තෙවැනි කොටසේ ශූරතාව Alumni ක්‍රීඩකයන්ට

Colombo District Division III Tournament

758
Colombo District Division III

ශ්‍රී ලංකා ක්‍රිකට් හා අනුබද්ධ කොළඹ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් ක්‍රීඩා සමාජ තෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට UOC Alumni ක්‍රිකට් කණ්ඩායම සමත් වූවා.  

කොළඹ 07, NCC ක්‍රීඩාංගණයේ දී පැවැති අවසන් මහා තරගයේ ප්‍රතිවාදීන් වූයේ Piliyandala Vision කණ්ඩායමයි. ඔවුන්ට එරෙහිව ලකුණු 24ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Alumni ක්‍රිකට් ක්‍රීඩකයෝ සමත් වූවා.  

Piliyandala Vision ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයේ දී OTSC කණ්ඩායමට එරෙහිව කඩුලු 7කින් ජයග්‍රහණය කරමින් ද සහ Alumni ක්‍රිකට් ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයේ දී Lion Warriors කණ්ඩායමට එරෙහිව ලකුණු 82ක ජයග්‍රහණයක් ලබා ගනිමින් ද අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.  

UOC Alumni ක්‍රිකට් කණ්ඩායම 

රොෂාන් ඩාලින් (නායක), ඩැනියෙල් අශාන්, වසන්තන් ජයතුශාන්, චරිත් හෙන්දවිතාරණ, උදාර පීරිස්, තරණ රවිඳු, පූජිත උඩුවන, අංජන ලියනගේ (කඩුලු රකින්නා), මහේල ද සිල්වා, ගිම්හාන් හෙට්ටිආරච්චි, රජීව් වේදාචලම්. 

Piliyandala Vision ක්‍රිකට් කණ්ඩායම 

තරිඳු ප්‍රමෝද් (නායක), ඒශාන් ගීතාංජන, නලින් කොඩිකාර, චානුක දේවින්ද (කඩුලු රකින්නා), හේශාන් ජයාංග, චානක ඩිල්ශාන්, මාලිංග කුමාරගේ, චෙනුල ප්‍රනාන්දු, දේවක දාබරේ, සංජය ධනුශ්ක, කවීශ් මධුශංක. 

කාසියේ වාසිය දිනා ගත් Piliyandala Vision කණ්ඩායමේ නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Alumni ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 201ක් ලබා ගත්තේ ආරම්භක පිතිකරුවන්ගේ සාර්ථක ආරම්භයත් සමඟිනුයි.  

ඉනිම ආරම්භ කළ ඩැනියෙල් අශාන් පන්දු 132කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 53ක් ලබා ගනිද්දී, අනෙක් ආරම්භක පිතිකරු වසන්තන් ජයතුශාන් පන්දු 28ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තා.  

අනතුරු ව මැදි පෙළින් පිටියට පිවිසි පූජිත උඩුවන පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 49ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී දේවක දාබරේ ලකුණු 43කට කඩුලු 5ක් දවා ගනිමින් තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඒශාන් ගීතාංජන ද කඩුලු 2ක් දවා ගත්තා. 

ලකුණු 202ක ඉලක්කයක් සපුරා ගැනීම වෙනුවෙන් පිටියට පිවිසි Piliyandala Vision ක්‍රීඩකයන්ගේ පළමු කඩුලු 6, පන්දු වාර 15ක් පැමිණීමටත් පෙර නැවත හරවා යැවීමට Alumni පන්දු යවන්නෝ සමත් වූවා. ඒ අනුව ඔවුන්ගේ ඉනිම ලකුණු 36කට කඩුලු 6ක් ලෙස දැක් වුණා.  

මේ වෙද්දීත් ඉනිම ආරම්භ කළ ඒශාන් ගීතාංන එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් පිටියේ නොදැවී රැදී සිටියා. ඔහු 7 වැනි කඩුල්ල වෙනුවෙන් දේවක දාබරේ (29) සමඟ එක් වෙමින් ලකුණු 44ක සබඳතාවක් එක් කළා. 

 ඊට පසුව 8 වැනි කඩුල්ලට ද නායක තරිඳු ප්‍රමෝද් සමඟ එක් වෙමින් ලකුණු 83ක සබඳතාවක් එක් කළා. තරිඳු ප්‍රමෝද් පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 42ක් ලබා ගනිද්දී ඒශාන් ගීතාංජන අවසන් කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 125කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 65ක් ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී වසන්තන් ජයතූශන් ලකුණු 29කට කඩුලු 4ක් දවා ගත් අතර තරණ රවිඳු කඩුලු 2ක් දවා ගත්තා. ඊට අමතර ව මහේල ද සිල්වා, පූජිත උඩුවන, රොශාන් ඩාලින් සහ උදාර පීරිස් කඩුල්ල බැගින් බෙදා ගත්තා.   

අවසන් මහා තරගය, රත්මලාන, 25 ජනවාරි 2024, Colombo District Division III Tournament 

  • ක්‍රීඩාංගණය – NCC, කොළඹ 07. 
  • කාසියේ වාසිය – Piliyandala Vision CC 

UOC Alumni CC – සියලුම දෙනා දැවී 201 (48.5) ඩැනියෙල් අශාන් 53, වසන්තන් ජතුශාන් 20, රොෂාන් ඩාලින් 23, පුචිත උඩුවන 49, ඒශාන් ගීතාංජන 2/18, දේවක දාබරේ 5/43 

Piliyandala Vision CC – සියලුම දෙනා දැවී 177 (49.1) ඒශාන් ගීතාංජන 65, දේවක දාබරේ 29, තරණ රවිඳු 2/05, වසන්ත ජතුශාන් 4/29 

UOC Alumni CC කණ්ඩායමට ලකුණු 24ක ජයක්.  

තරගාවලියේ දක්ෂතා දැක් වූ පිතිකරුවෝ 

තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු බවට පත් වුණේ තරග 12ක ඉනිම් 11ක දී ශතක 2ක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 458ක් ලබා ගත් Alumni කණ්ඩායමේ උදාර පීරිස්.  

ඔහුගේ හොඳම ඉනිම බවට පත් වූයේ Katubedda ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පන්දු 73ක දී වාර්තා කරන ලද ලකුණු 104යි. ඊට අමතර ව Victory කණ්ඩායමට එරෙහිව ද පන්දු 96ක දී නොදැවී ලකුණු 102ක් ලබා ගැනීමට ඔහු සමත් වූවා.  

මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය Unichela කණ්ඩායම නියෝජනය කළ රමිත් ගුණරත්න සතු වුනා. ඔහු තරග 9ක ඉනිම් 9ක දී ලකුණු 444ක් ලබා ගනිමින් මෙම ස්ථානය තහවුරු කර ගන්නා ලද අතර ඊට SA Cricket කණ්ඩායමට එරෙහිව පන්දු 68කට මුහුණ දෙමින් ලබා ගන්නා ලද ලකුණු 136ක් සහ St. Joseph ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ලබා ගන්නා ලද ලකුණු 120ක් ද ඇතුලත්.  

තරග 8ක ඉනිම් 8ක දී ශතකය 2ක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 425ක් ලබා ගත් OTSC ක්‍රිකට් කණ්ඩායමේ බානුක අදීශ මෙම ලැයිස්තුවේ තෙවැනියා බවට පත් වුනා.  

තරගාවලියේ හොඳම ඉනිම වාර්තා කළ ගෞරවය හිමි වූයේ Bloomfield කණ්ඩායම නියෝජනය කළ ඉන්දික ද සේරම් වෙතයි. ඔහු Vidyodaya ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පන්දු 144කට මුහුණ දෙමින් හතරේ පහර 22ක් සහ හයේ පහර 11ක් සමඟින් ලකුණු 229ක් ලබා ගන්නවා. ඔහු මෙම තරගාවලියේ තරග 3කට පමණක් සහභාගී වෙමින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 324ක් වූ එහි සාමාන්‍ය දැක් වුණේ 162.00ක් ලෙසයි. 

තරගාවලියේ දක්ෂතා දැක් වූ පන්දු යවන්නෝ 

තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වූයේ  Alumni ක්‍රිකට් කණ්ඩායමේ වසන්තන් ජතූශන්. ඔහු ලබා ගත් කඩුලු සංඛ්‍යාව 28ක්. ඒ අතර ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වූයේ Nomads කණ්ඩායමට එරෙහිව ලකුණු 31කට ලබා ගන්නා ලද කඩුලු 6යි.  

ඊට අමතර ව ඔහු Lion Warriors කණ්ඩායමට එරෙහිව ලකුණු 29කට කඩුලු 5ක් ද සහ Tea Traders කණ්ඩායමට සහ අවසන් මහා තරගයේ දී Piliyandala Vision කණ්ඩායමට එරෙහිව කඩුලු 4 බැගින් ද දවා ගත්තා.  

එම ලැයිස්තුවේ 2 වැනි ස්ථානය ද එම කණ්ඩායමේ ම පුජිත උඩුවන සතු වුනා. ඔහු ලබා ගත් කඩුලු සංඛ්‍යාව 25ක් වූ අතර ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වූයේ Uni Moratuwa කණ්ඩායමට එරෙහිව ලකුණු 35කට දවා ගත් කඩුලු 5යි.  

Peterson කණ්ඩායමේ රන්දික ද අල්විස් මෙම ලැයිස්තුවේ තෙවැනි ස්ථානයට පත් වූවා. ඔහු කඩුලු සංඛ්‍යාව 22ක් ලබා ගනිමින් මෙම ස්ථානය තහවුරු කර ගත් අතර S. K. Cricket කණ්ඩායමට එරෙහිව ලකුණු 38කට දවාගත් කඩුලු 6 ඔහුගේ හොඳම පන්දු යැවීමයි.  

මේ අතර තරගාවලියේ හොඳම පන්දු යැවීමේ ගෞරවය හිමි කර ගන්නේ Memon ක්‍රිකට් කණ්ඩායමේ සුබායිර් හුසේන්. ඔහු තරගාවලියේ දී තරග 6ක දී කඩුල 19ක් දවා ගන්නා ලද අතර හොඳම පන්දු යැවීම ලෙසින් Moratuwa Super Kings කණ්ඩායමට එරෙහිව පන්දුවාර 6.1ක දී නිලකුණු පන්දුවාරයක් ද සමඟින් ලකුණු 16කට දවා ගත් කඩුලු 8යි.Colombo District Division III

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<