ශ්‍රී ලංකාවට ආබාධ පිළිබඳ ගැටලු!

ICC Cricket World Cup 2023

17273

ක්‍රීඩක ආබාධ හේතුවෙන් 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ලක්නව් හි ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් ම සිදුවීමට ඉඩ ඇති බව ThePapare වෙත වාර්තා වනවා.

දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය හමුවේ සිය පළමු ලෝක කුසලාන තරග ද්විත්වය ම පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ තරග දෙක ඉන්දියාවේ ලක්නව් හි Ekana ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඕස්ට්‍රේලියාව (ඔක්තෝබර් 16) සහ නෙදර්ලන්තය (ඔක්තෝබර් 21) සමඟ පැවැත්වීමට නියමිතයි.

නමුත් පසුගිය තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් පෙරේරා සහ වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ යන දෙදෙනාට ම උරහිසේ යම් ආබාධ තත්ව මතු වී ඇති නිසා ඔවුන්ට ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත තරගය මග හැරී යාමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය බදාදා (11) හයිද්‍රාබාද් සිට ලක්නව් වෙත පියාසර කළ අතර ඔවුන් ඊයේ (12) සහ අද (13) දිනවල පුහුණුවීම් වල නිරත වන්නේ නැහැ. නමුත් සඳුදා පැවැත්වීමට නියමිත තරගය ඉලක්ක කර ගනිමින් 14 සහ 15 දින දෙකේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු සැසි දෙකකට සහභාගී වීමට නියමිතයි.

කුසල් පෙරේරා විසින් මෙවර ලෝක කුසලාන සංචිතයට ඇතුළත් වීමට පෙර උරහිසේ ශල්‍යකර්මයකට භාජනය වී පැමිණි නමුත්, ඔහුගේ එම ආබාධය නැවත මතුව ඇති බවත්, ඉන් සුව වීමට තවත් දින කිහිපයක් විවේක ගත යුතු බවත් විශ්වාසදායක ආරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබෙනවා. එසේ වුවහොත් කුසල් වෙනුවට දිමුත් කරුණාරත්න ආරම්භක පිතිකරුවා ලෙස කණ්ඩායමට එක් වනු ඇත.

බංග්ලාදේශය සමඟ පැවැත්වුණු පුහුණු තරගය අතරතුර දී ද කුසල් මෙම ආබාධය නිසාම පිටියෙන් ඉවත් වූ අතර, පළමු නිල තරග දෙකේ දී කුසල් පිත්තෙන් ලබා දුන් දායකත්වය සටහන් වුනේ ලකුණු 7ක් සහ 0ක් ලෙසයි.

මීට අමතරව දකුණු අප්‍රිකානුවන් සහ පාකිස්තානය ඉදිරියේ දුර්වල පන්දු යැවීමක නිරත වූ යොවුන් ක්‍රීඩක මතීෂ පතිරණ නියමිත වෙලාවට සිය ආබාධයෙන් සුවය ලැබුවත්, බොහෝ දුරට ඔහු වෙනුවට ලහිරු කුමාර කණ්ඩායමට එක් වීමට ඉඩ තිබෙනවා.

මේ අතර පාකිස්තානය සමඟ පැවැත්වුණු තරගයේ දී විශිෂ්ට ඉනිමක් දියත් කිරීමෙන් පසුව සුළු ආබාධ තත්වයක් නිසා කඩුලු රැකීමට පිටියට පිවිසීමේ වරම් අහිමි වූ කුසල් මෙන්ඩිස් ඕස්ට්‍රේලියාව සමඟ තරගය ක්‍රීඩා කිරීමට සුදුසු මට්ටමක සිටින බව‍යි දැන ගැනීමට ලැබෙන්නේ.

මේ අතර ඕස්ට්‍රේලියාව සමඟ තරගය පැවැත්වීමට නියමිත ලක්නව් තණතීරුව අලුතින් සකස් කර ඇති එකක් වන අතර, එය පිතිකරුවන්ට, දඟපන්දු යවන්නන්ට සහ වේගපන්දු යවන්නන්ට සම මට්‍ටමින් සහය ලබා දෙනු ඇතැයි ද බලාපොරොත්තු වනවා.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<