CCCට දැවැන්ත ජයක්

වයස අවුරුදු 23න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලිය 2020/21

181

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ D කාණ්ඩයේ තවත් තරගයක් අද (28) සී. සී. සී පිටියේ දී නිමා වූයේ, සත්කාරක සී. සී. සී කණ්ඩායමට කඩුලු 7ක දැවැන්ත ජයක් හිමිකර දෙමිනි.

කාසියේ වාසිය දිනා ගත් සී. සී. සී නායක මලිඳු මදුරංග පළමුව පන්දු යැවීම සඳහා තීරණය කළ අතර එහි දී කැන්ඩි කස්ටම්ස් කණ්ඩායම සිය පන්දුවාර 50 අවසන් වීමට පෙර සියල්ලන්ම දැවී රැස් කරගත්තේ ලකුණු 116ක් පමණි. 

පන්දු යැවීමේ දී දකුණතින් පා දඟපන්දු යවන ක්‍රීඩක සුවත් මෙන්ඩිස් මෙවර තරගාවලිය තුල ලබාගත් දෙවන කඩුලු 4 අවස්ථාව තමන් සතු කරගනිමින් ලකුණු 37කට කඩුලු 4ක් දවාලන ලදි.

කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් තරමක් දුරකට ලකුණු අතරට පැමිණි නමුත් ඔවුන්ගේ මැදපෙළ පිතිකරුවන් හට වැඩි ලකුණු ප්‍රමාණයක් වෙත අවතීර්ණ වීමට නොහැකි විය.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න;

කැන්ඩි කස්ටම්ස්  කණ්ඩායමේ මුල් පෙළ සවිමත් කළ රශ්මික මධුසංක සහ තිමිර මල්ෂාන් පිළිවෙළින් ලකුණු 41ක් සහ ලකුණු 31ක් ලබා ගනිමින් සී. සී. සී පන්දු යවන්නන් හමුවේ තරමක් දුරට හෝ ලකුණු ලබා ගැනීම නිසාවෙන් ලකුණු 116ක් දක්වා ඉනිම ගොඩනංවා ගැනීමට ඔවුන්ගේ කණ්ඩායමට හැකි විය.

ලකුණු 117ක පහසු ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි සී. සී. සී කණ්ඩායම පන්දුවාර 14කුත් පන්දු 4ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 117 වාර්තා කරගත්තේය. එහි දී සුපිරි පිතිකරණයක නිරත වූ මලිඳු මදුරංග නොදැවී ලකුණු 73*ක් ලබා ගන්නා ලදි. පන්දු 45ක දී වාර්තා වුනු එම ඉනිම සඳහා 4 පහර 3ක් සහ 6 පහර 7ක් ඇතුළත් විය.

සී. සී. සී කණ්ඩායම අද දිනයේ දී ලබා ගත් මේ ජයග්‍රහණයත් සමඟින් D කාණ්ඩයේ තුන්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූයේ තරග කළ තරග හතරෙන් තරග තුනක් ජයග්‍රහණය කරමිනි.

කැන්ඩි කස්ටම්ස් – 116 (44.3): රශ්මික මධුසංක 41, තිමිර මල්ෂාන් 31, සුවත් මෙන්ඩිස් 4/37.

සී. සී. සී – 117/1 (13.4): මලිඳු මදුරංග 73*, ඔමේෂ් මෙන්ඩිස් 21, මෙතුශාන් තිලින 2/28.

සී. සී. සී කණ්ඩායමට කඩුලු 7ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<