මවුබිම වෙනුවෙන් වෙස් මුහුණු ලූ මිනිසා!

FIFA world cup 2022

3231
AL RAYYAN, QATAR - NOVEMBER 24: Son Heung-Min of Korea Republic during the FIFA World Cup Qatar 2022 Group H match between Uruguay and Korea Republic at Education City Stadium on November 24, 2022 in Al Rayyan, Qatar. (Photo by Alex Livesey - Danehouse/Getty Images)

මෙවර පාපන්දු ලෝක කුසලානයේ කිසියම් පෙරළියක් කිරීමට දකුණු කොරියානු පාපන්දු කණ්ඩායමට අවශ්‍ය වේ නම් ඒ සඳහා ඔවුන් සතුව සිටින හොඳම තුරුම්පුව වන Heung-min Sonගේ සහය දකුණු කොරියාවට අත්‍යාවශ්‍ය වනවා.

Tottenham ක්‍රීඩා සමාජය සමග ඉතා සාර්ථක ක්‍රීඩා සමයන් කිහිපයක් ම පසුකර ගෙන ආ Son විසින් දකුණු කොරියානු ජාතික කණ්ඩායම නියෝජනය කරමින් පාපන්දු ලෝක කුසලානයකට එකතු වන්නේ තුන් වන වරටයි.

මේ වන විට තිස් හැවිරිදි වියේ පසු වන මෙම දකුණු කොරියානුවා මෙවර පාපන්දු ලෝක කුසලානයේ සිය ප්‍රථම තරගයට (උරුගුවේ කණ්ඩායම සමඟ) සහභාගී වූයේ මුහුණු ආවරණයක් පැලඳ ගනිමින් වන අතර, ඔහු මූලික වටයේ සිය ඉදිරි තරග දෙක සඳහා ද (ඝානා සහ පෘතුගාල කණ්ඩායම් සමඟ) එම මුහුණු ආවරණය පලඳිනු ඇති බව වාර්තා වෙනවා.

එය නවමු විලාසිතාවක් මෙන් දිස් වුවත්, ඇත්තටම එය විලාසිතාවක් ම නොවන බවයි විදෙස් මාධ්‍ය මගින් වාර්තා කරන්නේ.

Son විසින් පලඳින වෙස් මුහුණෙන් සැඟවුණු සැබෑ කතාව මොකද්ද?

පාපන්දු තරගයක් අතරතුර මුහුණේ ඇතිවූ තුවාලයක් (අස්ථි බිඳීමක් – facial fracture) නිසා ඔහු විසින් මෙම මුහුණු ආවරණය පලඳින බවයි දැන ගන්නට ලැබෙන්නේ.

එම තුවාලයෙන් පසුව මුහුණේ ඇති වී ඇති ආසාදන තත්වය තවත් උත්සන්න නොවීම සඳහාත්, මුහුණේ අස්ථි ආරක්ෂා කර ගැනීම සඳහාත් ආරක්ෂක උපක්‍රමයක් ලෙස Son විසින් මෙම මුහුණු ආවරණය නිර්මාණය කර ගෙන තිබෙනවා.

එමගින් මෙම ආබාධය නිසා සිය ඉදිරි තරගවලට බාධාවක් සිදු වීමට ඇති ඉඩ අවම කර ගැනීමට Son හට අවස්ථාවක් හිමි වනවා.

පසුගිය නොවැම්බරයේ Marseille කණ්ඩායමට එරෙහිව පැවති තරගයක දී Tottenham වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටි Son  සහ Chancel Mbemba අතර සිදු වූ ගැටීමකින් Sonගේ ඇස ආශ්‍රිත පෙදෙසේ අස්ථි බිඳීමක් සිදු වුනා.

ඉන්පසු එම ආබාධය සුව කිරීමට නම් ඒ වෙනුවෙන් ශල්‍යකර්මයක් සිදු කිරීම අවශ්‍ය බව දැන ගන්නට ලැබුණු අතර, එසේ වුවහොත් ඔහුට මෙවර පාපන්දු ලෝක කුසලානය මග හැරී යාමේ අවදානමක් මතු වුනා.

Heung-Min Sonගේ වම් ඇස පෙදෙසේ ඇති වූ අස්ථි බිඳීම සඳහා ශල්‍යකර්මයක් සිදු කළ යුතු අතර, එම ශල්‍යකර්මයෙන් අනතුරුව ඔහු අපගේ වෛද්‍ය කාර්‍ය මණ්ඩලය මගින් ඉදිරි ප්‍රතිකාර ලබනු ඇත.”

සිදුවීමෙන් අනතුරුව Tottenham මගින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා.

එය Son පිළිබඳ දහසක් බලාපොරොත්තු තබා සිටි දකුණු කොරියානු ප්‍රේක්ෂකයින්ට නම් ඒ තරම් සුභදායී ආරංචියක් වුනේ නැහැ.

නමුත් දින කිහිපයකට පසුව Son විසින් සිය දකුණු කොරියානු රසිකයින් වෙත සුඛ ආරංචියක් ගෙන එමින් පවසා තිබුණේ,

“ලෝක කුසලානයක දී තමන්ගේ රට නියෝජනය කිරීමට ලැබීම කුඩා කල පටන් ම බොහෝ දරුවන්ගේ සිහිනයක්, මටත් ඒ වගේමයි.

මම මෙය මග හැර ගන්නේ නැහැ, මට මගේ ලස්සන රට නියෝජනය කරන තෙක් ඉවසිල්ලක් නැහැ. ඉක්මනින් මුණ ගැසෙමු,” යනුවෙනුයි.

Son විසින් පලඳින වෙස් මුහුණේ නිධාන කතාව එසේ වන අතර, එහි අනාගත කතාව ඉදිරි තරග දෙකේ දී විසඳෙනු ඇත.

Son ගේ එම කැපවීමට උපහාර පිදීමක් ලෙස ඊයේ (24) උරුගුවේ සමඟ තරගය නැරඹීමට පැමිණි වූ දකුණු කොරියානු ප්‍රේක්ෂකයින් පිරිසක් Sonගේ මුහුණු ආවරණයේ ලෙසට ම මුහුණු ආවරණ පැලඳ සිටිනු දකින්න ලැබුණා.

එමෙන්ම මෙම මුහුණු ආවරණ පැලඳීම පාපන්දු ක්‍රීඩාවට එතරම් ම අමුතු සිදු වීමක් නම් නොවෙයි.

2022 යුරෝ කුසලානය වෙනුවෙන් ජර්මානු ක්‍රීඩක Antonio Rudiger විසින් මෙලෙස මුහුණු ආවරණයක් පැලඳි අතර, Pierre-Emerick Aubameyang විසින් පසුගිය සැප්තැම්බරයේ දී මෙවැන්නක් භාවිත කර තිබුණා.

නමුත් Son විසින් සිය රට වෙනුවෙන් මෙසේ මුහුණු ආවරණයක් පැලඳීම ඔහුගේ රට වැසියන්ගේ නොමද ගෞරවයට පාත්‍ර වීම මගින් මෙම වෙස් මුහුණට තවත් වටිනාකමක් එක් කරන්නට සමත් වුනා.

මෙවර පාපන්දු ලෝක කුසලානයේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Goal වෙබ් පිටුව ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<