මතීෂගේ විශිෂ්ට පන්දු යැවීම Desert Vipersට ජය ගෙනෙයි!

ILT20 2023

1618

ILT20 තරගාවලියේ ඊයේ පැවැත්වුණු තරග ද්විත්වයේ දී ශ්‍රී ලාංකික ක්‍රීඩක දක්ෂතා කැපී පෙනුණා. ඒ අතරින් Desert Vipers කණ්ඩායම වෙනුවෙන් තරගයේ අවසන් පන්දුවාර කිහිපය යොමු කළ මතීෂ පතිරණගේ පන්දු යැවීම විචාරක පැසසුම් පවා ලබා ගත්තා.

ඊයේ දිනයට අදාළව ILT20 තරගාවලියේ තරග දෙකක් පැවැත්වුණු අතර පළමු තරගය Abu Dhabi Knight Riders සහ Sharjah Warriors කණ්ඩායම් අතර පැවැත්වුණා.

එහි දී Knight Riders වෙනුවෙන් චරිත් අසලංක වේගවත් ලකුණු 21ක් (පන්දු 13කින්) ලබා ගත් අතර, පන්දු යැවීමෙන් ලහිරු කුමාර Knight Riders සඳහා හොඳම පන්දු යැවීම සටහන් කරමින් සිය පන්දු වාර හතර තුල දී ලකුණු 36ක් ලබා දෙමින් කඩුලු 3ක් බිඳ හෙළුවා.

නමුත් Knight Riders කඩුලු 4ක් අතැතිව පරාජය කිරීමට warriors සමත් වුනා.

  • Abu Dhabi Knight Riders – 149/4 (20): Paul Stirling 55 , Andre Russell 33, චරිත් අසලංක 21, Paul Walter 2/29
  • Sharjah Warriors – 150/6 (17): Rahmanullah Gurbaz 56, ලහිරු කුමාර 3/36

ඊයේ දිනයේ දෙවැනි තරගය Dubai Capitals සහ Desert Vipers කණ්ඩායම් අතර පැවැත්වුණු අතර තරගයේ පළමුව පන්දුවට පහර දුන් Vipers නියමිත පන්දුවාර විස්ස අවසානයේ ලකුණු 149ක් ලබා ගත් අතර, Capitals වෙනුවෙන් පන්දු යැවීමෙන් දායක නොවූවත් විශිෂ්ට උඩ පන්දු තුනක් රැක ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් වුනා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි Capitals කණ්ඩායමේ මුල් කඩුලු දෙකම පන්දු වාර දෙකක දී ලකුණු 7ක් තුල දැවී ගිය අතර පිතිකරණ අනුපිළිවෙළේ වෙනසක් සිදු කරමින් ඒ මොහොතේ දසුන් පිටියට පැමිණියා.

දසුන් පවර් ප්ලේ පන්දුවාර හය නිමා වන තෙක් Capitals වෙනුවෙන් පිටියේ රැඳී සිටිමින් ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන් අතර ඔහු ලකුණු 24ක් ලබා සිටිය දී වනිඳු හසරංගගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

Vipers වෙනුවෙන් වනිඳු සිය පන්දුවාර හතර තුල දී ලකුණු 28ක් පමණක් ලබා දෙමින් එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුනා.

කෙසේ වෙතත් Capitals වෙනුවෙන් පිටියේ ස්ථාවර වූ Rovman Powell සහ Yusuf Pathan ප්‍රවේගකාරී පිතිකරණයක නියැලුණු අතර වරක තරගය ජයග්‍රහණය කිරීම සඳහා Capitals කණ්ඩායමට පන්දු 24ක් තුල දී ලබා ගැනීමට ඉතිරිව තිබුණේ ලකුණු 33ක් පමණයි.

නමුත් ඒ මොහොතේ Vipers වෙනුවෙන් අතිවිශිෂ්ට පන්දු යැවීමක් සිදු කළ ශ්‍රී ලංකාවේ මතීෂ පතිරණ සහ එංගලන්තයේ Tom Curran  දෙදෙනා විසින් අවසන් පන්දුවාර හතර තුල Capitals වෙත ලබා දුන්නේ ලකුණු 20ක් පමණයි.

එහි දී තවමත් වයස අවුරුදු 20ක් පමණක් වන මතීෂ පතිරණ සිය පළමු පන්දුවාරයේ දී ලකුණු 14ක් ලබා දීමෙන් අනතුරුව ඉතිරි පන්දුවාර දෙකේ දී ලකුණු 9ක් පමණක් ලබා දුන් අතර ඔහුගේ පන්දු යැවීම තරග විස්තර විචාරකයින්ගේ ද නොමද පැසසුමට භාජනය වුනා.

  • Desert Vipers 149/9 (20): Colin Munro 40, Sam Billings 25, Adam Zampa 3/16
  • Dubai Capitals 137/5 (20): Rovman Powell 34, Yusuf Pathan 35, දසුන් ශානක 24, Rohan Mustafa 2/27

ILT20 තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<