Messiගේ සුරඟන සහකරු Di Maria

681

ආජන්ටිනාව ලෝක කුසලානය ජයග්‍රහණය කරලා ඉවරයි දැන්. ඒක Messiගේ ලෝක කුසලානය විදිහට බොහෝ දෙනෙක් හඳුන්වලා දේවි. එ්ත් Messiගේ දීර්ඝ කාලීන කණ්ඩායම් සගයා Angel Di Maria, මේ ඔහුගෙත් අවසාන ලෝක කුසලානය වෙන්න ඉඩ බොහෝම වැඩියි.

අපිට Di Mariaගෙන් තොරව ආජන්ටිනා ජයග්‍රහණය ගැන කතා කරන්න බැහැ.

මේක Di Mariaගෙත් ලෝක කුසලානය!

පසුගිය ඉරිදා ‍රාත්‍රිය Messiගේ රාත්‍රිය බවට පත් කිරීමේ ප්‍රධානතම පුරුක වුනේ Angela Di Maria බව ඕනෑම කෙනෙක් පිළිගන්න මැලි නොවන සත්‍යයක්.

Messi සහ Maria අතර ඇති වෙන බැඳීම මීට ගොඩ කාලයක් ඈතට යන එකක්.

Messi උපත ලබන්නේ 1987 ජුනි 24 වැනිදා. ඒ ආජන්ටිනාවේ රොසයිරෝ වලදී.

Di Maria උපත ලබන්නේ 1988 පෙබරවාරි 14 වැනිදා, ඔහුගෙත් උපන් නගරය වෙන්නේ රොසයිරෝ ම තමයි.

එකම ප්‍රදේශයක ඉපදිලා ආසන වශයෙන් එකම කාලයක ඔවුන් ආජන්ටිනාව නියෝජනය කරන්න එකම කණ්ඩායමකට එකතු වෙනවා.

මේ කතාව ආරම්භ වෙන්නේ එතැනින්.

මේ දෙදෙනා මීට පෙර ලෝක කුසලාන ජයග්‍රහණය කරලා නොතිබුණා වුනත් ලෝක කුසලාන පරාජය වෙලා තියෙනවා.

කෝපා ඇමෙරිකා තරගාවලි පරාජය වෙලා තියෙනවා.

ඒ වගේම කෝපා ඇමෙරිකා තරගාවලි ජයග්‍රහණය කරලත් තියෙනවා.

ඔලිම්පික් රන් පදක්කමකුත් දිනා ගෙන තියෙනවා.

සරලවම කියනවා නම් මෙ දෙන්නා අවුරුදු 14ක් පුරා වට එකම කණ්ඩායමක් වෙනුවෙන්, තමන්ගේ රට වෙනුවෙන් එකට එකතු වෙලා තරග දිනවලා දීලා තියෙනවා.

පරාජයන් වල දී එකට කඳුළු සලලා තියෙනවා.

ඒ නිසා තමයි පසුගිය ඉරිදා තමන් අතට පත් මුලින්ම ලැබුණු පාපන්දු ලෝක කුසලානය Messi විසින් ඔහුගේ දේව දූතයා Di Mariaගේ අතට ඊළඟට දෙන්නේ.

එදා අවසන් මහා තරගයේ දී Di Maria තමයි තරගය ආජන්ටිනාව දෙසට හරවන්න මූලිකත්වය ගන්නේ.

ප්‍රංශ ආරක්ෂක වළල්ල බිඳ හෙළමින් ගෝල සීමාව වෙතට එන Maria කෙසේ හෝ දඬුවම් පහරක් දිනා ගන්න සමත් වෙනවා.

ඒ උත්සාහය සාර්ථක අවසානයක් කරා ගෙන යන්නේ Messi සමත් වෙනවා.

ඒ සිදුවීමෙන් මිනිත්තු පහළොවක් ගෙවෙන්නත් කලින් Di Maria තමන්ගේ ජීවිතයේ ලබා ගත්තු වටිනා ම ගෝලය ලබා ගන්න සමත් වෙනවා.

ආජන්ටිනා කණ්ඩායම ගෝල 2-0ක් විදිහට ඉදිරියක් එක්ක ප්‍රංශ කණ්ඩායමේ ආත්ම විශ්වාසය බිංදුවට ම ඇදලා දාන්න සමත් වෙනවා.

ඒ ලබා ගත්ත ගෝලය මොන තරම් වටින එකක් ද කියලා දැනෙන්නේ ඒ වෙලාවේ Di Mariaගේ ඇස් වල තිබුණු කඳුළුවලින්.

ඒවා සතුටු කඳුළු!

ප්‍රංශය ගෝල වාර්තා කරන්න පටන් ගන්නේ තරගයේ මිනිත්තු 60ක් ගෙවිලා Di Mariaව නැවත පිටියෙන් එළියට ගත්තයිනුත් පස්සෙයි.

Di Maria ක්‍රොඒෂියා කණ්ඩායම එක්ක අවසන් පූර්ව තරගය ක්‍රීඩා කරන්නෙත් නැහැ. ඔහුගේ කකුලේ ආබාධයක් එක්ක තමයි Mariaට මෙවර තරගාවලිය ක්‍රීඩා කරන්න වෙන්නේ. ඒ නිසා ඔහුට සියයට සියයක් ම තමන්ගේ දායකත්වය ආජන්ටිනා කණ්ඩායමට දෙන්න බැරි වෙනවා.

අවසන් මහා තරගයේ ආරම්භයේ පටන් තරගයේ ජයග්‍රහණයට ලොකු ම බලපෑම කළ Maria තරගය අතර මැද දී පිටියෙන් ඉවත් කර ගන්න ආජන්ටිනා පුහුණුකරු Lionel Scaloni තීරණය කරන්නේ Di Mariaගේ ආබාධය නිසා කියලයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

තරගය ආරම්භයට පෙර ඉඳන් ම බොහෝ ආජන්ටිනා පාපන්දු රසිකයින් කියපු දෙයක් තමයි Di Maria අවසන් මහා තරගය ක්‍රීඩා කළ යුතු කෙනෙක් කියලා.

මොකද Di Maria කියන්නේ Big Game Player කෙනෙක්.

Messi සහ Di Mariaගේ සුසංයෝගය මුලින් ම ජයග්‍රහණය කළේ 2008 ඔලිම්පික් උළෙලේ පාපන්දු රන් පදක්කම.

එදා තරගාවලියේ රන් පදක්කම සඳහා තරගය පැවැත්වෙන්නේ ආජන්ටිනාව සහ නයිජීරියා කණ්ඩායම් දෙක අතර.

Di Maria කියන්නේ Big Game Player කෙනෙක් කියලා මුලින් ම තහවුරු වෙන්නේ ඒ තරගයේ දීයි. මොකද එදා ආජන්ටිනාව නයිජීරියාවට එරෙහිව තරගය ජයග්‍රහණය කරන්නේ ගෝල 1-0ක් විදිහට. එදා ආජන්ටිනාව වෙනුවෙන් වාර්තා වුන එකම ගෝලය ලබා ගන්නේ Angel di Maria විසින්.

මීට කලින් 2007 දී ආජන්ටිනා කණ්ඩායම කෝපා ඇමරිකා තරගාවලිය ක්‍රීඩා කරනවා. අවසන් මහා තරගය පැවැත්වෙන්නේ බ්‍රසීලය සමඟ. එදා ඔවුන්ට බ්‍රසීලය හමුවේ පරාජය වෙන්න සිදු වෙනවා.

නමුත් එදා Di Maria ඒ ආජන්ටිනා කණ්ඩායමේ සාමාජිකයෙක් වෙන්නේ නැහැ.

නමුත් Messi නම් ඒ පරාජිත කණ්ඩායමේ හිටියා.

ආයෙත් වරක් ආජන්ටිනා කණ්ඩායම අවසන් මහා තරගයකට පිවිසෙන්නේ 2014 බ්‍රසීලයේ පැවැත්වුණ පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගය වෙනුවෙන්, එදා ඔවුන්ගේ ප්‍රතිවාදීන් වෙන්නේ සත්කාරක බ්‍රසීලය ගෝල 7-1ක් ලෙස පරාජය කරපු ජර්මානු කණ්ඩායම.

2014 තරගාවලියේ අවසන් මහා තරගය Di Mariaට අවාසනාවන්ත විදිහට මග හැරෙනවා.

අර්ධ අවසන් පූර්ව වටයේ බෙල්ජියම සමඟ පැවැත්වුණු තරගයේ දී Di Mariaගේ දණහිස පෙදෙසේ ඇති වුන ආබාධයක් නිසා ඔහුට තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරගය වගේම අවසන් මහා තරගයත් මග හැරී යනවා.

“බෙල්ජියම සමඟ තරගයේ දී මගේ ඇස්වල කඳුළු පිරිලා තිබුණා. මගේ කකුල සියයට සියයක් ම හොඳ තත්වයේ නෙවෙයි තිබුණේ. නමුත් මට ක්‍රීඩා කරන්න ඕන වුනා. එතැනින් එහාට මම ආයෙත් පාපන්දු ක්‍රීඩා කරාවිද නැද්ද කියන එක ගැන මම හිතුවේ නැහැ.

මොකද මම එහෙම තත්වයක ඉඳිද්දී දිගටම ක්‍රීඩා කළොත් වෙන්න පුළුවන් දරුණුතම දේ ඒක බව මට කියලා තිබුණා. නමුත් මගේ පැත්තෙන් ඒ ලෝක කුසලාන අවසන් මහා තරගය. ඒක මගේ අවසන් මහා තරගය.

නමුත් Real Madrid වලින් ලියුමක් ආවා, මම දන්නවා ඒ මගේ ආබාධය නිසා ක්‍රීඩා කරවන්න එපා කියලා ලියුමේ තියෙන බව. ඒ නිසා මට ඒක කියවන්න ඕන වුනේ නැහැ. මම ඒක ඉරලා දැම්මා.

මම ඉන්ජෙක්ශන් ගහලා ක්‍රීඩා කරන්නයි උත්සාහ කළේ. ඒත් අවසානයේ කණ්ඩායම් රැස්වීමේ දී ඔවුන් තීරණය  කළා මම වෙනුවට Enzo Perez ව ක්‍රීඩා කරවන්න.”

2014 ලෝක කුසලාන අවසන් මහා තරගය Di Maria ක්‍රීඩා කළා නම් සමහර විට ඒ ලෝක කුසලානය ආජන්ටිනාව සතු වෙන්න තිබුණා,

ඒ වගේම ඒ තරගයෙන් පස්සේ Di Mariaගේ ක්‍රීඩා ජීවිතයත් එතැනින් නතර වෙන්න ඉඩ තිබුණා.

මිනිස්සුන්ට ජීවිතයේ අමාරු තීරණ ගන්න වෙනවා, සමහර වෙලාවට අකමැත්තෙන් හරි සමහර තීරණවලට එකඟ වෙන්න වෙනවා.

2015 දී ආජන්ටිනා කණ්ඩායම කෝපා ඇමරිකා අවසන් මහා තරගයට පිවිසෙනවා. එදා අවසන් මහා තරගයේ දී චිලී කණ්ඩායම හමුවේ තවත් පරාජයක් උරුම කර ගන්නත් ඔවුන්ට සිදු වෙනවා.

ආයෙත් වතාවක් 2016 කෝපා ඇමරිකා අවසන් මහා තරගයකට ආජන්ටිනා කණ්ඩායම පිවිසෙනවා. එදාත් ඔවුන්ගේ ප්‍රතිවාදීන් වුනේ චිලී දේශයමයි. දඬුවම් පහර මගින් ජයග්‍රාහකයා තෝරපු මේ තරගයේ දී නැවත වරක් ආජන්ටිනා කණ්ඩායමට පරාජය වෙන්න සිද්ධ වෙනවා.

Lionel Messiට තමන්ට හිමි වුන දඬුවම් පහර මග හැරෙනවා.

ඒ පරාජය එක්ක තමයි Messi තමන් ක්‍රීඩාවෙන් සමු ගන්නවා කියන නිවේදනය පවා නිකුත් කරන්නේ.

මේ හැම කඳුළු පිරි පරාජිත කණ්ඩායමක් සමඟම Di Mariaත් ඉන්නවා සහ කඳුළු සලනවා.

ඒවා සතුටු කඳුළු නෙවෙයි, දුකට වැටෙන කඳුළු.

නමුත් නැවතත් Di Maria සහ Messi සුසංයෝගය ඇති වෙනවා. ඒක එහෙම සිදු වෙන්නේ ආජන්ටිනාවේ ම වාසනාවකට කියලා අද ඕනෑම කෙනෙක් පිළිගනීවී.

ඒත් ආජන්ටිනාවේ පරාජිත රැල්ල නතර එක පාරටම නතර වුනේ නැහැ.

2018 පාපන්දු ලෝක කුසලානයේ දී ඔවුන්ට කණ්ඩායම් 16 තරග වටයෙන් ඉවත් වෙන්න සිදු වෙන්නේ එවර ලෝක ශූරයින් වුනු ප්‍රංශ කණ්ඩායම හමුවේ ලද පරාජය නිසා.

එදාත් Di Maria ගෝලයක් රැස් කරන්න සමත් වෙනවා. නමුත් පසුගිය ඉරිදා වගේ ඒක ජයග්‍රාහී කණ්ඩායම වෙනුවෙන් ලබා ගත්ත ගෝලයක් වුනේ නැහැ.

2019 කෝපා ඇමරිකා තරගාවලියේත් අවසන් පූර්ව වටයෙන් බ්‍රසීලය හමුවේ පරාජය වෙන්න ආජන්ටිනාවට සිදු වෙනවා. ඔවුන්ට තරගාවලියේ හිමි වෙන්නේ තුන්වැනි ස්ථානය.

නැවත වරක් 2021 දී ආජන්ටිනාව කෝපා ඇමරිකා පාපන්දු කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලබනවා. එදා ඔවුන්ට ක්‍රීඩා කරන්න ලැබෙන්නේ 2014 ලෝක කුසලාන අවසන් මහා තරගය ක්‍රීඩා කළ බ්‍රසීලයේ මරකානා ක්‍රීඩාංගණයේ දීමයි.

2021 දී ආජන්ටිනාවේ ප්‍රතිවාදීන් වෙන්නේ සත්කාරක බ්‍රසීල කණ්ඩායම.

එදා 2008 ඔලිම්පික් රන් පදක්කම ජයග්‍රහණය කළායින් පස්සේ ආයෙත් ආජන්ටිනාවට ජය පැන් බොන්න අවස්ථාව හිමි වෙන්නේ 2021 කෝපා ඇමරිකා තරගාවලියේ දී.

තරගයේ වාර්තා වුණු එකම ගෝලය (ජයග්‍රාහී ගෝලය) වාර්තා කරන්න සමත් වෙන්නේ අපේ කතානායකයා Angel di Maria විසින්.

1993 වර්ෂයේ දී කෝපා ඇමරිකා තරගාවලියක් ජයග්‍රහණය කළායින් වසර 19කට පසුව තමයි නැවත 2021 දී ආජන්ටිනා කණ්ඩායම කෝපා ඇමරිකා පාපන්දු කුසලාන තරගාවලියක් ජයග්‍රහණය කරන්න සමත් වෙන්නේ.

ඔවුන් මෙතැනින් නතර වෙන්නෙත් නැහැ CONMEBOL–UEFA Cup of Champions තරගය (මෙම තරගය කෝපා ඇමරිකා ජයග්‍රාහකයින් සහ යුරෝපා තරගාවලියේ ජයග්‍රාහකයින් අතර පැවැත්වෙනවා) ජයග්‍රහණය කරන්නත් ආජන්ටිනාව සමත් වෙනවා.

ඒ තරගයෙන් ආජන්ටිනා කණ්ඩායම ඉතාලියට එරෙහිව ගෝල 3-0ක ජයග්‍රහණයක් හිමි කර ගනිද්දී එම තරගයේත් Di Maria ගෝලයක් රැස් කරන්න සමත් වෙනවා.

මේ තමයි 2022 පාපන්දු ලෝක කුසලානය වෙනකම් එන Messiගේ සහ Di Mariaගේ කතාව.

අපි කතාව පටන් ගත්ත 2008 සිට 2022 වෙන තෙක් ආජන්ටිනා පාපන්දු කණ්ඩායම සෑහෙන්න වෙනස්කම්වලට භාජනය වෙන්න ඇති. ඒත් වෙනස් නොවුනු එකම දේ තමයි Di Maria සහ Messi සුසංයෝගය.

Di Maria විසින් ආජන්ටිනා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ කතාව ඒ වගේ එකක්, ඒ වගේම ඔහුගේ පාපන්දු ලීග් ඉතිහාසයත් විවිධ හැල හැප්පීම් මධ්‍යයේ ගත කරපු එකක්. විශිෂ්ට දස්කම් වගේම, පසුබැසීම් වලටත් ලක් වුනු Di Mariaගේ පාපන්දු කතාව ඇතුළේ ඔහුට සහ Messiට PSG කණ්ඩායම වෙනුවෙන් ටික කාලයක් එකට ක්‍රීඩා කරන්න අවස්ථාව හිමි වෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තාවක Messi ගෙ සහ Di Maria ගේ බැඳීම ගැන PSG අලලා පොඩි අදහසක් දක්වලා තිබුණා.

නිවැරදි කිරීම්වලට ඉඩ තියලා ඒ කතාව සටහන් කරන්නම්.

“Messiගේ පවුල ප්‍රංශයේ සම්පූර්ණයෙන්ම ස්ථාවරව කල් ගෙවුවේ නැහැ, නමුත් Di Maria ඔහු සමඟ ඒ කාලයේ හිටපු එක ගැන හිතලා Messi සතුටින් ඉන්න ඇති.”

අපි කවුරුත් දන්නවා Angel කියන ඉංග්‍රීසි වචනයේ තේරුම දේව දූතයා කියලා.

ඇත්තටම Di Maria කියන්නේ ආජන්ටිනාවේ වගේම Messiගෙත් ලෝක කුසලාන සිහිනය සැබෑ කරන්න ආපු දේව දූතයෙක්!

ඔහු නොසිටින්න සමහර විට පසුගිය ඉරිදාව Messiගේ රාත්‍රිය නොවෙන්න ඉඩ තිබුණා!

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩාවේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමගින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<