“නායකත්වය නිසා පිතිකරණය වෙනස් වෙන්නේ නැහැ” – කුසල් මෙන්ඩිස්

ICC Cricket World Cup 2023

1110

ආබාධයක් හේතුවෙන් මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයෙන් නායක දසුන් ශානක ඉවත් කිරීමත් සමඟින් කුසල් මෙන්ඩිස් හට කණ්ඩායමේ නායකත්වය හිමි වුනා. 

ඒ අනුව හෙට (16) ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත තරගයෙන් ශ්‍රී ලංකාවේ 26 වැනි එක්දින නායකයා ලෙස කුසල් මෙන්ඩිස් සිය වගකීම් බාර ගනු ඇති. කුමන හෝ ක්‍රිකට් තරග රටාවකින් කුසල් විසින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායකත්වයට පත් වූ පළමු අවස්ථාව මෙය වුවත් මීට පෙර ඔහුට 2014 වසරේ දී ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට නායකත්වය ලබා දීමට අවස්ථාව හිමි වුනා. 

පළමුව, නායකත්වය ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. මම කලින් ක්‍රීඩා කරමින් සිටි ලෙසින් ම ඉදිරියටත් ක්‍රීඩා කරාවි. මොකද නායකත්වය කියන්නේ මට අලුත් දෙයක් නෙවෙයි. මම මීට පෙර වෙනත් කණ්ඩායම්වලට නායකත්වය ලබා දීලා තියෙනවා. ඒ වගේම Guwahati වල තිබුණු පුහුණු තරගයේ දීත් මම කණ්ඩායම මෙහෙයුවා. මම නායකයා වුනා කියලා කණ්ඩායම වෙනුවෙන් අවශ්‍ය මගේ ක්‍රීඩා විලාශයේ වෙනසක් වෙන්නේ නැහැ,” අද (15) සවස මෙන්ඩිස් සහභාගී වූ මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළා.

මේ වන විට මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම තුරුම්පුව බවට පත් වී ඇති මෙන්ඩිස් විසින් සිය ගිනිකෙළි පිතිකරණයේ පළමු ඉඟිය ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වුණු පුහුණු තරගයේ දී ලබා දුන්නේ ලකුණු 158ක දැවැන්ත ඉනිමක් ක්‍රියාත්මක කරමිනුයි.

පසුව ශ්‍රී ලංකාවේ පළමු ලෝක කුසලාන තරගය ලෙස දකුණු අප්‍රිකාව සමඟ ක්‍රීඩා කළ තරගයේ දී මෙන්ඩිස් විසින් හතරේ පහර 4ක් සහ හයේ පහර 8ක් සමඟින් පන්දු 42කින් ලකුණු 76ක් ලබා ගැනීමට සමත් වුනා.

මෙහි දී ඔහු විසින් ලබා ගත් ලකුණු 72ක් ම ඉනිමේ පළමු පන්දුවාර දහය තුළ වාර්තා වූ අතර, ආරම්භක පිතිකරුවෙකු නොවන අයෙකු විසින් ඉනිමක මුල් පන්දුවාර දහය තුළ ලබා ගත් ඉහළම ලකුණු ප්‍රමාණය ලෙසයි එය ක්‍රිකට් වාර්තා අතරට එක් වුනේ.

ඉන්පසුව මෙන්ඩිස් විසින් සිය එක්දින දිවියේ හොඳම ඉනිම පාකිස්තානයට එරෙහිව ක්‍රියාත්මක කළ අතර එහි දී ඔහු පන්දු 65කින් සිය ශතකය වාර්තා කරමින් ලෝක කුසලාන ඉතිහාසයේ වේගවත් ම ශ්‍රී ලාංකික ශතක ලාභියා ලෙස ද වාර්තා අතරට සිය නම එක් කර ගැනීමට සමත් වුනා. මෙහි දී ඔහුගේ ඉනිම ලකුණු 122කින් සීමා වුනා. 

පිතිකරණයේ යෙදෙන විදිහ වෙනස් කරන්න මම කැමති නැහැ. ලෝක කුසලානයට එන්න කලින් මම හිතුවේ නැහැ මම මේ වගේ ඉහළ ප්‍රහාරාත්මක වේගයක් සමඟ ක්‍රීඩා කරාවි කියලා. නමුත් පුහුණු තරග දෙක ක්‍රීඩා කිරීමෙන් පසුව මම තේරුම් ගත්තා මේ තණතීරු හොඳ නිසා මට ඉස්සර වගේ නිදහසේ ක්‍රීඩා කරන්න පුළුවන් කියලා.

පන්දු යවන්නන් ඔවුන්ගේ සැලසුම් සමඟ මට දැඩි ප්‍රහාර එල්ල කිරීමට ඉඩ ඇති නිසා මගේ ප්‍රවේශයේ දී මට ටිකක් ප්‍රවේසම් වෙන්න සිදු වේවි.

මම නායකයා වුනාට, මම පිතිකරණයේ යෙදෙන විදිහ වෙනස් කරන්නේ නැහැ, මොකද මම දන්නවා මම ලකුණු අතර හිටියොත් අපිට තරග දිනන්න පුළුවන් කියලා.” 

මෙන්ඩිස් තවදුරටත් සිය නායකත්වය සහ පිතිකරණය පිළිබඳ එසේ අදහස් පළ කළා. 

මේ අතර නායක දසුන්ගේ සහ මතීෂගේ ආබාධ තත්ව නිසා හිස් වන ස්ථාන දෙක හෙට තරගයේ දී වෙනත් ක්‍රීඩකයින් දෙදෙනෙකුගෙන් පිරවීමට සිදු වී තිබෙනවා. 

මෙහි දී දසුන් තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමත් සමඟින් අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ලෝක කුසලාන සංචිතය සමඟ එක් ව සිටි චාමික කරුණාරත්න ICC තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය ද සහිතව නිල වශයෙන් ශ්‍රී ලංකා සංචිතයට එක් කර තිබෙනවා. 

ඒ අනුව හෙට තරගයේ දී චාමික කණ්ඩායමට එක් වනු ඇති බවත්, ඊට අමතරව මතීෂ වෙනුවට ලහිරු කුමාර කණ්ඩායමේ ක්‍රීඩා කරනු ඇති බවත් වාර්තා වනවා.

තරගාවලිය ආරම්භ වීමට පෙර සිටම ශ්‍රී ලංකා පන්දු යැවීමේ බළඇණියට බලපෑම් සිදු කළ මෙම ආබාධ සම්බන්ධ ගැටලු තවදුරටත් උග්‍ර වීම අවාසනාවන්ත සිදුවීමක්. මෙවර තරගාවලියේ ක්‍රීඩා කළ තරග ද්විත්වයේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් පන්දුවාරයකට ලකුණු 7.86ක ඉහළ සාමාන්‍යයක් ද සහිතව පන්දුවාර 98.2ක දී ප්‍රතිවාදී පිතිකරුවන් වෙත ලකුණු 773ක් ලබා දී තිබෙන්නේ එහි බරපතළ බව මොනවට පිළිබිඹු කරමිනුයි. 

“අපි දන්නවා පිතිකරණයට හිතකර ඉන්දීය තණතීරුවල දී සෑම පන්දු බළඇණියක් ම තරමක අසීරුතාවකට පත් වෙනවා. අපි ඉක්මනට අනුවර්තනය විය යුතුයි, ඒ වගේම අපේ පන්දු යවන්නන් සිය උපරිමයෙන් ඔවුන්ගේ කොටස සිදු කරාවි කියලා මම දැඩි සේ විශ්වාස කරනවා. අපිට එරෙහිව පමණක් නෙවෙයි, හොඳ මට්ටමේ පන්දු බළඇණි පවා මෙම තණතීරුවල ලකුණු 300-350 සීමාවේ ලකුණු ලබා දෙනවා.

අපිට ක්ෂණිකව වෙනස්කම් රැසක් බලාපොරොත්තු වෙන්න බැහැ, නමුත් නායකයා ලෙස මගේ යුතුකම තමයි පුහුණු වීම්වල දී ඔවුන් කරන දේ අවබෝධ කර ගනිමින්, ඔවුන්ගේ උපරිමය ලබා ගැනීමට උත්සාහ කිරීම.

මුල් තරග ද්විත්වයේ දී ශ්‍රී ලංකා පන්දු යැවීමේ සිදු වූ වැරදි අඩුපාඩු ඉදිරියේ දී අවම වනු ඇති බවට මෙන්ඩිස්  විශ්වාසය පළ කරනවා.

නව නායක කුසල් මෙන්ඩිස් යටතේ ශ්‍රී ලංකාව හෙට දිනයේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව දක්වන දස්කම් පිළිබඳ මෙන්ම, 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ද ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<