ඩෙන්මාර්කය විසින් වේල්සය අසරණ කරද්දී ඉතාලියට තියුණු ජයක්

Euro 2020

137

මේ වන විට පාපන්දු ලෝලීන්ගේ අවධානය දිනා ගනිමින් ක්‍රියාත්මක වන Euro 2020 තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයේ පළමු තරග ද්විත්වය මෙවර වේලාවෙන් ඊයේ (26) සහ අද (27) උදෑසන පැවැත්වුනා.

එහි දී වේල්සය ගෝල 4-0ක් ලෙස පරාජය කරමින් ඩෙන්මාර්කයත්, ඔස්ට්‍රියාව ගෝල 2-1ක් ලෙස පරාජය කරමින් ඉතාලියත් ජයග්‍රහණ ලබා ගන්නට සමත් වුනා.

Wales v Denmark

Amsterdam හි Johan Cruyff Arena ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ගෝල 04-00ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට ප්‍රබල ඩෙන්මාර්කය සමත් වුනා. 

පෙර පැවති තරග වටය අවසානයේ දී A කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගනිමින් වේල්ස් කණ්ඩායම අවසන් 16 දෙනා අතරට පිවිසි අතර තරගාවලියේ ආරම්භක තරග ද්විත්වය පරාජය වූ ඩෙන්මාර්කය අවසානයේ දී පැවති තරග ජයග්‍රහණ කරමින් B කාණ්ඩයේ දෙවැනියා වෙමින් අවසන් 16 පිවිසියා. 

තරග ආරම්භයෙන් 27 වැනි මිනිත්තුවේ දී ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට ඩෙන්මාර්ක් ක්‍රීඩකයින් සමත් වුනේ Kasper Dolberg දක්ෂ ලෙස පාලනය කරමින් ඉදිරියට රැගෙන ආ පන්දුවක් සාර්ථකව ගෝල රකින්නා මග හරිමින් ගෝලයේ දකුණු පස පහළ කෙළවරින් ගෝලය තුලට එල්ල කරමින්.

තරගයේ දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු 3ක් යන විට Dolberg විසින් සිය දෙවැනි ගෝලය වාර්තා කරන්නට සමත් වුනා. ප්‍රතිවාදි වේල්ස් ක්‍රීඩකයෙකු විසින් ගෝලයෙන් ඉවතට එල්ල කළ පහරක් සාර්ථකව ලබා ගනිමින් එය දැල තුලට යොමු කරන්නට ඔහු සමත් වුනේ ගෝල රකින්නාට එම ගෝලය නවත්තන්නට ඉඩක් නොතබමින්.

ඉන් අනතුරුව ඩෙන්මාර්කය විසින් සිය තෙවැනි ගෝලය වාර්තා කරන්නට සමත් වුනේ තරගයේ 88 වැනි මිනිත්තුවේ දීයි. Joakim Mæhle විසින් ගෝලයේ දකුණු පස පහළ කෙළවරින් දැල තුලට එල්ල කළ එම ගෝලයත් සමඟින් වේල්ස් කණ්ඩායමේ පීඩනය දෙගුණ තෙගුණ වුනා. 

තරගයේ අතිරේක මිනිත්තුවේ දී සිය සිව්වැනි ගෝලයත් වාර්තා කරගන්නට ඩෙන්මාර්ක් ක්‍රීඩකයින් සමත් වුනා. සාර්ථකව ප්‍රතිවාදී ක්‍රීඩකයින් මුලා කරමින් පන්දුව හැසිර වූ Martin Braithwaite විසින් ගෝලයේ වම් පහස පහළ කෙළවරින් පන්දුව දැල තුලට යොමු කළේ ගෝල 4-0ක් ලෙස තරගයේ ජයග්‍රහණය ඩෙන්මාර්කයට ලබා දෙමින්.

අවසන් ලකුණු තත්වය: ඩෙන්මාර්කය 04 – 00 වේල්සය 

ගෝල ලාභින්: 

  • ඩෙන්මාර්ක්: Kasper Dolberg 27’ & 48’, Joakim Mæhle 88’, Martin Braithwaite 90+4’

Italy v Austria

ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් මෙම තරගයේ ජයග්‍රහණය ලබා ගන්නට සමත් වුනේ ප්‍රබල ඉතාලිය විසිනුයි. ඒ London නුවර Wembley ක්‍රීඩාංගණයේ දී ගෝල 2-1ක් ලෙස ප්‍රතිවාදී ඔස්ට්‍රියාව පරාජය කරමින්.

A කාණ්ඩයේ අපරාජිතව ප්‍රථම ස්ථානය දිනා ගනිමින් ඉතාලිය අවසන් 16 පිවිසෙද්දී, එක් තරගයක් පරාජය වෙමින් C කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගනිමින් ඔස්ට්‍රියාව අවසන් 16 දෙනා අතරට එක් වුනා.

තරගයේ ප්‍රථම අර්ධය නිමා වන විට කිසිදු ගෝලයක් වාර්තා කරන්නට දෙපිලේම ක්‍රීඩකයින් අසමත්ව තිබුණු අතර කණ්ඩායම් දෙකම තියුණු මුහුණුවරකින් සටන් කරනු දක්නට ලැබුණා.

65 වැනි මිනිත්තුවේ දී ඔස්ට්‍රියානුවන් විසින් ගෝලයක් වාර්තා කළත්, Off Side නීතිය හමුවේ එම ගෝලය නිශ්ප්‍රභ වුනා.

දෙවැනි අර්ධය අවසන් වී අතිරේක කාලයක් සඳහා ඇදී ගිය තරගයේ ප්‍රථම ගෝලය වාර්තා කරන්නට ඉතාලිය සමත් වුනේ තරගයේ 95 වැනි මිනිත්තුවේ දීයි. Federico Chiesa විසින් ලබා ගත් එම ගෝලයත් සමඟින් තරගයේ පෙරමුණ ඉතාලිය සතු වුනා.

ඉන් මිනිත්තු 10ක් ගත වන විට ඉතාලිය විසින් සිය දෙවැනි ගෝලයත් වාර්තා කරගන්නට සමත් වුනා. Matteo Pessina විසින් ගෝල රාමුව අසල දී ලබා ගත් පන්දුවක් සාර්ථකව ගෝලය මැදින් දැල්ගත කළේ ඔස්ට්‍රියාවට දැඩි පීඩනයක් එල්ල කරමින්. 

තරගයේ 113 වැනි මිනිත්තුවේ දී පැතිපහර අවස්ථාවක් ලබා ගත් Roberto Mancini විසින් එල්ල කළ පන්දුවක් සාර්ථකව හිසින් ගෝලය අසල දීම දැල තුලට යොමු කරන්නට Sasa Kalajdzic සමත් වුනේ ඔස්ට්‍රියානුවන්ගේ ප්‍රතීඝෝෂා දෙගුණ තෙගුණ කරමින්. 

කෙසේ නමුත් තරගයේ අතිරේක කාලය අවසන් වීමත් සමඟින් ඉතාලිය මෙම තරගය ජයග්‍රහණය කළේ ගෝල 2-1ක් ලෙස ප්‍රතිවාදීන් පරාජය කරමිනුයි.

අවසන් ලකුණු තත්වය: ඉතාලිය 2 – 1 ඔස්ට්‍රියාව

ගෝල ලාභීන්: 

  • ඉතාලිය: Federico Chiesa 95’, Matteo Pessina 105’
  • ඔස්ට්‍රියාව: Sasa Kalajdzic 113’

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<