MCA පිටියේ Teejay Lanka රංගනය

325

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කළ ඩේවිඩ් පීරිස් අභියෝගතා කුසලානය E කොටසේ ශූරතාව දිනා ගැනීමට Teejay Lanka ක්‍රීඩකයෝ පසුගියදා සමත් වුනා.

පන්දුවාර 25කින් යුත් මෙම තරගාවලියේ අවසන් මහා තරගයේ ප්‍රතිවාදීන් වූයේ Abans Group කණ්ඩායමයි. ඔවුන්ට එරෙහි ව ලකුණු 37ක ජයග්‍රහණයක් ලබා ගනිමින් Teejay Lanka ක්‍රීඩකයෝ මෙම ජයග්‍රහණය සැමරුවා.

අවසන් මහා තරගය සඳහා එක් වෙන මෙම කණ්ඩායම් 2 ම තරගාවලියේ පළමු වටයට එක් වෙන්නේ B කාණ්ඩයෙන් වීම විශේෂයි. එහි දී ප්‍රසාද ලකුණු 15ක් ලබා ගත් Abans Group කණ්ඩායම පළමු ස්ථානයට පත් වෙමින් ද සහ ප්‍රසාද ලකුණු 10ක් ලබා ගත් Teejay Lanka කණ්ඩායම තෙවැනි ස්ථානයට පත් වෙමින් ද පළමු වටය අවසන් කරනවා.

එමෙන් ම පළමු වටයේ පැවැති තරග අතර එකිනෙකා හමු වූ තරගයේ දී Abans Group කණ්ඩායම Teejay Lanka ක්‍රීඩකයන්ට එරෙහිව ලකුණු 36ක ජයක් වාර්තා කළා. එය මෙම තරගාවලියේ Teejay Lanka ක්‍රීඩකයෝ පරාජය වූ එක ම තරගය ද වූවා.

Teejay Lanka ක්‍රීඩකයන්ගේ ජයග්‍රාහී ගමන් මඟ
ප්‍රතිවාදීන් තරගයේ ප්‍රතිඵල
1 LOLC Teejay Lanka කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
2 George Steuart Health තරගයේ විසඳුමක් නෑ.
3 Abans Group Abans Group කණ්ඩායමට ලකුණු 36ක ජයක්.
4 PABC Teejay Lanka කණ්ඩායමට කඩුලු 4ක ජයක්.
5 HSBC Teejay Lanka කණ්ඩායමට ලකුණු 67ක ජයක්.
අර්ධ අවසන් පූර්ව වටය
6 Ceylinco Insuarnce Teejay Lanka කණ්ඩායමට කඩුලු 8ක ජයක්.
අවසන් පූර්ව වටය
7 Expo Lanka Freight Teejay Lanka කණ්ඩායමට කඩුලු 4ක ජයක්.
අවසන් මහා තරගය
8 Abans Group Teejay Lanka ලකුණු 37ක ජයක්.

අවසන් මහා තරගය

කණ්ඩායම් 19 කාණ්ඩ 3ක් යටතේ පැවැති මෙම තරගාවලියේ ජයග්‍රාහී Teejay Lanka ක්‍රීඩකයෝ අර්ධ අවසන් පූර්ව වටයේ දී Ceylinco Insuarnce කණ්ඩායම පරාජය කරමින් ද සහ අවසන් පූර්ව වටයේ දී Expo Lanka Freight කණ්ඩායම පරාජය කරමින් ද අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

Abans Group ක්‍රීඩකයෝ අර්ධ අවසන් පූර්ව වටයේ දී Brandix Essentials කණ්ඩායම පරාජය කරමින් ද සහ අවසන් පූර්ව වටයේ දී George Steuart Health කණ්ඩායම පරාජය කරමින් ද අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

Teejay Lanka කණ්ඩායම: නාලක අමරකෝන් (නායක), ප්‍රින්ස් කුමාරසිංහ (කඩුලු රකින්නා), උදයංග මධුශංක, සසිරි අදිකාරි, සචිත් වික්‍රමසිංහ, නුවන අලහකෝන්, පූර්ණ චතුරංග, තාරක දිනේෂ්, කෝසල ජයසේකර, හිමාෂ සස්මිත, ඉමේෂ හෂාන්.

අතිරේක: සම්පත් කුමාරගේ, රුවින් සඳරංගන, අකිල දිසානායක, චන්න නිරෝෂන්, සමන්ත ගුණසේකර, රන්දුණු පැලවත්ත.

නිලධාරීන්: දම්මික රත්මල්ගොඩ (කළමණාකරු), සනත් මානයම්ගම (පුහුණුකරු)

Abans Group කණ්ඩායම: ලක්ෂිත ද සිල්වා (නායක), සදීප ප්‍රනාන්දු, ලහිරු අත්තනායක (කඩුලු රකින්නා), නදීශ බණ්ඩාර, සතිත් මනුරංග, තිසර වික්‍රමසිංහ, සුමුදු උදාර, කවිඳු හෙට්ටිආරච්චි, චමිඳු හංසක, ඉසුරු හෂාන්, චේතිය අනුරාධ.

කාසියේ වාසිය දිනා ගත් Teejay Lanka නායක නාලක අමරකෝන් පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් පිටියට පිවිසි අතර ඔවුන් එහි වාසිය පළමු කඩුල්ලේ සිට ම අත් කර ගත්තා.

ඉනිම ආරම්භ කළ ප්‍රින්ස් කුමාරසිංහ සහ උදයංග මධුශංක එක්ව පළමු කඩුල්ලට ලකුණු 91ක සබඳතාවක් එක් කිරීමට ඔවුන් සමත් වූවා. උදයංග මධුශංක පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 43ක් ලබා සිටිය දී දැවී යමින් එම කඩුල්ලේ සබඳතාව බිඳී ගියා.

අනතුරුව ඉනිමට තවත් ලකුණු 5ක් එක් වෙද්දී අනෙක් ආරම්භක ප්‍රින්ස් කුමාරසිංහ ද තම කඩුල්ල අහිමි කර ගත්තා. ඒ වෙද්දී ඔහු පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 47ක් ලබා සිටියා.

ඔවුන් දෙදෙනාට අමතර ව Teejay Lanka ඉනිමේ අනික් වැඩිම ලකුණුලාභියා වූයේ පූර්ණ චතුරංග. ඔහු පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 24ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී සුමුදු උදාර ලකුණු 21කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා. ඊට අමතර ව ඉසුරු හෂාන්, චමිඳු හංසක සහ සිසිත් මනුරංග කඩුල්ල බැගින් බෙදා ගත්තා.

පන්දුවාර 25කින් යුත් Teejay Lanka ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 169ක් වෙද්දී ලකුණු 170ක හඹා යන ඉනිමක් වෙනුවෙන් පිටියට පිවිසි Abans Group ක්‍රීඩකයන්ට සියලුම දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 132ක් පමණයි. ඒ ඔවුන්ගේ ඉනිම අවසන් වීමට තවත් පන්දු 15ක් ඉතිරිව තිබියදීයි.

ඔවුන්ගේ ඉනිම අඩපණ කිරීමේ දී තාරක දිනේෂ් ලකුණු 34කට කඩුලු 5ක් දවා ගනිමින් තරගයේ වීරයා බවට ද පත් වුනා. ඊට අමතර ව සචිත් වික්‍රමසිංහ, නායක නාලක අලහකෝන් සහ හිමාෂ සස්මිත කඩුල්ලක් බැගින් දවා ගත්තා.

Abans Group ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු සදීප් ප්‍රනාන්දු. ඔහු පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තා.

ඊට අමතර ව කවිඳු හෙට්ටිආරච්චි පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තා.

ඉනිමේ හොඳම ලකුණු සබඳතාව වූයේ සදීප් ප්‍රනාන්දු සහ නදීශ බණ්ඩාර (18) එක් ව 2 වැනි කඩුල්ලට එක් කළ ලකුණු 49ක සබඳතාවයි. අනෙකුත් සබඳතා අඩු ලකුණු ප්‍රමාණයන්වලට සීමා වෙද්දී ඔවුන්ගේ අවසන් කඩුලු 4 පන්දු 5ක් තුළ ලකුණු 2කට සීමා වීමෙන් ලත් පරාජය ඉක්මන් වූවා.

අවසන් මහා තරගය, කොළඹ 7, 03, පෙබරවාරි 2024, SLSSCA Div E Tournament

  • o ක්‍රීඩාංගණය – වෙළඳ සේවා, කොළඹ 7
  • o කාසියේ වාසිය – Teejay Lanka
  • o අවසන් මහා තරගයේ වීරයා – තාරක දිනේෂ් (Teejay Lanka)

Teejay Lanka – කඩුලු 8ක් දැවී 169 (25.0) ප්‍රින්ස් කුමාරසිංහ 43, උදයංග මදුශංක 47, නුවන් අලහකෝන් 19, පූර්ණ චතුරංග 24, සුමුදු උදාර 4/21

Abans Group – සියලුම දෙනා දැවී 132 (22.3) සදීප ප්‍රනාන්දු 41, කවිඳු හෙට්ටිආරච්චි 25, තාරක දිනේෂ් 5/34

Teejay Lanka කණ්ඩායමට ලකුණු 37ක ජයක්.

තරගාවලියේ දක්ෂතා දැක් වූ Teejay Lanka ක්‍රීඩකයෝ

තරගාවලියේ දක්ෂතා දැක් වූ Teejay Lanka පිතිකරුවන් අතුරින් පළමු ස්ථානයට පත් වෙන්නේ උදයංග මධුශංක. ඔහු තරග 7ක ඉනිම් 7ක දී ලකුණු 194ක් ලබා ගනිමින් මෙම ස්ථානයට පත් වෙනවා. ඔහුගේ ඉනිම් අතර ඇති ඉහළ ම ලකුණු සංඛ්‍යාව වන්නේ LOLC කණ්ඩායමට එරෙහිව පන්දු 62ක දී නොදැවී ලබා ගත් ලකුණු 66යි.

කෙසේ වෙතත් මෙම දක්ෂතාව තරගාවලියේ දක්ෂතා දැක් වූ පිතිකරුවන් අතුරින් ලැයිස්තු ගත වෙන්නේ 9 වැනි ස්ථානයටයි. එහි පළමු ස්ථානය George Steuart Health කණ්ඩායමේ ශලින් ද මෙල් සතු වුනා. පළමු පෙළ ක්‍රිකට් පිටියේ ද දක්ෂතා දක්වන ශලින් ද මෙල් මෙම තරගාවලියේ තරග 5ක දී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 302ක් ලබා ගත්තා.

Teejay Lanka දක්ෂතා දැක් වූ පිතිකරු ලැයිස්තුවේ 2 වැනි ස්ථානය සසිරි අදිකාරී සතු වෙනවා. ඔහු තරග 7ක දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 157ක් වන අතර ඊට Expo Lanka Freight කණ්ඩායමට එරෙහිව පන්දු 26ක දී වාර්තා කරන ලද ලකුණු 52ක් ද ඇතුලත්.

මෙම ලැයිස්තුවේ තෙවැනි ස්ථානය හිමි වෙන්නේ සචිත වික්‍රමසිංහට. ඔහු තරග 7ක දී ලකුණු 140ක් ලබා ගන්නවා. ඊට අමතර ව ප්‍රින්ස් කුමාරසිංහ ලකුණු 139ක් සහ නුවන් අලහකෝන් ලකුණු 127ක් ද ලබා ගනිමින් මෙම ලැයිස්තුව වර්ණවත් කළා.

පන්දු යැවීමේ දී Teejay Lanka ලැයිස්තුවේ පළමු ස්ථානය හිමි වූයේ අවසන් මහා තරගයේ ද වීරයා බවට පත් තාරක දිනේෂ්.

අවසන් මහා තරගයේ වීරයා තාරක දිනේෂ්

ඔහු මෙම තරගාවලියේ තරග 7ක දී කඩුලු 19ක් ලබා ගනිමින් මෙම පුටුවට හිමිකම් කී අතර තරගාවලියේ වැඩිම කඩුලුලාභියා ද වීමට ඔහු සමත් වෙනවා. තරගාවලියේ ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වෙන්නේ අවසන් මහා තරගයේ දී Abans Group කණ්ඩායමට එරෙහිව ලකුණු 34කට ලබා ගත් කඩුලු 4යි.

ඊට අමතර ව LOLC කණ්ඩායමට එරෙහිව ලකුණු 29කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දැක්වීමට ද ඔහු සමත් වුනා.

Teejay Lanka පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ 2 වැනි ස්ථානය සතු වෙන්නේ නාලක අමරකෝන්ට. ඔහු තරග 7ක දී ලබා ගන්නා ලද කඩුලු සංඛ්‍යාව 10ක්. ඒ අතර වන ඔහුගේ ඉහළ ම දක්ෂතාව වන්නේ පළමු වටයේ දී Abans Group කණ්ඩායමට එරෙහිව ලකුණු 30කට ලබා ගන්නා ලද කඩුලු 3යි. මෙම ලැයිස්තුවේ තෙවැනි ස්ථානය කඩුලු 6ක් බැගින් ලබා ගත් සචිත් වික්‍රමසිංහ සහ උදයංග මධුශංක සම ව බෙදා ගනිද්දී කඩුලු 5ක් ලබා ගත් හිමාෂ සස්මිත ද මෙම ලැයිස්තුවට එක් වුනා.

ජයග්‍රාහී Teejay Lanka කණ්ඩායමට ThePapare.com වෙතින් උණුසුම් සුබ පැතුම්!

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<