රාජ්‍ය සේවා E ශූරතාව නුවර පොලීසියට

198

රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් රාජ්‍ය ආයතනය පන්දුවාර 40 E කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුවේ මහනුවර පොලිස් ක්‍රිකට් කණ්ඩායම සමත් වූවා.

රාජ්‍ය සේවා ක්‍රිකට් කණ්ඩායම් 8ක් අතර පැවැති මෙම තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත් පොලිස් ක්‍රීඩකයෝ පළමු වටය අවසන් කරන්නේ සිවු වැනි ස්ථානයේ සිටිමින් වන අතර දකුණු පළාත් කණ්ඩායම 2 වැනි ස්ථානයට පත් වෙමින් පළමු වටය අවසන් කරනවා.

ඒ අනුව ජයග්‍රාහී පොලිස් ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයේ දී ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය හිමිකර ගත් මිනින්දෝරු දෙපාර්තමේන්තු කණ්ඩායමට එරෙහිව ලකුණු 59ක ජයග්‍රහණයක් ලබා ගනිමින් ද සහ දකුණු පළාත් ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු පුවරුවේ දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශ ක්‍රීඩකයන්ට එරෙහිව ලකුණු 137ක ජයග්‍රහණයක් ද ලබා ගනිමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගත් පොලිස් දෙපාර්තමේන්තු ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 181ක් පමණයි. පිළිතුරු ඉනිම හඹා යෑමේ දී දකුණු පළාත් කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 176ක් පමණයි.

ඒ අනුව අවසන් මහා තරගයෙන් ලකුණු 5ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට පොලිස් දෙපාර්තමේන්තු කණ්ඩායම සමත් වූවා.

පොලිස් කණ්ඩායමේ ජයග්‍රාහී ගමන් මඟ
1 රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තරගයේ විසඳුමක් නෑ.
2 දකුණු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මහනුවර පොලිස් කණ්ඩායමට ලකුණු 132ක ජයක්.
3 දකුණු පළාත දකුණු පළාතට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 40ක ජයක්.
4 මිනින්දෝරු දෙපාර්තමේන්තුව තරගයේ විසඳුමක් නෑ.
5 සංස්කෘතික දෙපාර්තමේන්තුව මහනුවර පොලිස් කණ්ඩායමට ලකුණු 131ක ජයක්.
6 කලා විශ්වවිද්‍යාලය තරගයේ විසඳුමක් නෑ.
7 මුදල් අමාත්‍යාංශය තරගයේ විසඳුමක් නෑ.
අවසන් පූර්ව තරගය
8 මිනින්දෝරු දෙපාර්තුමේන්තුව මහනුවර පොලිස් කණ්ඩායමට ලකුණු 59ක ජයක්.
අවසන් මහා තරගය
9 දකුණු පළාත මහනුවර පොලිස් කණ්ඩායමට ලකුණු 5ක ජයක්.

මහනුවර පොලිස් ක්‍රිකට් කණ්ඩායම:

අරුණ ක්‍රිශාන්ත (නායක), එම්. ඉලුක්කුඹුර (කඩුලු රකින්නා), සම්පත් කඩවතගේ, සමිත් වීරසිංහ, හර්ෂ පෙරේරා, වරුණ තෙන්නකෝන්, ජී. වීරසිංහ, ශෙහාන් නිමන්ත,  දිනේෂ් ජයරත්න, ඉන්දික බණ්ඩාර, ප්‍රභාත් ගුණතිලක.

ඉන්දික යාපා බණ්ඩාර (ප්‍රධාන පුහුණුකරු)

දකුණු පළාත් ක්‍රිකට් කණ්ඩායම:

ධනුශ්ක නානායක්කාර (නායක), සුභාෂ් වෙල්ලප්පුලි (කඩුලු රකින්නා), ලහිරු උදයංග, චමිල මධුරංග, ඩිවෙන්ස් ද සිල්වා, ඩිලාන් උදයමාල්, ප්‍රසන්න නෙරංජන්, රුමේෂ් චානක, මෝදිත ටිශාන්, නාමල් මධුශංක, ගයාන් දිනූෂ.

අවසන් මහා තරගයේ දී පොලිස් කණ්ඩායමේ ජී. වීරසිංහ පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 78ක් ලබා ගැනීමට සමත් වූ අතර ප්‍රතිවාදී දකුණු පළාත් කණ්ඩායම වෙනුවෙන් ඩිලාන් උදයමාල් පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 60ක් ලබා ගැනීමට සමත් වූවා.

පන්දු යැවීමේ දී තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ දකුණු පළාත් කණ්ඩායමේ රුමේෂ් චානක. ඔහු ලකුණු 19කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූවා.

පළමු වටයේ දී ද මෙම කණ්ඩායම් 2 එකිනෙකා හමු වූ අතර එම තරගයෙන් දකුණු පළාත් කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 40ක ජයග්‍රහණයක් හිමි වුනා.

අවසන් මහා තරගය, රත්මලාන, 23 ජනවාරි 2024, SLSSCA Annual Cricket Tournament

o ක්‍රීඩාංගණය – ජාතික සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණය, රත්මලාන

o කාසියේ වාසිය – පොලිස් දෙපාර්තමේන්තුව

මහනුවර පොලිස් කණ්ඩායම – සියලුම දෙනා දැවී 181 (32.5) හර්ෂ පෙරේරා 43, ජී. වීරසිංහ නොදැවී 78, රුමේෂ් චානක 4/19, ඩිලාන් උදයමාල් 2/25, ප්‍රසන්න නෙරංජන් 2/49

දකුණු පළාත් කණ්ඩායම – කඩුලු 8ක් දැවී 176 (40.0) චමිල මධුරංග 36, ඩිලාන් උදයමාල් 60, නාමල් මධුශංක නොදැවී 27, ඉන්දික බණ්ඩාර 2/56, දිනේෂ් ජයරත්න 2/25, අරුණ ක්‍රිශාන්ත 2/25

පොලිස් දෙපාර්තමේන්තු කණ්ඩායමට ලකුණු 5ක ජයක්.

තරගාවලියේ දක්ෂතම පිතිකරුවන්

තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වූයේ දකුණු පළාත් කණ්ඩායම නියෝජනය කළ ඩිලාන් උදයමාල්. අවසන් මහා තරගයේ දී ද අර්ධ ශතකයක් වාර්තා කරන ඔහු තරග 9ක ඉනිම් 9ක දී වාර්තා කරන ලද ලකුණු සංඛ්‍යාව 366ක්. එහි සාමාන්‍ය 52.29ක් ගත්තා.

මේ ලකුණු අතරට සංස්කෘතික දෙපාර්තමේන්තුවට එරෙහිව පන්දු 90ක දී නොදැවී ලබා ගත් ලකුණු 103ක් සහ කලා විශ්වවිද්‍යාලයට එරෙහිව පන්දු 62ක දී නොදැවී ලබා ගත් ලකුණු 102ක් ද ඇතුලත්.

මෙම ලැයිස්තුවේ 2 වැනි ස්ථානය සතු වූයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ධනුශ්ක බණ්ඩාර. ඔහු තරග 8ක ඉනිම් 7ක දී ලකුණු 355ක් ලබා ගන්නේ තරගයක සාමාන්‍ය 59.17ක් ලෙසින් පවත්වා ගනිමිනුයි.

ඔහුගේ ලකුණු අතර කලා විශ්වවිද්‍යාලයට එරෙහිව පන්දු 112ක දී ලබා ගන්නා ලද ලකුණු 117ක් ද ඇතුලත්. එය මෙවර තරගාවලියේ පිතිකරුවෙක් පෞද්ගලිකව ඉනිමක දී ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුනා. ඊට අමතර ව ඔහු මුදල් අමාත්‍යාංශයට එරෙහිව නොදැවී ලකුණු 98ක් ද සහ අවසන් පූර්ව වටයේ දී මහනුවර පොලිස් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ලකුණු 58ක් ද ලබා ගන්නවා.

තරගාවලියට තෙවැනියට වැඩිම ලකුණු වාර්තා කළ පිතිකරු වූයේ දකුණු පළාත් කණ්ඩායමේ සුභාෂ් වෙල්ලප්පුලි. ඔහු තරග 9ක ඉනිම 9ක දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 311ක් ලබා ගන්නා ලද අතර ඔහුගේ හොඳම ඉනිම බවට පත් වූයේ කලා විශ්වවිද්‍යාලයට එරෙහිව පන්දු 59ක දී ලබා ගන්නා ලද ලකුණු 68යි.

මෙම ලැයිස්තුවට ජයග්‍රාහී මහනුවර පොලිස් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ලෙසින් පළමුවෙන් ම එක් වෙන්නේ හර්ෂ පෙරේරා. ඔහුට හිමි වන්නේ 6 වැනි ස්ථානයයි. තරග 8ක ඉනිම් 7ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 266ක් ලබා ගනිමින් ඔහු මෙම ලැයිස්තුව හා එක් වුනා. ඔහුගේ හොඳම ඉනිම බවට පත් වූයේ සංස්කෘතික දෙපාර්තමේන්තුවට එරෙහිව පන්දු 69කට මුහුණ දී ලබා ගන්නා ලද ලකුණු 82යි.

තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නන්

තරගාවලියේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නා තෝරා ගැනීමේ දී සිවු දෙනෙක් ම කඩුලු 14 බැගින් ලබා ගනිමින් දක්ෂතා දැක්වීම කැපී පෙණුනා.

ඒ අතුරින් පළමු තැනට පත් වූයේ ජයග්‍රාහී මහනුවර පොලිස් කණ්ඩායමේ ශෙහාන් නිමන්ත. ඔහු තරග 8ක ඉනිම් 6ක පන්දුවාර 37.4ක් යවමින් නිලකුණු පන්දුවාර 8ක් ද සමඟින් ලකුණු 131කට මෙම දක්ෂතාව සිදු කරමින් කඩුලුලාභීන්ගේ ලැයිස්තුවේ පෙරමුණ ගන්නවා.

ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වූයේ දකුණු පළාත් කණ්ඩායමට එරෙහිව පළමු වටයේ දී පැවැති තරගයේ දී ලකුණු 18කට දවා ගත් කඩුලු 5යි.

මෙම ලැයිස්තුවේ 2 වැනි ස්ථානයේ සිට සිව් වැනි ස්ථානය දක්වා වූ ස්ථාන 3ම හිමිකරුවන් බවට පත්වෙන්නේ දකුණු පළාත් කණ්ඩායමේ පන්දු යවන්නෝයි.

ඔවුන් අතුරින් ඉදිරියෙන් ම සිටින්නේ රුමේෂ් චානක. ඔහු තරග 7ක ඉනිම් 7ක දී පන්දුවාර 48.5ක් යවමින් මෙම දක්ෂතාව සිදු කරන අතර ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වෙන්නේ අවසන් මහා තරගයේ දී මහනුවර පොලිස් කණ්ඩායමට එරෙහිව ලකුණු 19කට දවා ගන්නා ලද කඩුලු 4යි.

අනතුරු ව ඩිලාන් උදයමාල් සහ ලහිරු උදයංග ද පිළිවෙළින් මෙම ලැයිස්තුව හා එක් වෙනවා. මේ අතුරින් ඩිලාන් උදයමාල් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට එරෙහිව පන්දුවාර 7.2ක් යවමින් නිලකුණු පන්දුවාර 4ක් ද සමඟින් ලකුණු 9කට කඩුලු 6ක් දවා ගන්නා ලද අතර එය ඔහුගේ මෙන් ම මෙම තරගාවලියේ ද පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතාව බවට පත් වුනා.

පන්දු යවන්නෙක්ට අමතර ව පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දැක් වූ ඩිලාන් උදයමාල් එම ලැයිස්තුවේ පළමු වැනියා ද වීමට සමත් වූවා.

ලහිරු උදයංග, පළමු වටයේ දී මහනුවර පොලිස් කණ්ඩායමට එරෙහි ව ලකුණු 30කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක්වීමට සමත් වූවා.

මෙම ලැයිස්තුවේ 5 වැනි ස්ථානය හිමි වෙන්නේ මුදල් අමාත්‍යංශයේ තුශාර ලක්ෂිත. ඔහු තරග 7ක ඉනිම් 6ක දී ලබා ගන්නා ලද කඩුලු සංඛ්‍යාව 13ක්. ඒ අතර වන හොඳම දක්ෂතාව බවට පත් වුයේ සංස්කෘතික අමාත්‍යංශයට එරෙහිව ලකුණු 11කට දවා ගත් කඩුලු 6යි.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<