ඉතිහාසය අලුත් කරවන ශ්‍රී ලාංකික තරග තීරකවරිය

වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය 2023

4183

පළමු වරට පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ තරග තීරකවරිය ලෙස හිටපු ශ්‍රී ලංකා නායිකා Vanessa De Silva මහත්මිය තෝරාගෙන තිබෙනවා.

මේ අනුව ලෝක කුසලාන අවසන් මහා තරගයක තීරකවරියක් ලෙස කටයුතු කරන පළමු ශ්‍රී ලාංකික කාන්තාව බවට පත් වීමට Vanessa මහත්මියට ලබන ඉරිදා (29) දිනයේ දී හැකි වනු ඇත.

එමෙන්ම 1997 දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සිය ප්‍රථම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ක්‍රීඩා කරද්දී එම කණ්ඩායමට නායකත්වය ලබා දුන් Vanessa ශ්‍රී ලංකාවේ ප්‍රථම නායිකාව බවට ද ඉතිහාස ගත වී තිබෙනවා.

එමෙන්ම මෙතෙක් ඉතිහාසයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා කර ඇති එකම ටෙස්ට් ක්‍රිකට් තරගය (1998 දී පාකිස්තාන කාන්තා කණ්ඩායම සමඟ) ක්‍රීඩා කිරීමේ විරල අවස්ථාව ද උදා කර ගත් Vanessa එම තරගයේ ඉනිම් දෙකේ දී ම අර්ධ ශතක වාර්තා කිරීමට ද සමත් වීම විශේෂත්වයක්.

සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ ටෙස්ට් ක්‍රිකට් තරගයක් සහ එක්දින ජාත්‍යන්තර තරග 13ක් ක්‍රීඩා කර ඇති Vanessa ඉන් එක්දින ජාත්‍යන්තර තරග 7ක දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ භාග්‍ය උදා කර ගෙන තිබෙන අතර ඉන් තරග දෙකක් ජයග්‍රහණය කරා මෙහෙයවා තිබෙනවා.

වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයට අදාළ අවසන් පූර්ව වටයේ තරග දෙක අද ඉන්දියාව සහ නවසීලන්ත කණ්ඩායම් අතරත්, එංගලන්තය සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම් අතරත් පැවැත්වීමට නියමිතයි.

එම තරග දෙක ජයග්‍රහණය කරන කණ්ඩායම් ද්විත්වය ලබන ඉරිදා (29) දකුණු අප්‍රිකාවේ Potchefstroom හී Senwes Park ක්‍රීඩාංගණයේ දී ලෝක කුසලානයේ අවසන් මහා තරගය ක්‍රීඩා කරනු ඇත.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතුවිත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<