අළු මතින් නැඟිටීමට වෙර දරන කන්නංගරයට පිහිටක් වන්න

743

කොළඹ සී. ඩබ්. ඩබ්. කන්නංගර විද්‍යාලයේ රග්බි ක්‍රීඩාවේ පුහුණු සහ ක්‍රීඩා උපකරණ කුටිය ගින්නකින් විනාශ වී යාම නිසා එහි තිබූ ක්‍රීඩා උපකරණ සියල්ලම පාහේ අළු බවට පත්වී ඇත. නව පාසල් රග්බි වාරය ආරම්භ වීමට ඉතිරිව ඇත්තේ තවත් මාස 03කටත් අඩු කාලයක් බැවින් මෙම තරුණ ක්‍රීඩකයින්ගේ සුන් වූ බලාපොරොත්තු නැවතත් නඟා සිටුවීමට ශ්‍රී ලංකාවේ රග්බි සහෝදරත්වය උත්සාහයක නිරතව සිටී.

සහිරා, ධර්මරාජ විද්‍යාලවලට නව රග්බි නායකයින්

ලබන වසරේ දී පැවැත්වීමට නියමිත පාසල් ලීග් රග්බි තරගාවලිය ඉලක්ක කර ගනිමින් මහනුවර ධර්මරාජ විද්‍යාලයත්…

කොළඹ සී. ඩබ්. ඩබ්. කන්නංගර විද්‍යාලයීය රග්බි කණ්ඩායම පසුගිය වසර කිහිපය තුළ ඉහළ වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත් වූ අතර අවම පහසුකම් යටතේ වුවද ඉතිහාසයේ පළමු වරට ඔවුන් 2015 වසරේ දී තරගාවලියේ ‘A’ කාණ්ඩය දක්වා උසස් වීමක් ලබා ගැනීමට සමත් විය. එතැන් පටන් තරගාවලියේ ඉහළම කාණ්ඩයේ කැපී පෙනෙන දස්කම් ප්‍රදර්ශනය කරන්නට ඔවුන් සමත් වී ඇත.

කෙසේ නමුත් පසුගිය සතියේ දී ඔවුන්ගේ ක්‍රීඩා උපකරණ සියල්ලම ගබඩා කර තිබූ රග්බි කුටිය, එහි තිබූ සියලුම උපකරණ ද සමඟින් ගින්නකින් විනාශ වී යාම නිසා පාසල තුළ රග්බි ක්‍රීඩාවේ නිරත වන තරුණ ක්‍රීඩකයින්ගේ සිහින බිඳ වැටෙන්නට විය.

පසුගිය තරග වාරය ඔවුන්ට තරමක් මතභේදාත්මක තරග වාරයක් වුවත්, මෙම තරග වාරයේ දී නැවතත් ඔවුන් සිය සුපුරුදු දක්‍ෂතා අතරට පැමිණීමේ අපේක්‍ෂාවෙන් පසුවිය. ඒ අනුව 2018 තරග වාරය ඔවුන්ට අතිශය වැදගත් තරග වාරයක් විය. නමුත් මෙම ගින්නත් සමඟ ඔවුන්ගේ බලාපොරොත්තු ද සුන් වී ගියත්, එම තරුණ ක්‍රීඩකයින් තවමත් ඔවුන්ගේ බලාපොරොත්තු අත්හරින්නට සූදානම් නැත.

2018 වසර සඳහා වන පාසල් රග්බි ලීග් තරග වාරය ආරම්භ වීමට ඉතිරිව ඇත්තේ තවත් මාස කිහිපයක් පමණක් වන අතර ඒ අනුව රග්බි ක්‍රීඩාවට ආදරය කරන, ඔවුන්ට පිහිටක් විය හැකි ඕනෑම කෙනෙකුගේ සහයෝගය ඔවුන් බලාපොරොත්තු වෙයි. ඒ රග්බි කුටිය තුළ තිබූ පැරණි රග්බි පන්දු කිහිපයක් හැර ඉතිරි උපකරණ සියල්ලම ගින්නෙන් විනාශ වී යාම නිසා ඔවුන් මේ වන විට දැඩි අර්බුධකාරී තත්වයකට මුහුණ දී සිටින බැවිනි.

ඒ අනුව ThePapare.com අපි, රග්බි ක්‍රීඩාවට ඇලුම් කරන ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ රග්බි ක්‍රීඩාවෙන් ඉහළට යන්නට වෙර දරන මෙම තරුණ ක්‍රීඩකයින් හට පිහිටක් වන්නට ඉදිරිපත් වන ලෙසයි. විද්‍යාලයේ රග්බි ක්‍රීඩාව සංවර්ධන කමිටුව, ක්‍රීඩකයින් හට නව උපකරණ ලබා දී නැවතත් ඔවුන්ව පුහුණුවීම් කටයුතුවලට යොමු කිරීම සඳහා මේ වන විට දැඩි මූල්‍යමය අවශ්‍යතාවයකින් පසුවෙයි.

මූල්‍යමය ආධාර ලබා දීමට කැමති අයෙක් සිටී නම් ඔවුන්ට පහත ගිණුමට ඕනෑම මුදලක් බැර කළ හැකිය.

Bank Account Details:

Kannangara Rugby Development Committee

No. 000460002230

Sampath Bank – Borella Branch

 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<