Kohliගේ බිරිඳගෙන් Sunil Gavaskarට දැඩි විවේචන

2620

ඉන්දීය ක්‍රිකට් නායක Virat Kohliගේ බිරිඳ වන Anushka Sharma විසින් Sunil Gavaskar පසුගිය බ්‍රහස්පතින්දා (24) සිදු කළ “අප්‍රියජනක” ක්‍රීඩා විස්තර විචාරය සහ “සිය සැමියාගේ ක්‍රීඩාව වෙනුවෙන් බිරිඳකට චෝදනා එල්ල කිරීමට” අදාළව ඔහුව දැඩිව විවේචනයට ලක්කර ඇත.

Kohli නියෝජනය කරනු ලබන Royal Challengers Bangalore (RCB) කණ්ඩායමට පසුගිය බ්‍රහස්පතින්දා Kings XI Punjabට එරෙහිව පැවති තරගයේ දී ප්‍රබල පරාජයකට මුහුණ දෙන්නට සිදු වූ අතර එම තරගය අතරතුර Gavaskar විසින් ඔහුත් සමඟ ක්‍රීඩා විස්තර විචාරයේ යෙදුණු Aakash Chopra සමඟින් Kohliගේ පුහුණුව මදිකම පිළිබඳව සිදු කළ සාකච්ඡාවකට අදාළව Anushka විසින් Instagram සමාජ ජාලය තුළ ඊයේ (25) පළකරනු ලැබූ ‘story’ එකක් හරහා මේ ආකාරයට සිය විරෝධතාවය පළකර ඇත.

හින්දි බසින් සිදු කරනූ ලැබූ එම විස්තර විචාරය RCB ඉනිමේ දෙවැනි හා තෙවැනි පන්දුවාරවල දී සිදුව ඇති අතර ඒ වන විට Kohli කඩුල්ල තුළ පන්දුවට පහර දෙමින් සිටියේ ය. ඒ අනුව මෙය ඔහු දැවී යාමෙන් අනතුරුව සිදු වූවක් නොවන නමුත් ඊට පෙර එම තරගයේ ප්‍රතිවාදී ඉනිමේ දී ඔහු අතින් ගිලිහුණු උඩපන්දු දෙක පිළිබඳව එහි දී සාකච්ඡා කරනු ලැබීය.

Josh Philippeගේ ඉක්මන් දැවී යාමත් එක්ක Virat Kohliට දැන් වැඩි පන්දුවාර ගාණක් ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. පන්දු රැකීමේ දී ඔහු අතින් උඩපන්දු දෙකක් ගිලිහුණා. ඉතින් ඔහු දන්නවා දැන් ඔහුට මෙහි දී විශේෂ යමක් සිදු කරන්න වෙනවා කියලා,”  Kohli පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ දී ක්‍රීඩා විස්තර විචාරයේ යෙදෙමින් Gavaskar පැවසීය.

මිනිත්තු කිහිපයකට පසුව එහි එක් අවස්ථාවක දී Kohli එල්ල කළ ‘pull’ පහරක් සාර්ථක කරගැනීමට ඔහු අපොහොසත් වීමත් සමඟ Aakash විස්තර විචාරය සිදු කරමින් පවසා සිටියේ;

“ක්‍රීඩකයෝ මේ ක්‍රීඩා කරන්නේ ලොකු කාලෙකට පස්සේ. ඒක ඔබට ඔවුන් ක්‍රීඩා කරන විදිහෙන් පේනවා ඇති. ඔවුන් තාමත් සම්පූර්ණයෙන්ම සූදානම් නැහැ. Kohliගේ IPL වාර්තාවන් දිහා බැලුවොත් ඔබට පෙනෙයි ඒක වෙන කාටවත්ම සම කරන්න බැරි එකක් කියලා. ඒත් මාස 6ක-8ක කාලයක් පුරාවට කොහෙත්ම ක්‍රිකට් ක්‍රීඩා නොකර ඉන්නවා කියන්නේ ගොඩක් අමාරු දෙයක්.”

ඊට ප්‍රතිචාර දක්වමින් Gavaskar එහි දී පවසා සිටියේ;

“අනිවාර්යයෙන්ම. තමන්ට ප්‍රමාණවත් වෙන තරමට පුහුණුවීම් වල යෙදෙන්න ඔහුට අවස්ථාව ලැබුණේ නැහැ. ඔහුට හැමවෙලේම අවශ්‍යයි වගේම ඔහු දන්නවා වැඩිපුර පුහුණුවීම් වල යෙදෙන තරමට තමයි ඔහු වැඩිදියුණු වෙන්නේ කියලා. ඒත් අපි අර වීඩියෝ එකේ දැක්ක විදිහට ඔහු ‘lockdown’ කාලේ පුහුණුවීම් වල යෙදිලා තියෙන්නේ Anushkaගේ පන්දු යැවීම හමුවේ විතරයි. ඉතින් ඒක ප්‍රමාණවත් නැහැනේ.”

ඒ අනුව Gavaskar මෙහි දී සඳහන් කරනු ලැබූ වීඩියෝ පටය වන්නේ ‘lockdown’ සමය තුළ Anushka විසින් ඔවුන්ගේ නිවසේ ටෙරසයේ දී යොමුකරන පන්දුවලට Kohli පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටයයි. මෙම සිදුවීම ඔවුන්ගේ අසල්වැසියෙකු විසින් වීඩියෝ ගතකර, සමාජ මාධ්‍යවලට මුදාහැරීමෙන් අනතුරුව එය ඒ පුරා පැතිර යන්නට විය. පසුව Aakash විසින් එහි දී Kohli සහ Anushka දෙදෙනාගේ පුද්ගලික නිදහස සීමා වී ඇති ආකාරය පිළිබඳව ද අදහස් දක්වන්නට වූ අතර ඒ අතරතුර තරගයේ දී Kohli එක් ලකුණක් පමණක් ලබා සිටිය දී දැවී යාමත් සමඟ Gavaskar සහ Aakash අතර ක්‍රීඩා විස්තර විචාරය ද ඉදිරියට යන්නට විය.

කෙසේ නමුත් එහි දී Gavaskar සිදු කළ ප්‍රකාශය විවේචනය කරමින් Anushka විසින් Instagram හි ‘story’ එකක් පළකරමින් සඳහන් කර සිටියේ;

Gavaskar මහතා, ඔබේ ඒ පණිවිඩය අප්‍රසන්න එකක් බව හොඳටම පැහැදිලි කරුණක්. ඒත් සිය සැමියා ක්‍රීඩා කරන ආකාරය පිළිබඳව ඔහුගේ බිරිඳට චෝදනා එල්ල කරමින් බිරිඳකට ඒ වගේ බරපතළ ප්‍රකාශයක් කරන්න හිතුවේ ඇයි කියලා ඔබ විස්තර කරනවා නම් මම කැමතියි. ඔබ වසර ගණනාවක් පුරාවට ක්‍රීඩාව පිළිබඳව විස්තර විචාරයේ යෙදෙන අතරතුර සෑම ක්‍රීඩකයෙකුගේම පෞද්ගලික ජීවිතයට ගෞරව කරන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔබ හිතන්නේ නැද්ද ඒ හා සමාන ගෞරවයක් මට සහ අපිටත් ඔබ ලබා දිය යුතුයි කියලා?

ඊයේ රාත්‍රියේ මගේ සැමියා ක්‍රීඩා කළ ආකාරය පිළිබඳව අදහස් දක්වන්න යොදාගන්න පුළුවන් වෙනත් විදිහේ වචන සහ වාක්‍ය රැසක් ඔබේ මනස තුළ තියෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. එසේත් නැත්නම් ඔබේ වචන අදාළ වෙන්නේ ඒ ක්‍රියාවලිය තුළ මගේ නම භාවිතා කළොත් පමණක් ද?

මේ 2020 වසර. ඒත් මට කිසිම දෙයක් වෙනස් වී නැහැ. මාව ක්‍රිකට් ක්‍රීඩාව තුළට ඇදගැනීම සහ මාව යොදාගෙන මේ වගේ බරපතළ ප්‍රකාශයන් සිදු කිරීම නවතින්නේ කවදා ද?

ගෞරවනීය Gavaskar මහතා, ඔබ මේ මහත්වරුන්ගේ ක්‍රීඩාව තුළ තම නාමය ඉහළින්ම වැජඹෙන පුරාවෘත්තයක්. ඔබගේ ඒ ප්‍රකාශය ඇසුණු විට මට දැනුණු දේ පිළිබඳව ඔබට ප්‍රකාශ කිරීමට යි මට අවශ්‍ය වුණේ.”

තවත් කියවන්න;

අනතුරුව ‘India Today’ නාලිකාව සමඟ එක්වෙමින් Gavaskar විසින් ඔහුගේ ප්‍රකාශයට අදාළව Anushkaගේ මෙම විවේචනයට පිළිතුරු ලබා දෙමින් ඔහු ප්‍රකාශ කර සිටියේ;

“මුලින්ම මම අහන්න කැමතියි මම ඇයට චෝදනා කරන්නේ කොතැන ද කියලා. මම ඇයට චෝදනා කිරීමක් සිදු කරන්නේ නැහැ. මම එහි දී කියන්නේ ඒ වීඩියෝ පටයේ ඇය Kohliට පන්දු යවනවා දැක්වුනා කියලා විතරයි. Kohli මේ ‘lockdown’ කාලය ඇතුළේ ක්‍රීඩා කරලා තිබුණේ ඒ පන්දු යැවීම හමුවේ විතරයි.

ඒක ‘lockdown’ කාලේ මිනිස්සු නිකන් කාලය යවන්න ක්‍රීඩා කරන විනෝදජනක ටෙනිස් පන්දු තරගයක් විතරයි. ඊට වැඩිය වෙන දෙයක් එතැන නැහැ. ඉතින් මම එහි දී Kohliගේ අසාර්ථක වීම් වෙනුවෙන් Anushkaට චෝදනා කරන්නේ කොතැන ද?”

කෙසේ නමුත් Gavaskar එහි දී ක්‍රීඩා විස්තර විචාරයේ යෙදෙන අතරතුර සිදු කළ එම ප්‍රකාශය සමාජ මාධ්‍ය තුළ පැතිර යාමේ දී පළමුව එය වැරදි ලෙස උපුටා දක්වමින් පළවූ බව මෙහි දී සඳහන් කළ යුතුය. ඒ අනුව ඔහු හින්දි බසින් සිදු කළ විස්තර විචාරයට අනුව ඔහු පවසා ඇත්තේ ‘lockdown’ සමය තුළ Kohli පුහුණුවීම් සිදු කර ඇත්තේ Anushkaගේ “පන්දු යැවීම” හමුවේ පමණක් බව වුවත්, ආරම්භයේ දී Gavaskar හට චෝදනා එල්ල වෙමින් පැතිර යන්නට වූයේ ඔහු එහි දී “පන්දු යැවීම” යන යෙදුම නොව “පන්දු” යන්න භාවිතා කළ ලෙසට යි.

espncricinfo ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<