එක තරගයෙන්ම ලෝකයේම අවධානය දිනා ගත් RCB කෝඩුකාරයා

478
Devdutt Padikkal

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ තුන්වැනි තරගය ලෙස පසුගිය සඳුදා (21) Royal Challengers Bangalore (RCB) සහ Sunrisers Hyderabad (SRH) අතර පැවති තරගයේ දී 20 හැවිරිදි තරුණයෙක් RCB වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දක්වනු ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ට දැකගැනීමට හැකි විය.

අඩි 6’3”ක යෝධ ශරීරයකට හිමිකම් කියන මේ තරුණයා එහි දී RCB වෙනුවෙන් සිය මංගල IPL තරගයේ දීම පිතිකරණය ආරම්භ කරමින් අගනා අර්ධ ශතකයක් වාර්තා කරගන්නට සමත් වන්නේ ඔහු නුදුරේ දීම ඉන්දීය ජාතික කණ්ඩායම තුළ දොරගුළු විවෘත කරගැනීමේ පෙරනිමිති පහළ කරමිනි. ඔහු නමින් Devdutt Padikkal ය. 

RCB සමඟ අලුතෙන් එක්වූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක මෙන්ම සුපිරි පිතිකරු Aaron Finch ඔවුන් වෙනුවෙන් ඉනිම ආරම්භ කරනු ඇතැයි මෙම තරගය ආරම්භ කිරීමටත් පෙර කිසිදු සැකයකින් තොරව ඕනෑම කෙනෙකු හොඳින්ම දැන සිටි කරුණකි. නමුත් ඔහුත් සමඟ අනෙක් අන්තයේ පන්දුවට පහරදීම ආරම්භ කරන ක්‍රීඩකයා කවුරුන් වේ දැයි තහවුරු වී තිබුණේ නැත. 

කෙසේ නමුත් ඉන්දීය නායක මෙන්ම සුපිරි පිතිකරු Virat Kohli ඒ අනුව එහි දී Finch සමඟින් RCB වෙනුවෙන් පන්දුවට පහරදීම ආරම්භ කරනු ඇතැයි බොහෝ දෙනාගේ මතය වන්නට විය. 

නමුත් සැවොම මවිතයට පත්කරමින් තරගය ආරම්භයේ Finch සමඟින් ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසියේ 20 හැවිරිදි වමත් පිතිකරු Devdutt ය. ක්‍රිකට් විශේෂඥයින් සහ විශ්ලේෂකයින් විසින් අනාගතයේ දී ඉතා ප්‍රබල ක්‍රීඩකයෙකු වනු ඇති බවට Devdutt පිළිබඳව මත පළකර තිබුණත්, ඉන්දියාවේ දේශීය ක්‍රිකට් ක්‍රීඩා තරග නරඹන්නන් හැර වෙනත් ක්‍රිකට් ලෝලීන්ගෙන් අති මහත් බහුතරයක් ඔහු පිළිබඳව අසා තිබුණේ වත් නැත.  

එහි දී තරගයේ පළමු පන්දුවාරයේ දී ප්‍රතිවාදී ආරම්භක පන්දු යැවීමේ ක්‍රීඩක Bhuvneshwar Kumar හොඳ පන්දු යැවීමක් දියත් කිරීමත් සමඟ ඔහු හමුවේ ප්‍රවේගකාරී පහරවල් එල්ල කරන්නට Devduttට මෙන්ම Finchට ද අවස්ථාවක් හිමි වුයේ නැත. 

කෙසේ නමුත් පසුව Sandeep Sharma විසින් යොමු කළ දෙවැනි පන්දුවාරයේ දී අලංකාර 4 පහරවල් දෙකක් ද, අනතුරුව Bhuvneshwar යොමු කළ තරගයේ තෙවැනි පන්දුවාරයේ දී තවත් හතරේ පහරක් ද සමඟින් ඉනිම ආරම්භ කළ Devdutt සිය ඉනිම අවසන් කරනු ලැබුවේ සිය මංගල IPL තරගයේ දීම විශිෂ්ට අර්ධ ශතකයකට හිමිකම් කියමින් මුළු ක්‍රිකට් ලොවේම අවධානය තමන් වෙත යොමු කරමිනි.

Devdutt Padikkal
Devdutt Padikkal විසින් RCB සහ SRH අතර තරගයේ දී සිය අර්ධ ශතකය වාර්තා කරගනිමින් (ඡායාරූපය: https://www.easterneye.biz/)

ඔහු එසේ ප්‍රවේගකාරී පිතිහරඹයක් දියත් කරන විට එම හැකියාව පිළිබඳව වහාම වටහා ගත් Finch හට පන්දුවට පහරදීමට ලැබුණු බොහෝ අවස්ථාවල දී ඔහුට සුපුරුදු පරිදි විශාල පහරවල් එල්ල කිරීමට නොගොස් එක් ලකුණක් කරා පැති මාරු කරගනිමින් Devdutt හට පන්දුවට පහරදීමේ අවස්ථාව ලබාදීම මෙහිදී කැපී පෙනෙන්නට විය. 

Finch වැනි ප්‍රබල සහ ප්‍රවේගකාරී පිතිකරුවෙකුගේ විශ්වාසය ඒ ආකාරයට සිය පළමු තරගයේ දීම පන්දු කිහිපයක් තුළ Devdutt විසින් දිනාගැනීමට සමත් වීම ඔහු සතුව ඇති දක්ෂතාවයට කදිම නිදසුනක් ලෙස පෙන්වා දිය හැකිය. 

ඒ අනුව Devdutt එහි දී පිටිය පුරාවට දර්ශනීය පහරවල් එල්ල කරමින් පන්දු 42ක් තුළ 4 පහර අටක් ද සමඟින් ලකුණු 56ක් වාර්තා කරගත්තේ 133.33ක ඉහළ ලකුණු ලබාගැනීමේ වේගයක් ද පවත්වා ගෙන යමිනි. 

පසුව Vijay Shankar විසින් යොමුකළ තරගයේ 11 වැනි පන්දුවාරයේ දී ඔහුගේ ඉනිම අවසන් වෙමින් ඔහු දැවී යන්නට වුනත්, RCB හට නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 163ක තරගකාරී ඉලක්කයක් ප්‍රතිවාදී SRH වෙත ලබා දෙන්නටත්, අවසානයේ තියුණු තරගයකින් අනතුරුව ලකුණු 10කින් තරගයේ ජයග්‍රහණය හිමිකර ගන්නටත් අවශ්‍ය අඩිතාලම සැකසුණේ ඔහු එහි දී වාර්තා කරගත් ඒ අර්ධ ශතකය හරහා ය. 

මේ ආකාරයට මෙවර IPL තරගාවලිය හරහා Devduttව බොහෝ දෙනෙකුට හඳුනාගන්නට ලැබුණත් ඔහු කුඩා කල පාසල් කාලයේ සිටම පිතිකරණයෙන් කැපී පෙනෙන දක්‍ෂතා ප්‍රදර්ශනය කරන්නට සමත්ව ඇත. 

සමහරක් අවස්ථාවල දී ළාබාල වයසක පසුවන ක්‍රීඩකයෙකු හට සිය උපරිම දක්‍ෂතා අතරට පැමිණීමට මාර්ගය සැකසෙන්නට අවශ්‍ය වන්නේ එක් හොඳ තීරණයක් පමණි. Devduttගේ ක්‍රිකට් දිවියට අදාළව නම් එය ඔහුගේ දෙමාපියන් ඔහු කුඩා අවදියේ දීම ඔවුන් ජීවත්ව සිටි Hyderabad නුවර සිට Bangalore නුවර බලා පැමිණීමට ගත් තීරණය යි. 

ඔවුන් සිය දිවි පෙවත Hyderabad නුවර ඒ වන විටත් ස්ථාපිත කරගෙන සිටියත් වයස අවුරුදු 10 තරම් අඩු වයසක දී වුවද Devdutt පිතිහරඹයෙන් දැක්වූ දක්‍ෂතා හමුවේ ඔහුගේ දෙමාපියන් තීරණය කරන්නට වූයේ ඒ සියල්ල කැපකොට Bangalore නුවර බලා සංක්‍රමණය වීමට යි. ඒ පුහුණුකාරීත්වයට අදාළ යටිතල පහසුකම් සහ ක්‍රිකට් ක්‍රීඩාව තුළ සාර්ථක වීමට ඉවහල් වන හොඳ පසුබිමක් Hyderabad වලට වඩා Bangalore නුවර තුළ තිබූ බවට ඔවුන් තුළ වූ විශ්වාසය හේතුවෙනි.

Devdutt Padikkal
RCB පුහුණුවීම් අතරතුර Devdutt පන්දුවට පහරදෙමින් (ඡායාරූපය: https://english.dailynews24.in/)

ඒ අනුව Bangalore වලට පැමිණීමෙන් අනතුරුව ඔහුට එහි Karnataka Institute of Cricket (KIOC) හි හිමිකරු වූ Irfan Sait යටතේ ක්‍රිකට් පුහුණු වීමට අවස්ථාව හිමිවේ. ඔහු සතු වූ දක්‍ෂතාවන්, මානසික ශක්තිය, කැපවීම සහ අධිෂ්ඨානය මෙන්ම ඔහුට දෙමාපියන්ගෙන් ක්‍රිකට් ක්‍රීඩාවට ලැබුණු නොමසුරු සහයෝගයත් හේතුකොටගෙන KIOC ජ්‍යෙෂ්ඨ පුහුණුකරු Mohmmed Naseeruddin විසින් Devduttගේ ආරම්භක වසරවල සිටම ඔහුට ගුරුහරුකම් ලබාදෙමින් ඔහු සමඟ ඉතා සමීපව කටයුතු කරන්නට විය. 

Irfan සහ Naseeruddinගේ පුහුණුකාරීත්වය හමුවේ ඔහු කෙමෙන් කෙමෙන් සිය පිතිහරඹය තව තවත් දියුණු කරගන්නට වූ අතර ඔහුගේ දක්‍ෂතා කෙතරම් ද යත් Naseeruddin පවසා සිටින අන්දමට වයස අවුරුදු 14න් සහ 16න් පහළ තරගාවලි වලදී Devdutt දක්‍ෂතා අතරට පැමිණීමට අපොහොසත් වූ තරගයක් නැති තරම් ය. 

කෙසේ නමුත් වයස අවුරුදු 19න් පහළ තලය වෙත පැමිණීමෙන් අනතුරුව ඔහු එක් වසරක දී සිය සුපුරුදු දක්‍ෂතා අතරට පැමිණීමට සමත් වූයේ නැත. අසාර්ථක වසරක් හමුවේ නොසැලී සිටින ලෙස Naseeruddin විසින් Devduttව නිරන්තරයෙන් දිරිගන්වන්නට වූ අතර ඒ අනුව KIOC වෙනුවෙන් ඔහු ක්‍රීඩා කරනු ලැබූ ලීග් තරගයක දී විශිෂ්ට ශතකයක් වාර්තා කරගනිමින් ඔහු නැවතත් සිය සුපුරුදු දක්‍ෂතා අතරට ළඟාවන්නට සමත් විය. එතැන් පටන් දිගින් දිගට ම ඉන්දීය දේශීය ක්‍රිකට් ලෝලීන් හට දැකගන්නට ලැබුණේ ඔහු අලංකාර ඉනිම් ක්‍රීඩා කරමින් අඛණ්ඩ දක්‍ෂතා දැක්වූ අකාරය යි. 

ඒ අනුව 2018-19 වයස අවුරුදු 19න් පහළ Cooch Behar Trophy තරගාවලිය පුරාවට සමස්ත ලකුණු 829ක් වාර්තා කරගනිමින් එම තරගාවලියේ සිව්වැනි වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ඔහු අනතුරුව පැවති වයස අවුරුදු 19න් පහළ ඉන්දීය ජාතික කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී ද ඉහළ දක්‍ෂතා අතරට පැමිණෙන්නට සමත් විය. 

පසුව Karnataka කණ්ඩායම නියෝජනය කරමින් Maharashtra කණ්ඩායමට එරෙහිව සිය මංගල Ranji Trophy තරගයට ක්‍රීඩා කරනු ලබන ඔහු එහි දී ද ලකුණු 77ක් වාර්තා කරගන්නේ අගනා ඉනිමක් ක්‍රීඩා කරමිනි. අනතුරුව එළඹි 2019-20 ක්‍රිකට් තරග වාරය ඔහුගේ ක්‍රිකට් දිවියේ සාර්ථක ම තරග වාරය බවට පෙන්වා දිය හැක.

Devdutt Padikkal
Karnataka කණ්ඩායම වෙනුවෙන් Devdutt තරගයකට ක්‍රීඩා කරමින් (ඡායාරූපය: https://sportstar.thehindu.com/)

එහි දී Karnataka කණ්ඩායම වෙනුවෙන් සෑම තරග ආකෘතියක දීම වැඩිම ලකුණු ලාභියා බවට පත්වන ඔහු පන්දුවාර 50 Vijay Hazare තරගාවලියේ දී ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 67.66ක් ද සමඟින් සමස්ත ලකුණු 609ක්, පන්දුවාර 20 Syed Mushtaq Ali තරගාවලියේ දී 175.75ක ඉහළ ලකුණු ලබාගැනීමේ වේගයක් සහ 40.56ක ලකුණු ලබාගැනීමේ සාමාන්‍යයක් සමඟ සමස්ත ලකුණු 580ක් සහ Ranji Trophy තරගාවලියේ දී තරග 10ක දී ක්‍රීඩා කරනු ලැබූ ඉනිම් 19ක් තුළ 40.56ක සාමාන්‍යයක් පවත්වා ගනිමින් සමස්ත ලකුණු 649ක් වාර්තා කරගනිමින් විශිෂ්ට දස්කම් දක්වන්නට සමත් විය. මේ දක්‍ෂතා සියල්ල හමුවේ මේ වන විට Gray Nicolls සමාගම විසින් ඔහුට ඔහු වෙනුවෙන් ම විශේෂිත වූ ක්‍රිකට් පිති ද නිෂ්පාදනය කරනු ලබයි. 

ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව සිය අධ්‍යාපනය කටයුතු වලදීත් සුවිශේෂී දක්‍ෂතා දක්වන ඔහු සිය 10 ශ්‍රේණි විභාගයේ දී 96%ක ඉතා ඉහළ ලකුණු සංඛ්‍යාවක් වාර්තා කරගැනීමට සමත්වන අතර මෙවර IPL තරගාවලියට එක්වීමට පෙර ඔහු සිය ව්‍යාපාර කළමනාකරණ උපාධියේ සිව්වැනි අධ්‍යයන වාර විභාගයට පෙනී සිටිනු ලැබීය. ඒ අනුව ඔහු විශ්වාස කරන්නේ හොඳ අධ්‍යාපන පසුබිමක් තුළින් ඔහුට ක්‍රිකට් ක්‍රීඩාවට වඩාත් හොඳින් අවධානය යොමුකිරීමට අවකාශය සැලසෙනු ඇති බවයි. 

Devduttගේ IPL තරගාවලි ඉතිහාසය ගත්විට පසුගිය වසරේ තරගාවලිය සඳහා ඔහුව RCB කණ්ඩායම විසින් සිය සංචිතයට එක්කරගනු ලැබුවත් එහි දී ඔහුට කණ්ඩායම නියෝජනය කරමින් තරගයකට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමිවුණේ නැත. ඒ අනුව ඔහුට එම අවස්ථාව හිමිවන්නේ මෙම වසරේ ඔවුන් ක්‍රීඩා කරනු ලැබූ පළමු තරගය ලෙස පැවති SRH කණ්ඩායම සමඟ තරගයේ දීය. එහි දී අර්ධ ශතකයක් වාර්තා කරගනිමින් දැක්වූ දක්‍ෂතා හමුවේ මේ වන විට කාගේත් අවධානය ඔහු වෙත යොමු වී අවසන් ය. 

තවත් කියවන්න;

ඔහුගේ එම ඉනිම පිළිබඳව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) සභාපති, හිටපු ඉන්දීය නායකයෙකු මෙන්ම ප්‍රබල පිතිකරුවෙකු වන Sourav Ganuguly සිය නිල Twitter ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ;

“Devdutt Padikkal ක්‍රීඩා කරනවා බලන් ඉඳලා ලොකු සතුටක් ලැබුවා. වමත් පිතිකරුවෙකුගේ ලාලිත්‍ය ඔහු සතුව තියෙනවා. ඇත්තටම ඒක ලොකු සතුටක්”

සිය දක්‍ෂතා තුළින් Devdutt මේ වන විටත් කා අතරත් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව අවසන් ය. දැන් එළඹෙන්නේ ඔහුගේ ක්‍රිකට් අභියෝගාත්මකම මෙන්ම තීරණාත්මක ම අවධිය යි. ඔහු වටා ගොඩනැඟී ඇති උණුසුම සහ බලාපොරොත්තුවලට ඔහු සිය පිත්තෙන් පිළිතුරු ලබා දීමට සමත් වන්නේ කෙසේ දැයි ඒ අනුව අප සැමට මෙවර IPL තරගාවලිය පුරාවට දැකගැනීමට හැකියාව ලැබෙනු ඇති බව නොඅනුමාන ය. 

මූලාශ්‍ර – 

  • Hindustantimes.com
  • economictimes.indiatimes.com

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<