කණ්ඩායමේ දේශාන් ඩයස් සහ කසුන් අබේරත්න, කලුතර කණ්ඩායමේ කෝසල රවිඳු, ගාල්ල කණ්ඩායමේ සමීන් කඳනාරච්චි, CCC කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් සහ ලසිත් අබේරත්න, ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායමේ අදීශ නානායක්කාර, නුගේගොඩ කණ්ඩායමේ අභිශේක් ලියනාරච්චි, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මධුශාන් රවිචන්ද්‍රකුමාර් සහ කුරුණෑගල යූත් කණ්ඩායමේ අසන්ත බස්නායක අද අර්ධ ශතක ලාභීන්ගේ ලැයිස්තුවට එක් වුණා.

මේ අතර මීගමුව කණ්ඩායම නියෝජනය කරන විදෙස් ක්‍රීඩක Jatin Saxena, NCC කණ්ඩායමට එරෙහිව ශතකයක් රැස් කළා. මේ ඔහු මෙම තරගාවලියේ දී රැස් කරන ලද දෙවැනි ශතකයයි.

දවසේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ තම පළමු පෙළ කඩුලු 200 වාර්තා කරමින් මෙම තරගයට සහභාගී වන සෙබස්තියනයිට්ස් කණ්ඩායමේ තරිඳු රත්නායකයි. ඔහු කුරුණෑගල යූත් කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක් දවා ගත්තා.

Group A

BRC සහ SSC අතර තරගය BRC පිටියේ දී

  • SSC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 354 (96.3): නිපුන් දනංජය 54, නුවනිඳු ප්‍රනාන්දු 72, චරිත් අසලංක 44, රොෂේන් සිල්වා 25, කවිඳු නදීශාන් නොදැවී 70, කළණ පෙරේරා 23, ප්‍රභාත් ජයසූරිය 30, දුවිඳු තිලකරත්න 3/69, දුශාන් හේමන්ත 3/97, උමේෂ්ක මොරායස් 2/33.

හලාවත මේරියන්ස් සහ Ace කැපිටල් අතර තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ දී

  • Ace කැපිටල් – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 282 (92): තනුක දාබරේ 62, Swapnil Anil 63, රොෂාන් ජයතිස්ස 73, සචිඳු කොළඹගේ නොදැවී 38, රජින්ද පුංචිහේවා 2/20, ලසිත් ලක්ෂාන් 4/65.

කෝල්ට්ස් සහ ලංකන් අතර තරගය කෝල්ට්ස් ක්‍රීඩා පිටියේ දී

  • ලංකන් – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 228 (90): ෂෙහාන් ප්‍රනාන්දු 36, දේශාන් ඩයස් 61, ගීත් කුමාර 26, කසුන් අබේරත්න නොදැවී 65, දුනිත් වෙල්ලාලගේ 3/39.

ගාල්ල සහ කලුතර අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී

  • කලුතර – පළමු ඉනිම සියලු දෙනා දැවී 190 (51.2): කෝසල රවිඳු 75, Raghu Sharma 5/52.
  • ගාල්ල – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 158 (38): සමීන් කඳනාරච්චි 71, යශෝධ ලංකා 22, විනුර දුල්සර නොදැවී 45, තරිඳු සිරිවර්ධන 2/27.

මුවර්ස් සහ CCC අතර තරගය මුවර්ස් ක්‍රීඩා පිටියේ දී   

  • CCC – පළමු ඉනිම සියලු දෙනා දැවී 249 (76.4): මිනෝද් භානුක 41, කමිඳු මෙන්ඩිස් 59, ලසිත් අබේරත්න 73, වනිඳු හසරංග 21, මිලාන් රත්නායක 2/24, ප්‍රවීන් ජයවික්‍රම 3/71, තිලංග උදේශන 2/29, තීසාන් විතුසාන් 2/52.
  • මුවර්ස් – පළමු ඉනිම කිසිවෙකු නොදැවී 35 (11): පබසර වඩුගේ නොදැවී 27.

පොලිසිය සහ රාගම අතර තරගය පොලිස් උද්‍යාන පිටියේ දී

  • රාගම – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 307 (90): සමින්ද ප්‍රනාන්දු 44, යොහාන් ලියනගේ 22, නිශාන් මධුශ්ක 125, ජනිත් ලියනගේ 71, අවිශ්ක තරිඳු නොදැවී 23, සුපුන් මධුශංක 2/49.

සෙබස්තියනයිට්ස් සහ කුරුණෑගල යූත් අතර තරගය දොඹගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේ දී

  • කුරුණෑගල යූත් – පළමු ඉනිම 239 (83.3): ගයාන් මනීශාන් 40, ධනුෂ්ක ධර්මසිරි 27, අසන්ත බස්නායක 61, දිනුෂ්ක මාලන් 32, රන්දීර රණසිංහ 48, ලහිරු ජයරත්න 23, තරිඳු රත්නායක 5/93.
  • සෙබස්තියනයිට්ස් – පළමු ඉනිම කිසිවෙකු නොදැවී 13 (9):

Group B

මීගමුව සහ NCC අතර තරගය කටුනායක FTZ ක්‍රීඩා පිටියේ දී

  • මීගමුව – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 340 (90): අශේන් සිල්වා 25, පසිඳු ලක්ෂංක 22, අමෝද විදානපතිරණ 22, ඇන්ජලෝ ජයසිංහ නොදැවී 113, Jatin Saxena 111, අශේන් ඩැනියෙල් 2/62, ලසිත් ඇඹුල්දෙණිය 4/126.

නුගේගොඩ සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩා පිටියේ දී

  • ශ්‍රී ලංකා නාවික හමුදාව – සියලු දෙනා දැවී 180 (48.5): මාලිංග මලිගස්පෙ 30, අදීශ නානායක්කාර 93, සුපුන් ලීලාරත්න 28, සහන් නානායක්කාර 4/66.
  • නුගේගොඩ – කඩුලු 2ක් දැවී 112 (41): අභිශේක් ලියනාරච්චි 60, නයන ප්‍රනාන්දු නොදැවී 46.

ශ්‍රී ලංකා යුද හමුදාව සහ බදුරලිය අතර තරගය පනාගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේ දී

  • ශ්‍රී ලංකා යුද හමුදාව – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 342 (88): තුලින ඩිල්ශාන් 111, ෂෙහාන් ප්‍රනාන්දු නොදැවී 116, මහේෂ් කුමාර 22, ගිහාන් කෝරලගේ නොදැවී 45, චලන ද සිල්වා 67/2.

පානදුර සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර තරගය පානදුර ක්‍රීඩා පිටියේ දී

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාව – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 438 (84.1): කළණ විජේසිරි 37, උදයවංශ පරාක්‍රම 119, ආදිත්‍ය සිරිවර්ධන 27, සුපේෂල ජයතිලක 35, මොවින් සුබසිංහ 114, මධුශාන් රවිචන්ද්‍රකුමාර් 58, නිමේෂ් විමුක්ති 3/151, තරිඳු කෞෂාල් 2/59, ඉවංක සංජුල 3/87.

ටැමිල් යුනියන් සහ සැරසන්ස් අතර තරගය පී. සරා ඕවල් ක්‍රීඩා පිටියේ දී

  • සැරසන්ස් – පළමු ඉනිම සියලු දෙනා දැවී 253 (87): නවිඳු විතානගේ 66, සිතාර ගිම්හාන් 89, Mohammed Waqas 32, ශිරාන් ප්‍රනාන්දු 4/33, රවීන් ද සිල්වා 4/53.
  • ටැමිල් යුනියන් – පළමු ඉනිම කිසිවෙකු නොදැවී 10 (1):

මේ සියලු තරග හෙට (17) දෙවැනි දිනයට ක්‍රියාත්මකයි. තරගාවලියේ උණුසුම් තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<