අහස තරණය කළ රුසියන් කිරිල්ලිය

213

2008 අගෝස්තු 18 වැනිදා සවස් වරුව චීනයේ බීජිං නුවර Bird’s Nest ක්‍රීඩාංගණය පුරා පිරිලා හිටපු ලක්ෂයකට ආසන්න ප්‍රේක්ෂකයින්ට කිසිදා අමතක නොවෙන මතකයක් බවට පත් කරවන්න රුසියානු ක්‍රීඩිකාවක් සමත් වෙනවා.

ඇය නමින් Yelena Isinbayeva!

Yelenaට තිබුණා ටිකක් පුදුම හිතෙන විදිහේ පුරුද්දක්. ඒ තමයි තමන්ගේ ක්‍රීඩා ඉසව්වෙන් ලෝක වාර්තා තියන එක. වතාවක් දෙවතාවක් නෙවෙයි, 28 වතාවක් ඇය විසින් කාන්තා රිටි පැනීමේ ලෝක වාර්තාව අලුත් කරනවා.

ඇයගේ ආරම්භක කාලයේ නම් තනියට තමන්ගේ මව් රට වුන රුසියාව විසින්ම බිහි කරපු තවත් රිටි පැනීමේ ලෝක ශූරියක් වුන Svetlana Feofanovaගෙන් යම් තර්ජනයක් එල්ල වුනා. නමුත් 2005 වසරෙන් පමණ පසුව රිටි පැනීම කියන ඉසව්ව සම්පූර්ණයෙන්ම තමන්ගේ නම ඉදිරියෙන් ලියා ගන්න ඇය සමත් වුනා.

වර්තමානයේ ලෝක මලල ක්‍රීඩාව ගැන අවධානය යොමුකර ගෙන ඉන්න කෙනෙකුට Armand Duplantis කියන නම් තරමක් හුරු පුරුදු එකක් විය යුතුයි. ඔහු තමයි වත්මන් පිරිමි රිටි පැනීමේ ඉසව්වේ ලෝක වගේම ඔලිම්පික් ශූරයා වෙන්නෙත්. ඔහු මේ වෙද්දී හය වතාවත් රිටි පැනීමේ ලෝක වාර්තාව අලුත් කරන්න සමත් වෙලා තියෙනවා.

නමුත් රිටි පැනීමේ ඉතිහාසය දිහා හැරිලා බැලුවහම Duplantisට තව සෑහෙන්න දුරක් යන්න තියෙනවා කියලා හිතෙන එක නවත්වන්න බැහැ. මොකද රිටි පැනීමේ ඉසව්වේ ලෝක වාර්තාව 35 වතාවක් අලුත් කරපු යුක්‍රේනයේ Sergey Bubka ගැන තවමත් ඉතිහාසයට මතක නිසා.

Bubka කියන්නේ රිටි පැනීමේ ඉසව්වේ රජු! එතකොට රිටි පැනීමේ ඉසව්වට ඔබ රැජිණක් හොයනවා නම් මෙන්න අපිට ඉන්නවා රජුට තරම්ම පිළිගැනීමක් ලැබිය යුතු කාන්තාවක්. ඇය තමයි අපේ කතා නායිකාව Yelena Isinbayeva.

සමහර තැන්වල දී Yelenaව The Lady Bubka විදිහට හඳුන්වලා දෙන්නෙත් මේ හේතුව නිසාම වෙන්න ඇති.

” එයා විශේෂ කෙනෙක්! එයා ගොඩක් හොඳ ශක්‍යතාවක් තියෙන දක්ෂ මලල ක්‍රීඩිකාවක්.”

Bubka විසින් Yelenaව හඳුනා ගන්නේ ඒ විදිහට.

Bubka ඇයට ඉතාම හොඳ අනාගතයක් තියේවී කියලා විශ්වාසය පළ කරන්නේ 2004 වසරේ දී විතර. ඒ වෙද්දී Yelena ඉන්නෙත් ලිපියේ පෙර සඳහන් කළ Duplantisගේ මට්ටමේ කීව්වොත් වැරදි නැහැ. ඔලිම්පික් පදක්කමක් එක්ක ලෝක වාර්තාව කිහිප වරක්ම අලුත් කරන්න ඇය සමත් වුනත් ඇයගේ අනාගතය කොහොම වේවි ද, ඇය තමන්ගේ රිට සමඟ මොන වගේ උපරිම උසක් තරණය කරාවි ද කියන ගැටලු අනාගතය වෙනුවෙන් වෙලා තිබුණා.

Yelena විසින් රිටි පැනීමේ ඉසව්ව තෝර ගන්නේ ඊට පෙර ඇයගේ ක්‍රීඩා ඉසව්ව වුන ජිම්නාස්ටික් ක්‍රීඩාවට අවශ්‍ය තරටම වඩා ඇය උස යන්න පටන් ගත්තු නිසා. කොහොම වෙතත් ජිම්නාස්ටික් වලින් රිටි පැනීමට මාරු වුන Yelena මාස පහක් හයක් ගත වෙද්දීම තමන්ගේ ඉසව්ව ඇතුළේ කැපී පෙනෙන දස්කම් පෙන්වන්න සමත් වෙනවා.

වයස අවුරුදු 21ක් වෙද්දී, ඒ කියන්නේ 2003 වසරේ දී තමයි Yelena විසින් තමන්ගේ පළවෙනි රිටි පැනීමේ ලෝක වාර්තාව පිහිටුවන්නේ.

එතැන් සිට මේ රුසියානු කිරිල්ලිය තමන්ගේ පියාසැරිය ආරම්භ කරනවා.

2005 කියන්නේ Isinbayevaගේ වගේම කාන්තා රිටි පැනීමේ ඉසව්වෙත් අමරණීය ම වසරක්.

Bubkaව පිරිමි රිටි පැනීමේ ඉසව්වේ පතාක යෝධයෙක් විදිහට හඳුන්වා දෙන්න එකම හේතුව ඔහු තමන්ගේ ඉසව්වේ ලෝක වාර්තාව 35 වතාවක් අලුත් කරපු එක විතරක් ම නෙවෙයි.

1985 ජූලි මාසේ 13 වැනිදා ඔහු විසින් පිරිමි රිටි පැනීමේ ඉසව්වට වෙනම මානයක් විවර කරන්න සමත් වුනේ මීටර 6 කඩ ඉම පළමු වරට තරණය කරන්න සමත් වුනු ක්‍රීඩකයා බවට පත් වෙමින්.

අද වෙද්දී ඒ ලෝක වාර්තාව මීටර 6.22ක් තරමට වැඩි දියුණු වෙලා තියෙනවා.

පිරිමි ඉසව්වෙන් එහෙම වෙද්දී, කාන්තා ඉසව්වෙනුත් ඒ විදිහේම පිම්මක් පනින්න Yelena විසින් 2005 වර්ෂයේ දී සමත් වෙනවා.

1982 වසරේ රුසියාවේ දී උපත ලබපු Yelena ට වසය අවුරුදු 22ක් පිරුණු 2004 වසරේ දී පමණක් ඇය විසින් කාන්තා රිටි පැනීමේ ලෝක වාර්තාව 9 වරක් අලුත් කරන්න සමත් වෙනවා.

නමුත් 2005 කියන්නේ 2004 වසරටත් වඩා ඇය සාර්ථක වුන වසරක්.

කාන්තාවක් විසින් රිටි පැනීමේ ඉසව්වකින් මීටර 5 සීමාව තරණය කරාවි ද, නැද්ද යන කතාබහට තිත තියන්න Yelena විසින් සමත් වෙන්නේ 2005 ජූලි මාසේ 22 වැනිදා.

2005 වර්ෂයේ දීත් 9 වතාවක් තමන්ගේම ලෝක වාර්තාව පහුකර ගෙන යන්න Yelena සමත් වෙනවා. ඇය 2005 වර්ෂයට තිත තබද්දී කාන්තා රිටි පැනීමේ ඉසව්වේ ලෝක වාර්තාව නතර වෙලා තිබුණේ මීටර් 5.01ක.

“ඒක මගේ හීනයක්. මම දන්නේ නැහැ මට කොපමණ උසක් තරණය කරන්න පුළුවන් වේවි ද කියලා. සමහර විට මීටර 5.05ක් විතර.”

2005 ලෝක වාර්තාව පිහිටවපු Yelena මාධ්‍ය හමුවුනු වෙලාවේ ඒ විදිහේ ප්‍රකාශයක් කරනවා.

නමුත් නැවතත් තමන්ගේම ලෝක වාර්තාව බිඳ හෙළන්න Yelenaට තවත් වසර තුනක කාලයක් බලා ගෙන ඉන්න සිදු වෙනවා.

2005 වර්ෂයෙන් පස්සේ Yelenaගේ හොඳම වසර විදිහට මම හඳුනා ගන්නේ 2008 වසර.

2008 අගෝස්තු මාසයේ 18 වැනිදාවක් ගැන කියමින් ආරම්භ කරපු කතාව ආයෙත් සම්බන්ධ වෙන්නේ මෙන්න මෙතැනට.

චීනයේ බීජිං වලට එන්න කලින් 2008 වර්ෂයේ දී දෙවතාවක් ම තමන්ගේ පරණ ලෝක වාර්තාව අලුත් කරපු Yelena විසින් ඒ වෙද්දී ලෝක වාර්තාව මීටර් 5.04ක් වෙන තෙක්ම ගෙනැවිත් තිබුණා.

2008 ඔලිම්පික් උළෙලේ දී ඇය මූලික වටය වගේම ඉසව්වේ අවසන් වටයෙත් පහසුවෙන් ම තරග කරමින් තවත් ඔලිම්පික් පදක්කමක් තමන්ගේ නම ඉදිරියෙන් ලියා ගන්න සමත් වෙනවා.

නමුත් ඇයගේ අග්‍ර අරමුණ වෙන්නේ ඔලිම්පික් පදක්කමක් කියන එකම නෙවෙයි කියලා වැටහෙන්න පටන් ගන්නේ දිනයට නියමිත සියලුම ක්‍රීඩා ඉසව් අවසන් වුනායින් පස්සේ තනි ක්‍රීඩිකාවක් ක්‍රීඩාංගණයේ රිටි පැනීමේ ඉසව්ව පැවැත්වෙන තැනට පසෙකින් වාඩි වෙලා විශාල ලෝගුවක් අස්සට වෙලා ඉන්නවා දකිද්දීයි.

මීටර් 4.95 ඉලක්කය දෙවතාවක් අසාර්ථක වෙලා තුන්වැනි වතාවේ සාර්ථක කර ගත්තු Yelena විසින් ඔලිම්පික් වාර්තාව අලුත් කරනවා. ඊට පස්සේ ඇය කෙළින්ම යන්නේ මීටර් 5.05කියන අගය වෙත. තවත් ලෝක වාර්තාවක් සිය වාර්තා ගොන්න අතරට එකතු කර ගන්න ඇය දරණ මුල්ම ප්‍රයත්න ද්විත්වයම අසාර්ථක වුනත්, ඇය සිය තුන්වැනි සහ අවසාන උත්සාහ සාර්ථක කර ගනිමින් නව ලෝක සහ ඔලිම්පික් වාර්තාවක් තමන්ගේ නම ඉදිරියෙන් ලියා ගන්න සමත් වෙනවා.

ඒ මොහොත වෙද්දී මුළු ක්‍රීඩාංගණයේ ම මෙන්ම රූපවාහිනිය ඔස්සේ සජීවීව මේ අවස්ථාව නරඹමින් සිටි ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩා රසිකයින්ට කලකට අමතක නොවෙන දසුනක් දකින්න ලැබුණු බව ලියුම්කරු විසින් සහතික කරනවා.

2008න් පස්සේ Yelena Isinbayevaට මොකද වුනේ?

2008න් පසුවත් ඇය නැවත නැවතත් සාර්ථක වෙනවා. 2009 සිය මලල ක්‍රීඩා ජීවිතයේ තවත් වැදගත් වසරක් බවට පත් කරවමින් අද වන තෙක් නොබිඳී පවතින කාන්තා රිටි පැනීමේ ඉසව්වේ ලෝක වාර්තාව වන මීටර් 5.06ක උස තරණය කරන්න ඇය සමත් වෙන්නේ 2009 අගෝස්තු 28 වැනිදා.

ඒ වගේම ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ඉසව්* හි ඇයගේ අවසන් ලෝක වාර්තාව ඇය සටහන් කරන්නේ 2012 වසරේ දී. නමුත් ඒ වාර්තාව නම් පසු කාලයක Jennifer Suhr විසින් බිඳ දමන්න සමත් වෙනවා.

* Yelena විසින් 28 වතාවක් රිටි පැනීම ඉසව්වේ ලෝක වාර්තාව බිඳ හෙළා ඇති අතර ඉන් 13 වතාවක් ගෘහස්ථ මලල ක්‍රීඩා ලෝක වාර්තා. ඉතිරි අවස්ථා 15 ගෘහස්ථ නොවන මලල ක්‍රීඩා රටාවට අයත්.

ලිපිය ලියන මොහොත වන විට රිටි පැනීමේ ඉසව්වේ ලෝක වාර්තාව (5.06m) Yelena සතු වන අතර, ගෘහස්ථ කාන්තා රිටි පැනීමේ ඉසව්වේ ලෝක වාර්තාව (5.03m) Jennifer Suhr සතුව පවතිනවා.

*. එමෙන්ම Sergey Bubkaගේ ලෝක වාර්තා 35න් 17ක් ගෘහස්ථ නොවන එවා වන අතර, ඉතිරි 18 ගෘහස්ථ ලෝක වාර්තා විදිහටයි වාර්තා වුනේ.

නමුත් 2009 කියන්නේ Yelenaට සාර්ථක ප්‍රතිඵල ගෙනාපු වර්ෂයක් වගේම, තව පැත්තකින් බලද්දී නොකඩවා පවත්වා ගෙන පැමිණි රිද්මය බිඳ වැටුණු වසරක් විදිහටත් හඳුන්වලා දෙන්න පුළුවන්. ප්‍රධාන පෙළේ තරග ද්විත්වයකින්ම බලාපොරොත්තු වුන මට්ටමේ ජයග්‍රහණය අත් කර ගැනීමට ඇයට නොහැකි වෙනවා.

ඒ එක්කම Yelena Isinbayeva කියන පුරාවෘත්තය තවදුරටත් ලෝක මලල ක්‍රීඩාව තුල වලංගු නොවන බවටත් ඉඟි පහළ වෙනවා. කෙසේ වෙතත් තමන්ගේ දුර්වලතා පිළිබඳ වටහා ගත්තු Yelena වසර දෙකකට ආසන්න කාලයක විවේකයක් ලබා ගෙන නැවතත් ක්‍රීඩාවට අවතීර්ණ වෙනවා. ඇය තවත් ඔලිම්පික් පදක්කමක් බලාපොරොත්තුවෙන් 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලට සහභාගී වුනත් ඇයට එහි දී ලෝකඩ පදක්කමකින් සෑහෙන්න සිදු වෙනවා.

නමුත් තමන්ගේ ඔලිම්පික් සිහිනය තව දුරටත් ජීවමාන කර ගෙන ජීවත් වුනු Yelena මීළඟට උත්සාහ කරන්නේ 2016 Rio ඔලිම්පික් උළෙලට සහභාගී වෙන්න. නමුත් එවර Yelenaට එරෙහිව එන්නේ තරමක් බරපතළ චෝදනාවක්!

Yelena Isinbayeva තහනම් උත්තේජක භාවිත කරා ද?

එහෙම ප්‍රශ්නයක් කෙනෙක්ට මතු වුනා නම් දෙන්න පුළුවන් සරලම උත්තරේ ‘නැහැ’ කියන එක.

නමුත් අවාසනාවකට රුසියානු මලල ක්‍රීඩා කණ්ඩායමට ම එල්ල වුනු තහනම් උත්තේජක චෝදනාවක් නිසා Yelenaටත් 2016 ඔලිම්පික් උළෙල අහිමි වෙලා යනවා.

මෙතන දී Yelena Isinbayevaගේ නම කිසිම විදියකින් මේ තහනම් උත්තේජක චෝදනාවලට නොගෑවුනත්, සමස්තයටම ලැබුණු තහනමෙන් මිදෙන්න ඇයට අවස්ථාවක් හිමි වෙන්නේ නැහැ.

“මම හිතනවා මේක ධනාත්මක තැනකින් අවසන් වේවි කියලා. මම ඒකට සුදුසුයි. ඒක මගේ අයිතිය. මම විතරක් ම නෙවෙයි අපේ තරුණ , දක්ෂ සහ නිරවද්‍ය මලල ක්‍රීඩක/ක්‍රීඩිකාවන් හැමෝම ඒකට සුදුසුයි. ඔවුන්ට Rio මග හැරුනොත් තවත් වසර හතරක් බලා ගෙන ඉන්න සිද්ධ වෙනවා.”

තමන්ට සිදු වුන අසාධාරණයට එරෙහි වුන Yelena එහෙම කිව්වත් ඇයට 2016 ඔලිම්පික් උළෙලට සහභාගී වෙන්න අවස්ථාවක් හිමි වුනේ නැහැ.

අවසානයේ ඇයට සිදු වෙන්නේ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල තවත් සෑහෙන්න තමන්ට දුර බව වටහා ගෙන ක්‍රීඩාවට සමු දෙන්න.

ඒ වෙද්දීත් ඇය එක් දරු මවක්, Yelena තමන්ගේ එකම දියණිය Evaට උපත ලබා දෙන්නේ 2014 පෙබරවාරි මාසයේ 7 වැනිදා. මව් පදවිය ලැබුවයින් පසුවත් Yelena තව දුරටත් ක්‍රීඩා කරන්න බලාපොරොත්තුවෙන් හිටියා වුනත් පෙර සඳහන් කළ අභාග්‍ය සම්පන්න සිදුවීම Yelenaගේ හීනවලට තිත තියන්න සමත් වුනා.

Yelena Isinbayeva විසින් තමන්ගේ වෘත්තීය ජීවිතය තුල ළඟා කර ගත්තු සම්මාන සහ පහු කරපු සංධිස්ථාන එකින් එක විස්තර කිරීම තරමක් අපහසු දෙයක්. මොකද ඒ තරම් විශාල ලැයිස්තුවක් අපිට කියවන්න ලැබෙන නිසා.

ඒ නිසා ඇයගේ ජීවිතයේ සුවිශේෂී ම සංධිස්ථාන කිහිපයක් මේ විදිහට සටහන් කරන්නම්.

  • ඔලිම්පික් රන් පදක්කම් – 2
  • ලෝක ශූරතා රන් පදක්කම් -3
  • ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතා රන් පදක්කම් – 4
  • ඔලිම්පික් ලෝකඩ පදක්කම් – 1
  • ලෝක ශූරතා රිදී පදක්කම් – 1
  • ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතා රිදී පදක්කම් – 1
  • World Youth Championship රන් පදක්කම් – 1
  • World Junior Championship රන් පදක්කම් – 1

මේ ඇය ලෝක මට්ටමින් ලබා ගත් ජයග්‍රහණය ප්‍රමාණය පමණයි, මින් එහාට යුරෝපා තරගාවලිවල දී ඇය විසින් ලබා ගත් පදක්කම් රැසක් වෙනමම සඳහන් කරන්නත් පුළුවන්.

ඇය නිතරම කියපු දෙයක් තමයි “මට දිනන්න අවශ්‍ය ලෝක වාර්තාවක් සමඟමයි” කියන එක. නමුත් තමන් ක්‍රීඩාවෙන් සමු ගන්නා බව ප්‍රකාශ කරන්න මාධ්‍ය ඉදිරියට එන Yelena Isinbayeva අවසාන වශයෙන් කියන කතාව තරමක් වෙනස් එකක්.

“මම නිතරම ලෝක වාර්තා බිඳ හෙළන්න සමත් වීමත් එක්කම තරමක පීඩනයකට හසු වුනා. තරගයකට ඇතුළු වෙන හැම අවස්ථාවකම හැමදෙනාම මම ලෝක වාර්තාවක් පිහිටුවා වී කියලා බලාපොරොත්තු වුනා. නමුත් ඒක පහසු දෙයක් නෙවෙයි. මීටර් 5ක් කියන්නේ වෙනස්ම ලෝකයක්. Helsinki (2005 දී මීටර් 5.01 ක උසක් තරණය කළ තරගය) වලින් පස්සේ මට සෑහෙන්න වෙහෙසක් දැනෙන්න ගත්තා.”

Yelena හෝ වේවා වෙන ඕනෑම ක්‍රීඩකයෙක් තමන්ගේ උපරිමය පවත්වා ගන්න සෑහෙන්න කැප කිරීම් ප්‍රමාණයක් සිදු කළ යුතුයි.

කිසිම වෙහෙසක් නොවී උපයන දේ වල රඳා පැවැත්ම අඩුයි, නමුත් Yelena කියනවා වගේ වෙහෙස දැනෙද්දී ම මීටර් 5 සීමාව තරණය කරන්න සමත් වීමේ ආදීනව විදිහට වෙන්න ඇති තවමත් ඒ වාර්තා නොබිඳී තියෙන්නේ.

ඇයගේ ආසන්නයට එන්නවත් තවමත් කිසිම ක්‍රීඩිකාවක් සමත් නොවෙන්න හේතුව ඇය දැරූ අප්‍රමාණ වෙහෙස වෙන්න ඇති.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<