පරාජයෙන් පසුව පාකිස්තාන නායකයාගේ අදහස

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

1763

අවසන් පන්දුව දක්වා උණුසුම් තියුණු සටනකින් අවසන් වූ විස්සයි විස්ස ලෝක කුසලානයේ ඉන්දීය පාකිස්තාන තරගයෙන් පසුව පාකිස්තාන නායකයා මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා.

ලකුණු 160ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම මුල දී ඉතා පසුබෑමකට ලක්ව තිබුනත්, Virat Kohli සහ Hardik Pandya අගනා ඉනිම් දියත් කරමින් තරගය ඉන්දීය කණ්ඩායම දෙසට රැගෙන ආවා.

තරගයේ අවසන් පන්දුවාරයේ දී Mohammad Nawazට එරෙහිව ලකුණු 16ක් ලබා ගනිමින් ඉන්දියාව තරගය ජයග්‍රහණය කරද්දී, Virat Kohli පන්දු 53ක දී නොදැවී ලකුණු 82ක් සහ Hardik Pandya පන්දු 37ක දී ලකුණු 40ක් ලබා ගැනීමට සමත් වුනා.

එම තරගයේ ලද පරාජයෙන් පසුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් පාකිස්තාන නායක Babar Azam ප්‍රකාශ කර තිබුණේ,

“මුල දී පන්දු යවන්නන් පන්දු යැවූ ආකාරය ඉතාම විශිෂ්ටයි. Virat Kohli සහ Hardik Pandya තරගය අවසන් කළ ආකාරයට ගෞරව කළ යුතුයි. අපගේ මූලික සැලසුම වුනේ කඩුල්ලක් දවා ගැනීමයි. ඒ නිසා අපගේ ප්‍රධාන පන්දු යවන්නා ගෙන එමින් ඔවුන්ට අමතර පීඩනයක් ලබා දිය යුතු බව මට හැඟුණා.”

අවසන් පන්දුවාරයට ලකුණු 16ක් අවශ්‍ය වූ විට ක්‍රියාත්මක වූ Mohammad Nawaz පළමු පන්දුවේම Hardik Pandya දවා ගැනීමට සමත් වූවත්, නිපන්දුවකට එල්ල කළ හයේ පහර, නිදහස් පහරක් ක්‍රියාත්මක වූ අවස්ථාවේ පන්දුව කඩුල්ලේ වැදී ලකුණු 3ක් බවට පත් වීම සහ ඔහු විසින් යොමු කළ වයිඩ් පන්දු නිසා තරගය ඉන්දියාවට ජය දෙමින් අවසන් වුනා.

“ඔබ දකින්න ඇති තරගයේ අවසන් පන්දුවාරය ද තියුණු එකක් වුනා වගේම ඒක අවසන් පන්දුව දක්වා ඇදී ගියා. එවැනි පීඩනයක් යටතේ, එවැනි තත්වයක් යටතේ එලෙස පන්දු යැවීම ගැන ඔහුට ගෞරවය ලබා දෙන්න ඕන. මේක ඔහුට දේවල් ඉගෙන ගන්න හොඳ අත්දැකීමක් වෙයි. අනාගතයේ ඔහු මේ වගේ අවස්ථාවලට මුහුණ දෙද්දී.

අපිට එයාව කලින් යොදා ගන්න තිබුණා, ඒත් අපිට ඕන වුනේ තරගය ගැඹුරට අරගෙන යන්න. ඔහුට එරෙහිව ප්‍රහාරයක් දියත් කරන්න අවස්ථාවක් තිබුණ නිසා අපට හිතුණේ කඩුල්ලක් දවා ගැනීම හොඳ බවයි.

නමුත් ඔවුන් ඉතා බුද්ධිමත්ව ක්‍රීඩා කළා. අපිට දඟපන්දු යවන්නෙකුගේ පන්දු වාරයක් තියෙනවා කියලා ඔවුන් දැනගෙන හිටියා. අවාසනාවන්ත ලෙස අවසන් පන්දුවාරයේ නිපන්දුවක් සහ වයිඩ් පන්දු යැවීම ගැනයි කලකිරීම,” යැයි අවසන් පන්දුවාරය ගැන අදහස් දක්වමින් Azam ප්‍රකාශ කළා.

ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 4ක් තුළ ලකුණු 48ක් ලබා ගැනීමට තිබිය දී 17 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ Shaheen Afridi ලකුණු 17ක් ලබා දීම පරාජයට හේතු වූවා ද යන්න මාධ්‍යවේදියෙකු විමසූ විට Azam ප්‍රකාශ කළේ,

“නැහැ එහෙම දෙයක් නැහැ, ආබාධයක් වෙලා ඉඳලා කාලයකට පස්සේ ක්‍රීඩා පිටියට ඇවිත් ඔහු ක්‍රීඩා කළ ආකාරය ගැන මම පුදුමයට පත් වුනා. පන්දු යවන්නෙකු ටික කාලයකින් ආපසු පැමිණ විට ඔහුට හැඩගැසෙන්න කාලයක් ගත වෙයි.”

එමෙන්ම Virat Kohli තරගය වෙනස් කළ ආකාරය පිළිබඳව අදහස් දක්වමින් Azam ප්‍රකාශ කළේ,

“ඉන්දියාව සහ පාකිස්තානය ක්‍රීඩා කරන සෑම විටම ඔබට අමතර පීඩනයක් එනවා. එය ඔබ ජය ගත යුතුයි. මේ නිසයි ඔහු දැවැන්ත ක්‍රීඩකයෙක් වෙන්නේ. මුල දී ඔහු පීඩනයට ලක් වෙනවා දක්නට ලැබුනත්, ඔහුගේ ඉනිම සහ ඔවුන් සම්බන්ධතාව ගොඩ නැගූ ආකාරය තරගය වෙනස් කළා.

ඔහු සමහර අවස්ථාවල දී පසුබෑමකට ලක් වෙනවා මම දැකලා තියෙනවා. නමුත් ඔහු නැවත පැමිණ විශාල ඉනිමක් ක්‍රීඩා කළ අකාරය ඔහුගේ විශ්වාසය ගොඩක් වැඩි කරනවා. ඔබ එවැනි තරග ජයග්‍රහණය කරන විට පුද්ගලයාට විශාල විශ්වාසයක් ඇති වී මානසික මට්ටම ඉහළ යනවා.”

එම තරගයේ පරාජයෙන් පසුව තරගාවලියේ ඉදිරිය ගැන අදහස් දැක්වූ Azam ප්‍රකාශ කළේ,

“අපට විශ්වාසයි, අපි මේකෙන් ඉගෙන ගන්න ඕන. මේක හොඳ වගේම අත්වැරදීම් තිබ්බා. අපි මේ ගැන කතා කළ යුතුයි. තරගාවලිය තවම ආරම්භ වුනා විතරයි තවත් දුර යා යුතුයි. ඒ නිසා අපි ඉක්මනින් එය අමතක කළ යුතුයි. අපිට තවත් තරග තියෙන නිසා අපි ඒවාට සූදානම් වෙන්න ඕන”

Cricbuzz ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<