Brian Lara නැවතත් කොදෙව් කණ්ඩායම සමඟ එක් වෙයි!

4090

හිටපු බටහිර ඉන්දීය කොදෙව් නායක මෙන්ම සුපිරි පිතිකරු Brian Lara, උපදේශකයකු (Performance Mentor) ලෙස ලද නව භූමිකාවත් සමඟින් සිය ජාතික කණ්ඩායමට නැවත එකතු වන බව දැන ගන්නට ලැබෙනවා.

ක්‍රිකට් ලොව බිහි වූ විශිෂ්ටතම පිතිකරුවෙකු ලෙස සැලකෙන මෙම වමත් පිතිකරුවා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් ශතක 34ක් සහ එක්දින ජාත්‍යන්තර ශතක 19ක් ලබා ගනිමින් දශක දෙකක් පුරාවට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ කොඳුනාරටිය බවට පත් වී සිටීමට සමත් වුනා.

මේ වන විට 53 වැනි වියේ පසු වන මෙම ජීවමාන පුරාවෘත්තය වර්තමානයේ යම් පසුබෑමක් පෙන්වමින් සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට නව ජීවයක් එක් කිරීමේ බලාපොරොත්තුව සහිතව මෙම වගකීම බාරගෙන ඇති අතර, ඔහු ඒ සමඟ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ඇකඩමිය සමඟ ද වැඩ කිරීමට සූදානම් ව සිටින බව දැන ගන්නට ලැබෙනවා.

කණ්ඩායම් පුහුණුකරුවන්ට සහය ලබා දීම සහ ක්‍රීඩකයින්ට උපායශීලී උපදෙස් ලබා දීම Laraගේ ප්‍රධාන කාර්යභාරය වනු ඇති අතර, ඊට අමතරව ඔහුගේ කණ්ඩායම් සාමාජිකයකු සහ වත්මන් ක්‍රිකට් අධ්‍යක්ෂක ධුරය ද හොබවන Jimmy Adams සමඟ ICC ලෝක කුසලාන තරගාවලි සඳහා උපාය මාර්ගික සැලසුම් සකස් කිරීම ද ඔහු විසින් සිදු කරනු ඇත.

Laraගේ මෙම නව පත්වීම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් වලට විශාල ශක්තියක් ලබා දෙනු ඇති බව Adams පවසනවා.

“අපේ ක්‍රීඩකයින්ට සහ පුහුණුකරුවන්ට අවශ්‍ය මග පෙන්වීම ලබා දෙමින් අපේ ක්‍රිකට් පද්ධතියට සැලකිය යුතු දායකත්වයක් Brian ලබා දේවි කියලා මම බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම අපේ ක්‍රීඩකයින්ට සහය දැක්වීමට Brian සම්බන්ධ කර ගැනීමට හැකි වීම ගැන අපි සියලු දෙනාම සතුටු වෙනවා.”

2022 වසරේ පැවැත්වුණු විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දැක්වූ දුර්වල තරග රටාව පිළිබඳ වාර්තාවක් ලබා දීම සඳහා පත් කළ තිදෙනෙකුගෙන් යුත් කමිටුවේ ද සාමාජිකයකු වූ Laraට, ලබන මාසයේ සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකකින් යුත් තරග සංචාරයේ දී ම සිය කණ්ඩායම සමඟ නැවත එක් වීමට අවස්ථාව ලැබෙනු ඇති බවත් වාර්තා වනවා.

“ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් සමග පෙර සිටම කාලය ගත කර ඇති නිසා මට ඔවුන්ගේ මානසික මට්ටම දියුණු කිරීමට මෙන්ම, ඔවුන්ගේ උපක්‍රම වඩාත් සාර්ථක කර ගැනීමට උදව් කිරීමට හැකි වෙවී කියලා මම බලාපොරොත්තු වෙනවා.”

සිය නව වගකීම පිළිබඳ අදහස් පළ කරමින් Lara පවසා සිටියා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ICC නිල වෙබ් පිටුව ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<