වේගවත්ම ක්‍රීඩකයා අනුහස්; ක්‍රීඩිකාව අනුජනා

ජාතික යොවුන් තේරීම් තරගාවලිය 2023

351

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලබා ගැනීම ඉලක්ක කරමින් පැවති ජාතික යොවුන් මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ දෙවැනි සහ අවසන් දිනයේ තරග අද (22) පැවැත්වුණේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දීයි.

තරගාවලියේ වේගවත්ම ඉසව්ව වූ මීටර් 100 ඉසව්වේ බාලක තරගය තත්පර 11.37ක කාලයකින් අවසන් කරමින් ජයග්‍රහණය වාර්තා කිරීමට අම්බලන්ගොඩ ධර්මාලෝක විද්‍යාලයේ අනුහස් බණ්ඩාරට සමත් වෙද්දී, බාලිකා ඉසව්ව තත්පර 12.65ක කාලයකින් අවසන් කළ කුමාරතුංග මුනිදාස විද්‍යාලයේ කේ. බී. අනුජනා හට හිමි වුනා.

අද (22) දිනය ආරම්භ කරමින් පැවති පළමු ඉසව්ව වූ බාලිකා මීටර් 1500 ඉසව්ව ජයග්‍රහණය කරමින් (මිනිත්තු 4:27.25) තරගාවලියේ දෙවැනි ජයග්‍රහණය ලබා ගැනීමට ගම්පොළ වික්‍රමබාහු විද්‍යාලයේ කසුනි නිර්මලීට හැකි වුනා.

එම තරගයේ කසුනි වාර්තා කළ කාලයම වාර්තා කිරීමට ගම්පොළ වික්‍රමබාහු විද්‍යාලයේ දුලංජනා ප්‍රදීපනීට හැකි වූ අතර එම දස්කම් සමඟ ඔවුන් දෙදෙනාම ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලබා ගත්තා.

දිනයේ පැවති තවත් ප්‍රධාන ඉසව්වක් වූ මීටර් 400 ඉසව්වේ බාලිකා තරගය තත්පර 57.74ක කාලයකින් අවසන් කරමින් ජයග්‍රහණය ලබා ගන්නට මාතර මධ්‍ය විද්‍යාලයේ තක්ෂිමා නුහංසාට හැකි වූ අතර එහි බාලක ඉසව්ව ගාල්ල මහින්ද විද්‍යාලයේ ජත්‍ය කිරුළු විසින් දිනා ගත්තේ තත්පර 49.62ක කාලයක් සමඟිනුයි.

මෙම තරගාවලියේ දැක්වූ දස්කම් මත ක්‍රීඩකයින් සිව්දෙනෙක් සහ ක්‍රීඩිකාවන් දෙදෙනෙක් 2023 ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්

  • කසුනි නිර්මලී – බාලිකා මීටර් 1500
  • දුලංජනා ප්‍රදීපනි – බාලිකා මීටර් 1500
  • ලෙසඳු අර්ථවිදු – බාලක උස පැනීම
  • අයෝමාල් අකලංක – බාලක මීටර් 400 කඩුලු පැනීම
  • මලින්දරත්න සිල්වා – බාලක රිටි පැනීම
  • නිලුපුල් පෙහෙසර – බාලක උස පැනීම

>>  තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<