ඉන්දියාව සුපිරි සිව්දෙනාගේ වටයට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

163

Virat Kohli හා Suryakumar Yadavගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් මෙවර ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයෙන් හොංකොං කණ්ඩායම පරදා ලකුණු 40ක පහසු ජයක් ලබා ගනිමින් සුපිරි 4 වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඉන්දියාව ඊයේ (31) සමත් වුනා.

ඩුබායි හි පැවති තරගයේ තීරණාත්මක කාසියේ වාසිය දිනූ හොංකොං කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දුන්නා.

ඒ අනුව ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 192ක් ලබා ගනිමින් දැනට මේ තරගාවලිය තුල කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කරන්නට සමත් වුනා.

එහි දී ඉන්දීය ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ KL Rahul ලකුණු 36කට සහ නායක Rohit Sharma ලකුණු 21කට දවා ගනිමින් පන්දුවාර 12කුත් පන්දු 4ක් තුල ලකුණු 96කට ඉන්දීය කඩුලු 2ක් දවා ගැනීමට හොංකොං පන්දු යවන්නන් සමත් වුනා.

අනතුරුව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 42කින් වේගවත් සහ ප්‍රහාරාත්මක ලකුණු 98ක නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩනංවමින් ඉන්දීය ඉනිම දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට Virat Kohli හා Suryakumar Yadav සමත් වුනා.

එහි දී නැවතත් සුපුරුදු පිතිකරණ රිද්මයට පැමිණි Kohli පන්දු 44කින් නොදැවී ලකුණු 59*ක් ලබා ගත් අතර ඉන්දීය මැදපෙළ ස්ථාවර කළ එම ඉනිමට හයේ පහර 3ක් සහ එක් හතරේ පහරක් ඇතුළත් වුනා. එය ඔහු ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ලබා ගත් 31 වැනි අර්ධ ශතකයයි.

Kohli එක් අන්තයකින් ඉනිම ස්ථාවර කරන විට, අනෙක් අන්තයෙන් ලකුණු සටහන ක්‍රියාත්මක වීමේ වේගය වැඩි කළ Suryakumar පන්දු 26ක් පමණක් වැය කරමින් නොදැවී ලකුණු 68*ක් ලබා ගත්තා.

ඔහුගේ එම ප්‍රහාරාත්මක ඉනිම හයේ පහර 6කින් සහ හතරේ පහර 6කින් හැඩගැන්වුනා. පන්දු යැවීමේ දී Ayush Shukla හා Mohammad Ghazanfar කඩුල්ල බැගින් බිද හෙළුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හොංකොං කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 152ක් පමණයි. එහි දී අංක 3 පිතිකරු Babar Hayat ලකුණු 41ක් ද, Kinchit Shah ලකුණු 30ක් ද රැස් කළා. Zeeshan Ali නොදැවී ලකුණු 26*යි.

පන්දු යැවීමේ දී වේගපන්දු යවන ක්‍රීඩක Bhuvneshwar Kumar, Arshdeep Singh සහ දඟපන්දු යවන ක්‍රීඩක Ravindra Jadeja හා Avesh Khan කඩුල්ල බැගින් බිඳ දැමීමට සමත් වුනා.

ආසියානු කුසලානයේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන එන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<