Home Sinhala Jaffna Kings නොකඩවා තෙවැනි වරටත් LPL ශූරතාවයට

Jaffna Kings නොකඩවා තෙවැනි වරටත් LPL ශූරතාවයට

ලංකා ප්‍රිමියර් ලීගය 2022

388

2022 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය, Colombo Stars සහ Jaffna Kings අතර, අද (23) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වුනේ කඩුලු දෙකක තියුණු ජයක් ලබා ගත් Kings නොකඩවා තෙවැනි වරටත් LPL ශූරතාවයක් ජයග්‍රහණය කරමිනුයි.

අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැත්වුණු Qualifiers තරගවල දී Kandy Falcons පරාජය කරමින් මේ කණ්ඩායම් දෙකම අවසන් මහා තරගයට පැමිණියා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් Kings නායක තිසර පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර කණ්ඩායම් දෙකම අවසන් වරට ක්‍රීඩා කළ සංචිතයේ වෙනසක් සිදු නොකරමින් මේ තරගයට අවතීර්ණ වුනා.

චන්දිමාල් සහ නිශාන් Stars ඉනිම ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනාගේ සබඳතාවය පළමු පන්දුවාරය තුලම බිඳ දමමින් නිශාන්ව දවා ගැනීමට තිසර සමත් වුනා.

අසලංක සමඟ එක්වූ චන්දිමාල් Powerplay අවස්ථාව තුල 55/1ක් ලෙස Stars ලකුණු පුවරුව වර්ධනය කරමින් හොඳ ස්ථාවර ආරම්භයක් ලබා දුන්නා. 

අසලංක සහ චන්දිමාල් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 53ක් තුල ලකුණු 75ක සබඳතාවයක් ගොඩනංවමින් තිසර ඇතුළු වත්මන් LPL ශූරයින් වන Kings ක්‍රීඩකයින් වෙත හොඳ පීඩනයක් එල්ල කළා.

පෙර තරගයේ දී අර්ධ ශතකයක් ලබා ගත් අසලංක වෙල්ලාලගේ ක්‍රියාත්මක කළ 10 වැනි පන්දුවාරයේ දී වියස්කාන්ත් වෙත උඩපන්දුවක් ලබා දෙමින් දැවී යාමත් සමඟ පන්දු 23ක් තුල ලකුණු 31ක් ලබා ගත් අසලංකගේ ඉනිම අවසන් වුනා. 

ඉනිමේ මුල්පෙළ ස්ථාවර කිරීමට සවියක් වුනු චන්දිමාල් සිය අර්ධ ශතකයට තවත් ලකුණක් මෙපිටින් සිටිය දී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යමකට හසුවුනා. Deep square leg කලාපයේ සිට දක්ෂ ලෙස පන්දුව කඩුලු රකින ක්‍රීඩකයා වෙත යොමු කරමින් Zaman Khan දැක්වූ දස්කම චන්දිමාල්ගේ තීරණාත්මක කඩුල්ල දවා ගැනීමට Kingsට සවියක් වුනා.

පන්දු 40ක දී 4 පහර 4ක් සහ 6 පහරක් එල්ල කරමින් චන්දිමාල් එම ලකුණු 49ක් ලබා ගත්තා. මැතිව්ස් ලකුණු 12යි.

සෙමින් සීරුවේ ඉනිමේ ආරම්භය ලබා ගත් Bopara Nabi සමඟ එක්වෙමින් 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 19ක දී ලකුණු 45ක සබඳතාවයක් ගොඩනැංවූවා.

10 වැනි පන්දුවාරයේ සිට Stars ඉනිමේ අවසානය දක්වා කඩුල්ලේ රැඳී සිටි Bopara පන්දු 33ක දී නොදැවී ලකුණු 47*ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිම 4 පහරකින් සහ 6 පහර 3කින් අලංකාරවත් වුනා.

අවසානයේ දී Stars නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 163ක් ලබා ගත්තා. Stars ක්‍රීඩකයින් පන්දුවාර 6ක දී Kings පන්දු යවන්නන්ට එරෙහිව ලකුණු 10කට වඩා ලබාගෙන තිබුණා. 

ලකුණු 164ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් අවිශ්ක සමඟ Gurbaz පිටියට පිවිසි අතර ඔවුන් දෙදෙනා පන්දු 25ක් තුල වේගවත් ලකුණු 49ක සබඳතාවයක් ගොඩනංවමින් Kings කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නා.

Stars වෙනුවෙන් රාජිත සහ Nabi මේ තරගයේ දී ආරම්භක පන්දු යවන්නන් දෙදෙනා ලෙස කටයුතු කළ අතර ලක්මාල් පන්දුවාර 14ක් යන තෙක් එකඳු හෝ පන්දුවාරයක් ක්‍රියාත්මක කළේ නැහැ.

පළමු කඩුල්ලේ සබඳතාවය බිඳ දැමීමේ අරමුණ ඇතිව පන්දු යැවීමේ වෙනසක් සිදු කිරීමට මැතිව්ස් තීරණය කළ අතර Howell ක්‍රියාත්මක කළ පළමු පන්දුවාරයේ දී ම Gurbazගේ කඩුල්ල දවා ගැනීමට Howell සමත් වුනා.

ප්‍රහාරාත්මක වේගය 200ක රඳවා ගත් Gurbaz පන්දු 18ක දී ලකුණු 36ක් ලබා ගත්තේ 4 පහර 4ක් සහ 6 පහර 2ක් එල්ල කරමින්. Kings කණ්ඩායම Powerplay පන්දුවාර 6 තුල කඩුල්ලක් දැවී ලකුණු 52ක් ලබා ගත්තා. Afifගේ කඩුල්ල දවා ගැනීම වෙනුවෙන් මැතිව්ස් short extra cover කලාපයේ සිට සුපිරි ගණයේ උඩපන්දුවක් රැකගත්තා. 

ඉන් අනතුරුව Kings ඉනිම තුල වාර්තා වුනු හොඳම සබඳතාවය තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ අවිශ්ක සහ සදීර පන්දු 49ක දී ලකුණු 72ක සබඳතාවයක් ගොඩනැංවූවා.

ඔවුන් දෙදෙනා ඉතාමත් හොඳ දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙන පන්දුවට පහර දුන් අතර 14 වැනි පන්දුවාරයේ දී සිය පළමු පන්දුවාරය ක්‍රියාත්මක කළ ලක්මාල් පන්දු 27ක් තුල ලකුණු 44ක් ලබාගෙන Starsට හිසරදයක් වෙමින් සිටි සදීරගේ කඩුල්ල දවා ගත්තා. සදීරගේ එම ලකුණු 44 ඉනිම 4 පහර 6කින් සහ 6 පහරකින් හැඩගැන්වුනා.

Kings පන්දුවාර 16ක් අවසන් වන විට කඩුලු 3ක් දැවී ලකුණු 137ක් ලබාගෙන සිටි අතර ඔවුන්ට එතැන් පටන් ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය වුනේ පන්දු 24ක් තුල ලකුණු 27ක් පමණයි.

පන්දුවාර 19ක් පුරාවට කඩුල්ලේ රැඳී සිටි අවිශ්ක පන්දු 43ක් තුල 4 පහර 4ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් ලකුණු 50ක් ලබාගෙන සිටිය දී ලක්මාල්ගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

ලක්මාල් ඇතුළු Stars ක්‍රීඩකයින් මැතිව්ස් සමඟ එක්ව උපක්‍රමශීලි ලෙස අවසන් පන්දුවාරය දක්වා තරගය රැගෙන ඒමට සමත් වුනු අතර අවසන් පන්දු 6ට ලකුණු 6ක් Kings ඉලක්කය වුනා.

කෙසේ නමුත් තිසර ඇතුළු Kings පසුපෙළ පිතිකරුවන් එම ඉලක්කය පන්දු 4ක් තිබිය දී හඹා ගියේ නොකඩවා තෙවැනි වරටත් LPL ශූරතාවය සියතට ගනිමින්.

Result


Jaffna Kings
164/8 (19.2)

Colombo Stars
163/5 (20)

Batsmen R B 4s 6s SR
Nishan Madushka c Sadeera Samarawickrama b Thisara Perera 1 3 0 0 33.33
Dinesh Chandimal run out (Sadeera Samarawickrama) 49 40 4 1 122.50
Charith Asalanka c Vijayakanth Viyaskanth b Dunith wellalage 31 23 3 1 134.78
Ravi Bopara not out 47 33 1 3 142.42
Angelo Mathews b Mahesh Theekshana 12 11 0 1 109.09
Mohammad Nabi c Sadeera Samarawickrama b Binura Fernando 15 9 0 1 166.67
Benny Howell not out 1 1 0 0 100.00


Extras 7 (b 0 , lb 2 , nb 0, w 5, pen 0)
Total 163/5 (20 Overs, RR: 8.15)
Bowling O M R W Econ
Thisara Perera 2 0 16 1 8.00
Binura Fernando 4 0 48 1 12.00
Mahesh Theekshana 4 0 34 1 8.50
Zaman Khan 2 0 21 0 10.50
Vijayakanth Viyaskanth 4 0 24 0 6.00
Dunith wellalage 4 0 18 1 4.50


Batsmen R B 4s 6s SR
Rahmanullah Gurbaz c Kasun Rajitha b Benny Howell 36 18 4 2 200.00
Avishka Fernando c Nawod Paranavithana b Suranga Lakmal 50 43 4 1 116.28
Afif Hossain c Angelo Mathews b Benny Howell 3 10 0 0 30.00
Sadeera Samarawickrama c Angelo Mathews b Suranga Lakmal 44 27 6 1 162.96
Shoaib Malik b Suranga Lakmal 10 6 0 1 166.67
Dunith wellalage c & b Mohammad Nabi 2 4 0 0 50.00
Thisara Perera c Dominic Drakes b Kasun Rajitha 6 6 1 0 100.00
Mahesh Theekshana run out (Ravindu Fernando) 1 1 0 0 100.00
Binura Fernando not out 4 1 1 0 400.00
Vijayakanth Viyaskanth not out 0 0 0 0 0.00


Extras 8 (b 0 , lb 1 , nb 0, w 7, pen 0)
Total 164/8 (19.2 Overs, RR: 8.48)
Bowling O M R W Econ
Kasun Rajitha 3.2 0 27 1 8.44
Mohammad Nabi 4 0 42 1 10.50
Seekkuge Prasanna 0.4 0 11 0 27.50
Ravi Bopara 1.2 0 14 0 11.67
Benny Howell 3 0 17 2 5.67
Charith Asalanka 2 0 15 0 7.50
Dominic Drakes 2 0 14 0 7.00
Suranga Lakmal 3 0 23 3 7.67



දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතුවිත්ති ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<