කාන්තා T20 ලෝක කුසලාන නිලධාරි මඩුල්ලට ශ්‍රී ලංකාවෙන් කාන්තාවන් දෙදෙනෙක්

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය 2023

308

ICC විසින් එළඹෙන කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් තරග නිළධාරිණියන් නම් කර ඇති අතර, ඒ වෙනුවෙන් ශ්‍රී ලාංකික තරග තීරකවරියක් සහ විනිසුරුවරියක් නම් කර තිබෙනවා.

පෙබරවාරි 10 වැනිදා පටන් දකුණු අප්‍රිකාවේ දී ආරම්භ වීමට නියමිත කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ICC විසින් නම් කළ නිලධාරි මඩුල්ල වෙනුවෙන් නිලධාරිණියන් 13 දෙනෙකු ඇතුළත් වනවා.

මෙම 13 දෙනා අතරට තරග තීරකවරියන් තිදෙනෙක් සහ තරග විනිසුරුවරියන් දස දෙනෙකු ඇතුළත් වන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග තීරකවරියක් ලෙස මිචෙල් පෙරේරා සහ විනිසුරුවරියක් ලෙස නිමාලි පෙරේරා යන දෙදෙනා මෙම නිලධාරි මඩුල්ලට තෝරා ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවට අමතරව තවත් රටවල් හයක් අතරින් මෙම නිලධාරි මඩුල්ල තෝරා ගෙන තිබෙනවා.

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් තෝරා ගෙන ඇති නිලධාරි මඩුල්ල මෙසේයි,

  • තරග තීරකවරියන්: මිචෙල් පෙරේරා (ශ්‍රී ලංකාව),GS Lakshmi (ඉන්දියාව) සහ Shandre Fritz (දකුණු අප්‍රිකාව)
  • තරග විනිසුරුවරියන්: නිමාලි පෙරේරා (ශ්‍රී ලංකාව), Sue Redfern (එංගලන්තය ), Eloise Sheridan (ඕස්ට්‍රේලියා), Claire Polosak (ඕස්ට්‍රේලියා), Jacqueline Williams (බටහිර ඉන්දීය කොදෙව් ), Kim Cotton ( නවසීලන්තය), Lauren Agenbag (දකුණු අප්‍රිකාව), Anna Harris (එංගලන්තය), Vrinda Rathi (ඉන්දියාව) සහ N Janani (ඉන්දියාව)

කාන්තා ක්‍රිකට් දිනෙන් දින වර්ධනය වන බවත්, ඒ නිසා පිරිමි පාර්ශවයට මෙන්ම කාන්තා පාර්ශවයට ද සමාන අවස්ථා ලබා දෙමින් ක්‍රිකට් ක්‍රීඩාව හරහා තවත් කාන්තා නියෝජනය වැඩි කිරීමේ බලාපොරොත්තුවෙන් යුතුව මෙම තීරණය ගත් බවත්, තම නිලධාරිණියන්ට ගෝලීය වශයෙන් සිය දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් උදාකර දෙන බවත් මෙම නිලධාරි මඩුල්ල පත් කිරීම පිළිබඳ අදහස් දක්වමින් ICC ප්‍රධාන කළමනාකාර  Wasim Khan පවසා තිබුණා.

එමෙන්ම මෙය ICC තරගාවලියකට සහභාගී වන ඉහළතම කාන්තා නිලධාරි මඩුල්ල වනු ඇති අතර, මේ දිනවල පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් 9 දෙනෙකුගෙන් යුතුව පත් කර තිබූ කාන්තා නිලධාරි මඩුල්ල මීට පෙර එම වාර්තාව සතුකර ගෙන සිටියා.

තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව සහ සත්කාරක දකුණු අප්‍රිකාව අතර පෙබරවාරි 10 වැනිදා පැවැත්වීමට නියමිත අතර, පෙබරවාරි 26 වැනිදා තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වීමට සැලසුම් සකස් කර තිබෙනවා.

තරගාවලියේ දී A කාණ්ඩය නියෝජනය කරන ශ්‍රී ලංකාවට වත්මන් ලෝක ශූර ඕස්ට්‍රේලියාවට අමතරව දකුණු අප්‍රිකාව, නවසීලන්තය සහ බංග්ලාදේශය යන කණ්ඩායම් මූලික වටයේ දී මුණ ගැසෙනු ඇත.

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තතුවිත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<