ABD නැවතත් ජාත්‍යන්තර පිටියට එක්වන ලකුණු

194

2018 දී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන් දකුණු අප්‍රිකානු පිතිකරු A B De Villiers නැවත ජාත්‍යන්තර ක්‍රීඩාවට පැමිණීමට සූදානම් වන බව පසුගිය වසරේ දී මාධ්‍ය කීපයක් වාර්තා කර තිබුණා. එහි දී ඔවුන් වාර්තා කර තිබුණේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා ඔහු නැවත එක්වීමට නියමිත බවයි.

කෙසේ වෙතත් කොරෝනා වයිරසය නිසා ලෝක කුසලාන තරගාවලිය අවලංගු වීමත් සමඟින් මෙම ප්‍රවෘත්තිය සඳහා එතරම් අවධානයක් යොමු වුනේ නැහැ. 

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය මෙම වසරේ ඔක්තෝබර් මාසයේ ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිතව තිබෙන වටපිටාවක් තුල De Villiersගේ ජාත්‍යන්තර ආගමනය පිළිබඳව නැවතත් කතාබහක් ගොඩනැඟී තිබෙනවා. ඒ දකුණු අප්‍රිකානු පුහුණුකරු Mark Baucher පසුගිය දා මාධ්‍ය හමුවක දී දැක්වූ අදහස් කීපයක් නිසාවෙන්.

දකුණු අප්‍රිකාව බිහි කළ ප්‍රවේගකාරීම පිතිකරුවා ලෙස A B De Villiers හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. ලොව භයානකම පිතිකරුවෙකු ලෙස සැලකෙන ඔහු Mr. 360 ලෙසින් හඳුන්වන්නේ ද පිටිය සිසාරා පහර එල්ල කිරීමට ඔහුට ඇති හැකියාව නිසායි.

A B de Villiers නැවත ජාත්‍යන්තර පිටියට පැමිණේවි ද? මාධ්‍ය කීපයක් ඒ පිළිබඳව වාර්තා සපයා තිබුණා.

දකුණු අප්‍රිකානු ප්‍රධාන පුහුණුකරු Mark Boucher පසුගිය දා පවසා සිටියේ de Villiers නැවත කණ්ඩායමට එක්කර ගැනීමට තමන් සාකච්ඡා කරමින් සිටින බවයි. මේ දිනවල de Villiers සහභාගී වී සිටින ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට පෙර ද ඔහු සමඟින් සාකච්ඡා කළ බව Mark Boucher පවසා සිටියා. 

“මම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට යන්න කලින් A B de Villiers එක්ක කතා කළා. ඔහු නැවත දකුණු අප්‍රිකානු කණ්ඩායමට එක්කරගැනීම ගැන තියන සාකච්ඡා තවමත් විවෘතයි” Mark Boucher දකුණු අප්‍රිකානු වෙබ් අඩවියක් වන timeslive.co.sa වෙත අදහස් දක්වමින් පවසා සිටියා.

“A Bට ඔහුගේම විදිහක් තියනවා. ඔහු මට කිව්වා ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඉලක්ක කරගෙන ඉන්නේ කියලා. ඔහුට තරගාවලිය තුල සාර්ථක වෙන්න ඕනේ කියලා කිව්වා. ඔහුට ඕනේ වෙලා තියෙන්නේ ඔහු තවමත් ලෝක ක්‍රිකට් ක්‍රීඩාව තුල ප්‍රධාන සලකුණක් කියලා ඔප්පු කරන්න. ජාත්‍යන්තර මට්ටමේ දීත් ඔහුට තවමත් දස්කම් දක්වන්න පුළුවන් කියලා ඔහුට පෙන්වන්න ඕනේ.” 

“මම ඔහුට කිව්වා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුල ඔහුට පුළුවන් දේ උපරිමයෙන් කරන්න කියලා. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් පස්සේ අපි අපේ සාකච්ඡා ඉදිරියට අරන් යන්න බලාපොරොත්තු වෙනවා.” 

තවත් ක්‍රිකට් පුවත්:

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවෙකු වූ A B De Villiers සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදුන්නේ 2018 වසරේ දීයි. ඉන් අනතුරුව ලොව පුරා ලීග් තරගාවලි කීපයකට සහභාගී වූ ඔහු සිය දක්ෂතා පෙන්වීමට සමත් වුනා. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු තරගයේ දී වත්මන් ශූරයන් වන Mumbai Indians පරාජය කිරීමට De Villiersගේ පිතිකරණය ඉවහල් වුනා.

De Villiers දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 114ක්, එක්දින තරග 228ක් සහ විස්සයි විස්ස තරග 78කට ක්‍රීඩා කරමින් ලකුණු 8765ක්, 9577ක් සහ 1672ක් වාර්තා කර තිබෙනවා. ටෙස්ට් ශතක 22ක් සහ එක්දින ශතක 25ක් තමන් සතුකර ගැනීමට ඔහු සමත්ව සිටිනවා.

ලෝක ක්‍රිකට් ක්‍රීඩාව තුල සුවිශේෂී වාර්තා කීපයක් A B de Villiers සතුවනවා. වේගවත්ම අර්ධ ශතකය, වේගවත්ම ශතකය මෙන්ම වේගවත්ම 150ට හිමි වාර්තා ද de Villiers සතුවනවා. ඔහු ලෝක ක්‍රිකට් ක්‍රීඩාව තුල හයේ පහර 328ක් එල්ල කර තිබෙනවා. 

ඊට අමතරව තවත් සුවිශේෂී ටෙස්ට් වාර්තාවකට ද A B de Villiers හිමිකම් කියනවා. ඔහු 2008 වසරේ දී බංග්ලාදේශය සමඟින් පැවති ටෙස්ට් තරගයේ දී ලකුණු නොලබා දැවී ගියේ ටෙස්ට් වරම් දිනා ගැනීමෙන් ඉනිම් 78කට පසුවයි. 

කෙසේ වෙතත් සිය ජාත්‍යන්තර ක්‍රිකට් ආගමනය පිළිබඳව A B De Villiers තවමත් නිල වශයෙන් අදහස් දක්වා නැහැ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<