Dhoni IPL ගමනට ආයුබෝවන් කියන්න සූදානමින්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

2993
MS Dhoni

හිටපු ඉන්දීය නායකයෙකු මෙන්ම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුල Chennai Super Kings කණ්ඩායමේ නායකයා ද වන MS Dhoni එළඹෙන වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී නොවනු ඇති බව මීට පෙර බොහෝ දෙනාගේ මතය වී තිබුණා.

මේ පිළිබඳව MS Dhoni තවමත් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති නමුත් ඒ පිළිබඳව ඉඟියක් පලකරන ප්‍රකාශයක් පසුගිය දා සිදුකර තිබුණා. ඒ සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය ද සිය දැඩි අවධානය යොමු කර තිබුණා.

“ඔව් මම හිතන්නේ ඔබට මාව කහ පාට ජර්සියෙන් දකින්න පුළුවන් වේවි. ඒත් මම ක්‍රීඩකයෙක් විදිහට කණ්ඩායමට ක්‍රීඩා කරාවිද කියන එක ගැන තහවුරු කරන්න බැහැ. ඒක ගොඩක් අවිනිශ්චිත දෙයක් මේ වෙලාවේ හැටියට.

ඒකට මූලික හේතුව වෙන්නේ අපිට තවත් කණ්ඩායම් දෙකක් එකතු වෙන එක. අපි තාමත් දන්නේ නැහැ ඒකෙ දී ක්‍රීඩකයන් රඳවා ගැනීම පිළිබඳව තියන නීති රීති. අපි දන්නේ නැහැ විදෙස් ක්‍රීඩකයන් කීදෙනෙක් රඳවා ගන්න පුළුවන් ද කියලා.

ඒ වගේම කණ්ඩායමකට ක්‍රීඩකයන් මිල දී ගන්න හිමිවෙන මුදල ගැනත් අපි තාමත් දැනුවත් නැහැ. ඒ ගැන හරියටම දැනගන්න තුරු කණ්ඩායම තුළ යම් අවිනිශ්චිතභාවයක් තියනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ ගැන අවසන් තීරණයක් ඉක්මනින්ම ඒවි කියලා. ඒ වගේම ඒක හැමෝටම සාධාරණ එකක් වේවි කියලා බලාපොරොත්තු වෙනවා”, MS Dhoni පසුගිය දා තරගයට පෙර අදහස් දක්වමින් පවසා සිටියා.

MS Dhoniගේ මෙම ප්‍රකාශය පිළිබඳව ඉන්දීය මාධ්‍ය රැසක් වාර්තා කර තිබුණා. ඔවුන් පවසා සිටියේ Dhoni එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩකයෙකු ලෙස නොව පුහුණුකරුවෙකු ලෙස හෝ උපදේශකයකු ලෙස සහභාගී වීමට වැඩි අවස්ථාවක් ඇති බවයි.

මේ පිළිබඳව හිටපු ඕස්ට්‍රේලියා ක්‍රීඩකයෙකු සහ Chennai Super Kings ක්‍රීඩකයෙකු වූ Shane Watson ද අදහස් දක්වා සිටියා. ඔහු පවසා සිටියේ Dhoniගේ ප්‍රකාශය මඟින් 2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඔහුගේ අවසන් තරගාවලිය වනු ඇති බවට ඉඟි පළකරන බවයි.

Dhoniගේ ඒ පිළිතුර ඇහුවම මට හිතුණ දෙයක් තමයි ඒක ඔහු මට පසුගිය වසරේ දී දුන්න පිළිතුරට වඩා වෙනස් කියන එක. ඔහු ඒ වෙලාවේ විශ්වාසයෙන් කිව්වා ඔහු තවත් වසර කීපයක් ක්‍රීඩා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා. ඔහුගේ ප්‍රකාශයේ ඔහු කිව්වා මේ තත්ත්වය අවිනිශ්චිතයි, අපි බලමු වගේ දේවල්. මට හිතෙන්නේ ඔහුගේ ප්‍රකාශයෙන් කියැවෙන්නේ ඔහු එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩකයෙකු විදිහට දකින්න නොලැබේවි කියලා. උපදේශකයකු ලෙස ඔහු කණ්ඩායමට එක්වේවි. ඒක ලොකු වගකීමක් විදිහට මම දකිනවා”, Star Sports සමඟින් අදහස් දක්වමින් Shane Watson පවසා තිබුණා.

මෙම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය Dhoniගේ අවසන් තරගාවලිය වනු ඇති බවට හේතු සපයන සාධක කීපයක් ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා. එහි දී 2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වෙන කාලය වන විට Dhoniගේ වයස අවුරුදු 41ක් වී තිබීම මූලික හේතුවක් ලෙස දක්වා තිබුණා. එමෙන්ම එළඹෙන වසර සඳහා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රධාන වෙන්දේසියක් පැවැත්වීමට නියමිතව තිබීම ද තවත් එක් හේතුවක්. නව කණ්ඩායම් දෙකක් එක්වීමත් ඒ හා සම්බන්ධ නීතිරීති නිසාත් Chennai Super Kings කණ්ඩායමට MS Dhoni රඳවා ගැනීමේ හැකියාව ද තරමක අවිනිශ්චිතව තිබෙනවා.

මේ හේතු නිසාවෙන් MS Dhoni සඳහන් කළ කරුණු යම්තාක් දුරකට සත්‍ය වීමට වැඩි ඉඩක් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගී වන ඉන්දීය කණ්ඩායමේ උපදේශකවරයා ලෙසද MS Dhoni පත්කිරිමට ඉන්දීය ක්‍රිකට් ආයතනය පසුගිය දා තීරණය කළා. මේ නිසා එළඹෙන වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා උපදේශකවරයෙකු ලෙස කටයුතු කිරීමට MS Dhoni හැකිවනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

MS Dhoni මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී එතරම් සාර්ථක නොවූවත් Chennai Super Kings කණ්ඩායම අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන්කර ගැනීමට සමත්ව සිටිනවා.

Hindustan Times ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<