බංග්ලාදේශය ටෙස්ට් ක්‍රීඩා කරන විදෙස් රටකට එරෙහිව ලබන ප්‍රථම තරගාවලි ජයග්‍රහණය දැක බලා ගැනීමේ අටියෙන් කොළඹ SSC පිටියට පැමිණ සිටි බංගලාදේශ ආධාරකරුවන්ගේ සියලු බලාපොරොත්තු අද (01) බොඳවී ගියේය. ඒ දෙරට අතර පැවති තෙවැනි එක්දින තරගය ශ්‍රී ලංකාව ලකුණු 70කින් ජය ගත් බැවිනි. ඒ අනුව එක්දින තරගාවලිය නිමාවට පත්වූයේ ජය පරාජයකින් තොරවයි.

අවමානයෙන් ගැලවී තරගාවලිය සම කරන්නට ශ්‍රී ලංකාවට හැකි වෙයි ද?

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින තරගය හෙට (අප්‍රේල් 01) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

වසර 6කට පමණ පසු එක්දින තරගයක සිරි විඳ ගැනීම වෙනුවෙන් සැකසී තිබුණු SSC ක්‍රීඩාංගණයේ දී කාසියේ වාසිය දිනා ගැනීමට බංගලාදේශ නායක මශ්රෆි මොර්ටාසා සමත් විය. පසුගිය දින දෙක පුරාවට ඇද හැලුණු වර්ෂාවත්, තණතිල්ලේ මඳ වශයෙන් දකින්නට ලැබුණු කොළ පැහැයත් නිසා ඔහුගේ තේරීම බවට පත්වූයේ ප්‍රථමයෙන් පන්දු යැවීමයි. බංග්ලාදේශය පෙර තරගයට ක්‍රීඩා කල කණ්ඩායම සමගින් මෙම එක්දින තරගයට පිවිස තිබූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම නුවන් ප්‍රදීප් වෙනුවෙන් සීක්කුගේ ප්‍රසන්න කණ්ඩායමට එක්කර තිබුණි.

කලකට පසු ප්‍රථම කඩුල්ල වෙනුවෙන් දර්ශනීය ක්‍රීඩා රටාවක් ප්‍රදර්ශනය කල උපුල් තරංග (35) සහ ධනුෂ්ක ගුණතිලක (34) ප්‍රථම කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 76ක් එක් කළහ. කිසිදු බංග්ලාදේශ පන්දු යවන්නෙකු තඹයකට මායිම් නොකළ මෙම වමත් පිතිකරුවන් දෙදෙනා අකුණු සැර වන් පහර රැසක් හතරේ සීමාවෙන් ඔබ්බට යවමින් ශ්‍රී ලංකා ප්‍රේක්ෂයින්ගේ ජය ඝෝෂාවෙන් ක්‍රීඩා පිටිය ගිගුම් දෙන්නට සැලැස්වීය.

ලබාගත් ආරම්භය උපයෝගී කර ගනිමින් දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා යාම මැදපෙළ පිතිකරුවන්ගේ වගකීම බවට පත් වූවත් ඔවුන් තම රාජකාරිය නිසි පරිදි ඉටු කරන බවක් පෙනෙන්නට නොතිබුණි. විශේෂයෙන්ම අංක 4 සහ 5 ස්ථාන වල පන්දුවට පහර දුන් චන්දිමාල් සහ සිරිවර්ධන නොසැලකිලිමත් ලෙස දුවද්දී දැවී යාම් වලට හසුවීම ශ්‍රී ලංකා පිළ මත පීඩනය ගොඩ නැංවීමට හේතුවිය. කෙසේ වෙතත් කලින් තරගයේ දී ද ශතකයක් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ගැලවුම්කරුවා බවට පත්වුණු කුසල් මෙන්ඩිස් අද දිනයේ දී ද හතරේ පහර 4ක් සමගින් තම 9වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළේය.

මැදපෙළ පිතිකරුවෙකු ලෙස මෙන්ම තරග අවසන් කරන්නෙකු ලෙස ද පසුගිය කාලයේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් අතර නමක් දිනා ගත් අසේල ගුණරත්න ද අද ලකුණු 34ක් රැස් කර ගත් නමුත් ඉනිම අවසානය දක්වා කඩුල්ල රැකගෙන ලකුණු වේගය වැඩි කර දීමට අපොහොසත් විය. ප්‍රවේගකාරී පිතිකරුවෙකු ලෙස නම් දරා සිටින සීක්කුගේ ප්‍රසන්න ද අද වැර යොදා එල්ල කල පළමු පහරින්ම තම කඩුල්ල අහිමි කර ගත්තේය. ශ්‍රී ලංකා පිළේ කඩුලු 6ක් ලකුණු 216ක් තුල බිඳ වැටී අසරණ වුනු වටපිටාවක කණ්ඩායම ගලවා ගැනීමේ වගකීම පැවරෙන්නේ තිසර පෙරේරාටයි.

එම වගකීම අකුරටම ඉටුකල ඔහු අවසන් පන්දු වාරය දක්වාම කඩුල්ලේ රැඳී සිටිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 280ක් කරා යන්නට මග පෑදීය. වෙනදාටත් වඩා උපක්‍රමශීලි ලෙස ඉනිම ඇරඹූ තිසර පෙරේරා සෙමින් ඉනිම අරඹමින් පසුව හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් තම ඉනිමට එක් කළේය. ඒ අනුව පන්දු 40කදී ලකුණු 52ක් රැස් කළ මෙම ප්‍රවේගකාරී වමත් පිතිකරුවා තම 7වැනි අර්ධ ශතකය බවට එය පරිවර්තනය කර ගත්තේය. පන්දු යැවීමේ දී බංග්ලාදේශ නායක මශ්රාෆි මොර්ටාසා කඩුලු 3ක් බිඳ හෙලූ අතර මුස්ටාෆිසූර් රහ්මාන්ට කඩුලු 2ක් හිමිවිය.

සදීර සහ අසලංක ශ්‍රී ලංකාව අවසන් සටනට ගෙන යයි

ආසියානුකරයේ ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රමුඛ පෙළ රටවල් 8ක සහභාගිත්වයෙන් පැවැත්වෙන නැගී එන ක්‍රීඩකයින්ගේ ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට…

ශ්‍රී ලංකාව වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කරගෙන තිබුනත් මෑත කාලයේ හොඳින් දක්ෂතා දක්වන බංග්ලාදේශ පිතිකරණ බල ඇණිය ජයග්‍රහණය සඳහා හොඳ සටනක් ලබාදෙනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු විය. නමුත් ප්‍රථම පන්දු වාරය යැවූ නුවන් කුලසේකර තමීම් ඉක්බාල්ගේ කඩුල්ල දවා ගනිමින් වේලාසනින්ම තරගයේ ග්‍රහණය ශ්‍රී ලංකාව යටතට ගත්හ. නුවන් සමගින් එක්වුණු සුරංග ලක්මාල් පන්දුවාර 4ක් ගත වීමටත් පෙර බංගලාදේශයේ කඩුලු 3ක් ලකුණු 11ක් තුලදී බිඳ දැමීමට සමත් වූහ. බංගලාදේශය වෙනුවෙන් අද අර්ධ ශතකයක් වාර්තා කිරීමට පවා සමත් වූයේ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් සහ මෙහෙදි හසන් පමණි. ශකීබ් අද හතරේ පහර 7ක් සමගින් ලකුණු 54ක් රැස් කරද්දී මෙහෙදි සටන්කාමී ලකුණු 51ක් රැස් කළේය.

සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකා පිළේ පන්දු රැකීම අද ඉතාමත් උසස් මට්ටමක පැවති අතර ක්‍රීඩකයින් සියලු දෙනාම දැඩි උද්‍යෝගයකින් ලකුණු නතර කරනු දකින්නට ලැබුණි. කලින් තරග වලදී දකින්නට නොලැබුණු මෙම ධනාත්මක වෙනස ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කඩුලු දවා ගැනීමටට මනා පිටුවහලක් විය. ඒ හේතුවෙන් බංග්ලාදේශය ලකුණු 210කට සීමා කිරීමට ඔවුන්ට හැකියාව ලැබුණි. ඉතාමත් හොඳ සංයමයකින් පන්දු යවමින් බංග්ලාදේශ පිතිකරුවන්ට විශාල පහරවල් කරා යාමට ඉඩ නොදුන් නුවන් කුලසේකර අද ලකුණු 37කට කඩුලු 4ක් බිඳ හෙලද්දී ලක්මාල්, දිල්රුවන් සහ සීක්කුගේ ඉතිරි කඩුලු 6 සම සමව බෙදා ගත්හ.

ශ්‍රී ලංකා පිළේ මෙම ජයග්‍රහණයත් සමගින් තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-1ක් ලෙස ජය පරාජයකින් තොරව නිමාවිය. ඒ අවසන් තරගයේ වීරයාට හිමි සම්මානය තිසර පෙරේරාට සහ තරගාවලියේ වීරයා සම්මානය කුසල් මෙන්ඩිස්ට හිමිකර දෙමිනි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මුලින් පන්දුවට පහර දෙමින් ලකුණු 311ක් රැස් කල දෙවැනි එක්දින තරගය වර්ෂාවට සේදී නොයන්නට ශ්‍රී ලංකාවට මෙම තරගාවලිය ජය ගැනීමට වැඩි ඉඩකඩක් පැවතුණි. දෙරට අතර තරග 2කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ලබන 4 වැනිදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාව – කඩුලු 9ක් දැවී ලකුණු 280 (පන්දුවාර 50): කුසල් මෙන්ඩිස් 54, තිසර පෙරේරා 52, උපුල් තරංග 35, ධනුෂ්ක ගුණතිලක 34, අසේල ගුණරත්න 34, දිනේෂ් චන්දිමාල් 21, මශ්රාෆි මොර්ටාසා 3/65, මුස්ටාෆිසූර් රහ්මාන් 2/55.

බංගලාදේශය – සියල්ලන්ම දැවී ලකුණු 210(පන්දුවාර 44.3): ශකීබ් අල් හසන් 54, මෙහෙදි හසන් 51, සෞම්‍ය සර්කාර් 38, මශ්රාෆි මොර්ටාසා 16, නුවන් කුලසේකර 4/37, සීක්කුගේ ප්‍රසන්න 2/33, සුරංග ලක්මාල් 2/38, දිල්රුවන් පෙරේරා 2/47.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට