ILT20 තරගාවලියේ වේගවත් ම පන්දුව මතීෂගෙන්!

ILT20 2023

8147

ශ්‍රී ලංකාවේ මතීෂ පතිරණ විසින් ඊයේ (24) දිනයේ International League T20 (ILT20) තරගාවලියේ මෙතෙක් පන්දු යවන්නකු විසින් යැවූ වේගවත් ම පන්දුව යැවීමට සමත් වුනා.

ILT20 තරගාවලියේ 15 වැනි තරගය ලෙස MI Emirates සහ Desert Vipers කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයේ MI Emirates ඉනිමේ 19 වැනි පන්දු වාරයේ සිව්වැනි පන්දුව ලෙස පැයට කිලෝමීටර් 149.4ක වේගයක් සහිත පන්දුවක් යැවීමට මතීෂ පතිරණ සමත් වූ අතර, එය මෙතෙක් ILT20 තරගාවලියේ පන්දු යවන්නකු යැවූ වේගවත් ම පන්දුව ලෙස සටහන් වුනා.

IT20 තරගාවලියේ සිය මංගල තරගයට ඊයේ ක්‍රීඩා කළ මතීෂගේ පන්දු යැවීම සටහන් වුනේ පන්දුවාර 4ක් තුල ලකුණු 35ක් ලබා දී කිසිදු කඩුල්ලක් දවා නො ගත් ලෙසින් වුනත්, එහි දී මතීෂගේ පන්දු යැවීම විශේෂයෙන්ම ඔහුගේ පන්දුවල වේගය වඩාත් කතාබහට ලක් වුනා.

එමෙන්ම ඔහු සිය පළමු පන්දුවාර තුන තුල දී ම ප්‍රතිවාදී කණ්ඩායමට ලබා දී තිබුණේ ලකුණු 20ක් පමණක් වන අතර, ඔහුගේ අවසන් පන්දු වාරයේ පිටියේ ස්ථාවර වී සිටි පිතිකරුවන් දෙදෙනා විසින් (Nicholas Pooran සහ Kieron Pollard) ලකුණු පහළොවක් උදුරා ගැනීමට සමත් වුනා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් තවමත් එක් විස්සයි විස්ස තරගයකට පමණක් ක්‍රීඩා කර ඇති මතීෂ, ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිසා මෙන්ම වේගවත් පන්දු නිසාම කාලයක් තිස්සේ ම ජාත්‍යන්තර මට්ටමේ අවධානයක් දිනා ගත් පන්දු යවන්නෙක්.

මීට අමතරව ILT20 තරගාවලියේ දෙවැනියට වේගවත් ම පන්දු යවන්නා ලෙස සිය නම සටහන් කර ගැනීමට ශ්‍රී ලංකාවේ ම ලහිරු කුමාර (Abu Dhabi Knight Riders) සමත් වී ඇති අතර ඔහු මෙම තරගාවලියේ යවා ඇති වේගවත් ම පන්දුවේ වේගය පැයට කිලෝමීටර් 146.0ක් ලෙස සටහන් වී තිබුණා.

ILT20 තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<