මහේල ලංකාවේ ක්‍රිකට් ගැන කතා කරයි

ICC Cricket World Cup 2023

14373

හිටපු ශ්‍රී ලංකා නායක සහ වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන බලාපොරොත්තු සහ අනාගතය පිළිබඳ අදහස් පළ කරමින් ThePapare.com සමඟ විශේෂ සාකච්ඡාවකට සම්බන්ධ වුනා. 

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ ඉන්දියාවේ සිට වාර්තාකරණයේ යෙදෙන දමිත් වීරසිංහ විසින් ලක්නව් හිදී මහේල සමඟ මෙම සාකච්ඡාවේ නිරත වූ අතර එහි දී මහේල විසින් දැක්වූ අදහස් පහත දැක්වෙනවා. 

ලෝක කුසලානයේ ලද අවාසනාවන්ත ආරම්භය 

මෙවර ලෝක කුසලානයේ දී මේ වන විට ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය සමඟ තරග වැදී ඇති අතර, එම තරග ද්විත්වය ම අවාසනාවන්ත ලෙස පරාජය වීමට සිදු වුනා. ThePapare සමඟ සාකච්ඡාව අරඹමින් මහේල සඳහන් කළේ එය ලෝක කුසලානය වෙනුවෙන් බලාපොරොත්තු වූ ධනාත්මක ආරම්භය නොවූ බවයි. 

දකුණු අප්‍රිකාව සමඟ තරගයේ පරාජය මෙන්ම විශේෂයෙන්ම පාකිස්තාන සමඟ ලද පරාජය යම් බලාපොරොත්තු බිඳ වැටීමකට හේතු වූ බව පවසන මහේල විසින් අවධාරණය කළේ, මෙවර ලෝක කුසලානය වෙනුවෙන් ඉන්දියාවෙන් ලැබෙන තණතීරු අනුව ආරම්භයේ පටන් ම ධනාත්මක ක්‍රිකට් ක්‍රීඩාවක නිරත වීමට සිය ක්‍රීඩකයින් ව නැඹුරු කළ බවයි. 

“සමහර වෙලාවට එය (ධනාත්මක ක්‍රිකට්) ඔවුන්ට හුරු දෙයක් වුනේ නැහැ. නමුත් විශේෂයෙන්ම අපේ දුර්වල වූ පන්දු යැවීමේ බළඇණිය නිසා අපිට ඒ වගේ ආරම්භයක් අවශ්‍ය වුනා.” 

ශ්‍රී ලංකාව මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකේ දී ම තරමක් වේගවත් ආරම්භයක් ලබා ගනිමින් ලකුණු 300 සීමාව ඉක්මවා යෑමට ද සමත් වුනා. නමුත් එහි දී පිත්තෙන් පෙන්වූ දක්ෂතා පන්දුවෙන් පෙන්වීමට ශ්‍රී ලංකාව අපොහොසත් වුනා. පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාවේ විනය අඩු වූ බවත්, නියම තැන්වල පන්දුව පතිත නොකිරීම නිසා කෙටි හතරේ සීමාවලින් ප්‍රතිවාදීන් ලකුණු රැස් කිරීමට සමත් වූ බවත් මහේල සඳහන් කරනවා. 

එමෙන්ම මෙම තරග ද්විත්වයේ පෙනුණාට වඩා ශ්‍රී ලංකාවේ පන්දු රැකීම හොඳ මට්ටමක පවතින බවයි මහේල විශ්වාස කරන්නේ. තරගාවලිය ආරම්භ කිරීමේ දී එක් ජයග්‍රහණයක් හෝ තිබීම තරගාවලියේ ඉදිරි ගමනට මං පෙත් විවර කරන නමුත් තවමත් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු නිමා වී නොමැති නිසා ධනාත්මක මානසිකත්වයකින් යුතුව තරගාවලියේ ඉතිරි තරග (තවත් තරග 7ක් ඉතිරිව තිබෙනවා) ක්‍රීඩා කළ යුතු බව මහේල සඳහන් කරනවා. 

මේ අතර නිමා වුනු තරග දෙකේ දී ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු භූමිකාවට පණ පෙවූ කුසල් ජනිත් පෙරේරා නැවතත් උරහිසේ යම් ආබාධයකට ලක් වී ඇති බව පසුගිය දා වාර්තා වුනා. එමෙන්ම ඔහු එම තරග දෙකේ දී ම ශ්‍රී ලංකාව බලාපොරොත්තු වූ අන්දමේ ප්‍රවේගකාරී ඉනිම් දියත් කිරීමට ද අපොහොසත් වුනා. කෙසේ නමුත් ඉදිරි තරගවල දී කුසල් කණ්ඩායමට එක් නොවුනහොත් බොහෝ විට දිමුත් කරුණාරත්න හට කණ්ඩායමේ ඉඩ විවර වනු ඇත. 

පසුගිය මාර්තු/අප්‍රේල් මාසවල දී කුසල් පෙරේරා නවසීලන්තය සමඟ හොඳින් ක්‍රීඩා කළ නිසා සහ දිමුත් ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී හොඳින් දක්ෂතා අතරට පිවිසුණු නිසා ඔවුන් දෙදෙනා මෙවර ලෝක කුසලානයේ මූලික තේරීම් අතරට ඇතුළු වූ බව මහේල පවසනවා.

එමෙන්ම අවශ්‍ය වුවහොත් කුසල් සතු ශක්තිය සහ දඟපන්දුවට හොඳින් ක්‍රීඩා කිරීමේ හැකියාව නිසා ඔහු පිතිකරණ අනුපිළිවෙළේ මැදපෙළේ වුව ද (Floater කෙනෙකු ලෙස) ක්‍රීඩා කරවිය හැකි බවයි මහේල පවසන්නේ. නමුත් ඉදිරි තරගවල දී ශ්‍රී ලංකාවේ පිතිකරණ සංයෝජනය තරග පැවැත්වෙන කඩුල්ලේ ස්වභාවය ආදී සාධක අනුව තීරණය වනු ඇති බවත් මහේල අවධාරණය කරනවා.

පාකිස්තානය සමඟ පැවැත්වුණු තරගයේ දී ශ්‍රී ලංකාවේ මැදපෙළින් බලාපොරොත්තු වූ තරම් සහයක් නොලැබීම නිසා ශ්‍රී ලංකාවට ලබා ගත හැකිව තිබූ ලකුණු ප්‍රමාණය අඩු වූ බවට පිරිස් විසින් අදහස් පළ කළා.

මේ පිළිබඳව විමසීමේ දී මෙහේල සඳහන් කළේ එම ඉනිමේ දී චරිත්, දසුන් සහ ධනංජයට බලාපොරොත්තු වූ තරම් සහයක් ලබා දීමට නොහැකි වුනත්, ලකුණු 345-350ක් වැනි ලකුණු ප්‍රමාණයක් පිළිබඳ කනස්සලු විය නොහැකි බවයි. නමුත් පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාවෙන් සිදු වූ දුර්වලතා නිසා එම තරගය පාකිස්තානය දෙසට හැරුණු බවයි මහේල සඳහන් කරන්නේ.

එමෙන්ම, වනිඳු සහ දුශ්මන්ත නොමැති වීම නිසා සහ පන්දු යැවීමේ බළඇණිය සම්පූර්ණයෙන්ම මහීෂ් තීක්ෂණ යටතට බාර වුනත්, ඔහු ද ආබාධයකින් පසුව කණ්ඩායම සමඟ එක් වීම මෙම දුර්වල බවට හේතු වූ බවයි මහේල පවසන්නේ. 

මෙහි දී ධනංජය සිල්වා පිළිබඳ විශේෂ සඳහනක් සිදු කළ මහේල විසින් අවධාරණය කළේ, ඔහු අසීරු අවස්ථාවල නිරන්තරයෙන් ම කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටි බවයි. 

“DDS (ධනංජය) කියන්නේ පසුගිය මාස 12ක කාලය තුළ අපි බිඳ වැටුණු අවස්ථාවල විශ්වාසය තැබූ ක්‍රීඩකයෙක්. ඔබ දන්නවා, ඔහු ඒ වගේ අවස්ථාවලින් අපව මුදවා ගැනීමට හැකි පුද්ගලයෙක්. 

ඔව්, අපිට අවශ්‍ය ශක්තිමත් ක්‍රීඩාව ඔහු සතුව නැති වෙන්න පුළුවන්, නමුත් ඔහුට පිටියේ හිස් තැන්වලින් පහර එල්ල කරමින් අවස්ථා නිර්මාණය කරන්න පුළුවන්.” 

ඉන්දීය තණතීරු සහ ශ්‍රී ලංකාවේ තත්වය 

මේ අතර දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වුණු තරගයෙන් පසුව මාධ්‍ය හමුවට පැමිණි සදීර සමරවික්‍රම විසින් එම තරගයේ දී ශ්‍රී ලංකාවට ලැබුණු පිතිකරණයට හිතකර අන්දමේ තණතීරු ශ්‍රී ලංකාවේ දීත් බලාපොරොත්තු වන බවට ප්‍රකාශයක් සිදු කළා.

එමෙන්ම, මෙවර ලෝක කුසලානයේ මෙතෙක් පැවැත්වුණු තරගවල දී පිතිකරුවන් පහසුවෙන් ලකුණු කරා යාමත් සමඟ ශ්‍රී ලංකාවේ ඇති දඟපන්දුවට උචිත මන්දගාමී තණතීරු පිළිබඳ නැවත වරක් කතාබහක් ගොඩ නැගෙමින් පවතිනවා. මේ පිළිබඳ ව ThePapare විසින් මහේලගෙන් සිදු කළ විමසීමේ දී ඔහු සඳහන් කළේ, තරගාවලිය ආරම්භයේ එවන් තණතීරු ලැබුනත් පසුව එය වෙනස් වනු ඇති බවයි. 

සමහර වෙලාවට අපිට අපේ රටේ දී තරගාවලි ජයග්‍රහණය කරන්න අවශ්‍ය නිසා ශ්‍රේණිගත කිරීම් ලකුණු වෙනුවෙන් අපේ ශක්තිය අනුව ක්‍රීඩා කරන්න වෙනවා. ඒක තමයි අපි පාවිච්චි කළ උපක්‍රමය. ක්‍රීඩකයින්ට වෙනස් තත්ව අනුව හැඩගැසීමට සිදු වෙනවා.”

ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රීඩා සමාජ තරගාවලිවල දී මන්දගාමී තණතීරු භාවිතයට ගැනුනත් ඒවා තම පාලනයේ නොමැති බව පවසන මහේල, පසුගිය වසරේ ආරම්භ වූ NSL (ජාතික සුපර් ලීගය) තරගාවලියේ දී සිය අනුදැනුම යටතේ සමබර තණතීරු භාවිත කිරීමට පෙළඹුණු බවත් විශේෂයෙන්ම සඳහන් කළා. මේ අතර සදීර විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද මහේල මෙහි දී අදහස් දැක්වූවා. 

“කොහොම හරි එය (පිටියේ ස්වභාවය) නිදහසට කරුණක් වෙන්න බැහැ. මම කියන්නේ ඇයි පිතිකරුවෙක් පැමිණිලි කරන්නේ.

මම මේ සම්බන්ධයෙන් සදීර සමඟත් සාකච්ඡා කළා. නමුත් ඒ වෙලාවේ ඔහු එහෙම දෙයක් කියපු එක සාධාරණයි. මොකද ඔහු ගොඩක් ම අලුත් කෙනෙක්, ඒ වගේම මේ අත්දැකීම් ලැබුණේ නැති කෙනෙක්. ඒක ඔවුන්ට අභියෝගයක්. දැන් අපි මේ තත්ව සඳහා අනුගත විය යුතුයි, මේ තමයි අපි ක්‍රීඩා කළ යුතු රිද්මය.” 

තම ක්‍රීඩකයින් ඉතාම හොඳින් මෙම තත්ව සඳහා අනුගත වෙමින් පවතින බවයි මහේල මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේ. 

එමෙන්ම ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීම වෙනුවෙන් කණ්ඩායමක් නිර්මාණය කිරීම කල් ගත වන ක්‍රියාවක් බවයි මහේල පවසන්නේ. සෑම කණ්ඩායමක් ම තම තරුණ ක්‍රීඩකයින් වෙනුවෙන් ආයෝජන සිදු කරමින් ක්‍රිකට් අනාගතය සුරක්ෂිත කිරීමට උත්සාහ දරන බව මහේල පවසනවා. 

ශ්‍රී ලංකාව ද එවැනි ම ක්‍රියා පටිපාටියක යෙදුණ නමුත් අවසන් මොහොතේ ශ්‍රී ලංකාවට ඇති වූ ආබාධ පිළිබඳ ගැටලු නිසා නොසිතූ ලෙස දුනිත්, මතීෂ වැනි ක්‍රීඩකයින් මතට වැඩි බරක් පැටවුණු බවයි ඔහු පවසන්නේ. 

“මම හිතන්නේ ශූරයින් දිනන්නේ පන්දු යැවීමෙන්, පිතිකරණයෙන් නෙවෙයි. පන්දු යැවීම තමයි ශූරතාවක් ජයග්‍රහණය කිරීමේ වඩාත් වැදගත් ම සාධකය වෙන්නේ. ඒ නිසා ඔබ පන්දු යැවීමේ අංශය ගොඩ නැංවිය යුතුයි.” 

අනෙක් රටවල් සහ ශ්‍රී ලංකාව අතර වෙනස 

ලෝකයේ අනෙක් රටවල් හා සැසඳීමේ දී ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ගේ දක්ෂතාවල අඩුවක් නොමැති නමුත් අත්දැකීම් අතින් ශ්‍රී ලංකාව තරමක් පසුපසින් සිටින බවයි මහේල සඳහන් කරන්නේ.

පසුගිය වසර කිහිපයේ ආසියානු කුසලානය (T20) ජයග්‍රහණය කිරීම, ආසියානු අනුශූරයින් (එක්දින) බවට පත්වීම මෙන්ම, විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලි ද්විත්වයක අවසන් පූර්ව වටය ආසන්නයට ම පැමිණීමට සමත් වීම මගින් මෙම කණ්ඩායමේ ශක්‍යතාව පෙන්වා ඇති බව මහේල අවධාරණය කරනවා. එම නිසා අත්දැකීම් සමඟ ශක්තිමත් වන මෙම කණ්ඩායම දිරිගැන්විය යුතු බවයි මහේලගේ අදහස වන්නේ.

මේ අතර වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ දී විශාල පහර එල්ල කළ හැකි ක්‍රීඩකයින් සිටීම සෑම කණ්ඩායමක ම පාහේ අනිවාර්යය දසුනක් වී ඇතත්, ශ්‍රී ලංකාව පාර්ශවයෙන් ගත් කල එය තරමක් වෙනස් ස්වරූපයක් ගන්නවා.

නමුත් ශ්‍රී ලංකාව විසින් අතීතයේ පටන් ම එවැනි ක්‍රීඩකයින්ගේ අඩුව පිරිමසා ගැනීමට සමත් කණ්ඩායම් සංයෝජන භාවිත කිරීමට සමත් වුනා. මේ පිළිබඳව ද ThePapare විසින් මහේලගේ අදහස් විමසුවා. 

“අපිටත් අඩුම තරමේ ඒ වගේ ක්‍රීඩකයින් එක් අයෙක් හෝ දෙදෙනෙක් හිටියා නම් හොඳයි. නමුත් ඔබ කිව්වා වගේ අපිට කවදාවත් එහෙම අය හිටියෙ නැහැ. අපිට හිටියේ තමන්ගේ දක්ෂතාව අනුව පිටියේ හිස්තැන් සොයමින් ආක්‍රමණශීලී ලෙස ලකුණු ලබා ගත් පිතිකරුවන්. සමහර වෙලාවට ඔවුන්ට ප්‍රවේගකාරී පිතිකරුවන්ට වඩා හොඳින් හිස්තැන් වලින් ලකුණු ලබා ගනිමින් ඉහළ ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගෙන ක්‍රීඩා කරන්න හැකි වෙනවා. මොකද ඒ වගේ ප්‍රවේගකාරී පිතිකරුවනුත් මන්දගාමී තණතීරු වල දී අසාර්ථක වෙන්න පුළුවන්.” 

එවැනි ක්‍රීඩකයින් නොමැති වීම වැඩිම බලපෑමක් එල්ල කරන්නේ ඉනිමක 40-50 පන්දුවාරවල දී නිසා එවැනි ක්‍රීඩකයින් නොමැති නම් එය ඉනිමේ මැද පන්දුවාරවල පටන් හසුරුවා ගැනීම සිදු කළ යුතු බව මහේල පවසනවා.  

එමෙන්ම මෙම ගැටලුවට මුහුණ දී සිටින තවත් කණ්ඩායම් මෙවර ලෝක කුසලානයේ දී සහ ඉන්පසුවත් දැකීමට හැකි බව පවසන මහේල අවධාරණය කරන්නේ එවැනි විටක තම ශක්තිය තේරුම් ගනිමින් කණ්ඩායම් විසින් ක්‍රීඩා කළ යුතු බවයි.

එමෙන්ම ප්‍රවේගකාරී පිතිකරණය යනු පන්දුවට වැරෙන් පහර දීම ම නොවන බවත් මහේල පවසනවා. එසේ පහර එල්ල කිරීම ද තාක්ෂණික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බවයි මහේල සඳහන් කරන්නේ.

මේ අතර ඉනිමකට ලකුණු එකතු කිරීමේ දී මෙවැනි තණතීරුවල දී ස්වීප් පහර භාවිතා කිරීම ඉතා හොඳ පියවරක් වනු ඇති බවත් ඔහු පවසනවා. නමුත් අවාසනාවකට ශ්‍රී ලංකාව ඇතුළු ආසියාකරයේ රටවල ක්‍රීඩකයින් එම පහර එල්ල කිරීම සාපේක්ෂව අඩු වී ඇති බවත් මහේල සඳහන් කරනවා. 

“මම අපේ ක්‍රීඩකයින්ට අභියෝගයක් ලබා දුන්නා, ඔබ මෙය (ස්වීප් පහර) කරයි නම් ඔබට පහසු හතරේ ඒවා තියෙනවා. ඒක ඔබ දක්ෂ විය යුතු දෙයක්. මම ස්වීප් නොකළා නම්, මම ලබා ගත් ලකුණුවලින් භාගයක් පමණ මට අහිමි වෙන්න තිබුණා.” 

මෙවැනි පහර නිසා ඉක්මන් ලකුණු සඳහා විශාල ශක්තියක් අත්‍යාවශ්‍ය නොවන බවයි මහේල පවසන්නේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් මහේලගේ දායකත්වය 

මේ අතර වසර දෙකක පමණ කාලයක සිට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් සිය දායකත්වය ලබා දුන්නේ කෙසේ ද යන්න සහ එහි ඉදිරිය පිළිබඳවත් මහේල විසින් මෙහි දී පැහැදිලි කළා. 

“මම හිතන්නේ අපි දැන් දේවල් හරි තැන් වල තියලා තියෙනවා. ඕන කෙනෙක්ට ඇවිත් බලන්න පුළුවන් අපි මොනවද කරන්නේ කියලා.” 

තමන් පමණක් නොව අරවින්ද ද සිල්වා, කුමාර් සංගක්කාර, මුත්තයියා මුරලිදරන් සහ රොශාන් මහානාම යන සියලු දෙනා එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ශක්තිමත් පාදමක් නිර්මාණය කරමින් යන බවත්, එමෙන්ම පන්දු යැවීමේ අංශයෙන් දඟපන්දුව සහ වේගපන්දුව වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරමින් සිටින බවත් මහේල පවසනවා. 

2022 වසරේ දී වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ දුනිත්, මතීෂ වැනි ක්‍රීඩකයින් දැනටමත් ජාතික කණ්ඩායමට එක් වීම සහ ශෙවෝන් ඩැනියෙල් වැනි ක්‍රීඩකයින් ජාතික කණ්ඩායමට ඇතුළු වීමට දොරට තට්ටු කරමින් සිටීම ම මෙම ක්‍රියාවලියේ සාර්ථක බවට උදාහරණ සපයන බවයි මහේල විශ්වාස කරන්නේ. 

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සමාජ අතර ක්‍රිකට් තරග වලින් වර්තමානයේ ක්‍රිකට්වලට ගැළපෙන ක්‍රීඩකයින් බිහි නොවෙන බවත් මහේල විශේෂයෙන්ම සඳහන් කරනවා. මේ නිසා ඔවුන් NSL තරගාවලිය ආරම්භ කළ බව පවසන මහේල වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ දඟපන්දු යවන්නන් ලෝක මට්ටම්ට පැමිණීමේ දී තරමක් වෙනස් වීම්වලට භාජනය විය යුතු බවයි. මෙම ක්‍රියාවලිය තවත් වසර පහක් පමණ ඉදිරියට ගෙන යා හැකි නම් මෙහි සාර්ථක ප්‍රතිඵල දකින්නට ලැබෙනු ඇති බවට මහේල විශ්වාසය පළ කරනවා. 

එමෙන්ම ක්‍රීඩකයින් විදෙස් ක්‍රිකට් ලීග් තරගාවලි සඳහා සහභාගී වීම සම්බන්ධයෙන් ද මහේල අකමැත්තක් දක්වන්නේ නැහැ. 

“ඔවුන් එමගින් අත්දැකීම් ලබා ගැනීමට නියමිත නිසා ඔබ ඔවුන්ට එම ලීගවලට ගිහින් ක්‍රීඩා කරන්න අවසර ලබා දිය යුතුයි. නමුත් ඔබ එය කරනවා නම් ඔවුන් හොඳ ශරීර යෝග්‍යතාවකින් සිටිය යුතුයි. එහෙම නොවුනොත් ඔබ බිඳ වැටේවී. මොකද ඒවා ඉතා ඉක්මනින් සති දෙක තුනක් ඇතුළත පැවැත්වීම නිසා.” 

මේ නිසා ක්‍රීඩක ශරීර යෝග්‍යතාව අතිශය වැදගත් බවත් දැනට වසර එක හමාරකට පමණ පෙර සිට තම පිරිස මෙම යෝග්‍යතාව පිළිබඳ විශේෂ අවධානයක් ලබා දීමට හේතුව එය බවත් මහේල මෙහි දී හෙළිදරව් කළා. 

“අපි මේ යෝග්‍යතා සම්බන්ධ දෙය ආරම්භ කරලා වසර එක හමාරක් පමණ වෙනවා. ඊට විරුද්ධව ගොඩක් ලොකු විරෝධයක් ඇති වුනා. නමුත් මම හිතන්නේ දැන් ටිකෙන් ටික ඔවුනුත් එම මට්ටමින් තරග කළ නොහැකි බව අවබෝධ කර ගෙන තිබෙනවා.” 

එමෙන්ම පළමු වරට ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් සමඟ මෙන්ම ක්‍රීඩා සමාජ ක්‍රීඩකයින් සමඟ ද පූර්ණ කාලීනව පෝෂණවේදියෙකු එක් වී සිටින බවත්, ඊට අමතරව අර්ධ කාලීන ව කණ්ඩායම සමඟ රැඳී සිටින ක්‍රීඩා මනෝවිද්‍යාඥයෙක් ද සිටින බවත් මහේල විසින් හෙළිදරව් කරනවා. මෙම ක්‍රීඩා මනෝවිද්‍යාඥයා පූර්ණ කාලීන ව කණ්ඩායම සමඟ සම්බන්ධ කර ගැනීමට ද බලාපොරොත්තු වන බවයි ඔහු පවසන්නේ.

මේ අතර තාක්ෂණික අංශයෙන් ද ඉදිරියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් විශාල දියුණුවක් ලබනු ඇති බවයි මහේල පවසනවා. නවීන විශ්ලේෂණ ක්‍රම භාවිතය, ඒ වෙනුවෙන් භාවිත කරන Catapult වැනි නවීන උපකරණ මගින් ක්‍රීඩකයින් පිළිබඳ වඩාත් හොඳ විශ්ලේෂණාත්මක තොරතුරු ලබා ගැනීමට හැකි වනු ඇති බවට මහේල විශ්වාසය පළ කරනවා. 

“ඔව්, අපි මේ සියල්ලෙන් ම ගොඩක් පිටුපසින් සිටින්නේ. නමුත් අඩුම තරමේ අපි පටන් ගැනීම ම ධනාත්මක දෙයක්. අපි මේ දේවල් දිගටම දියුණු කර ගනිමින්, ඒවා තේරුම් ගන්න සුදුසු අය සම්බන්ධ කර ගන්න කටයුතු කරනවා.” 

නායකත්වය සහ ඉදිරි සැලසුම්  

එමෙන්ම මෙහි දී මහේල විසින් කණ්ඩායමේ වත්මන් නායකත්වය පිළිබඳ මෙන්ම අනාගත නායකයින් ගොඩ නැගීම සම්බන්ධයෙන් ද සිය අදහස් පළ කළා. 

“මට හැම වෙලාවක ම හිතෙන්නේ නායකයා පළමුව ක්‍රීඩකයෙක් කියලා. ඔව්, මෑත අතීතයේ පැහැදිලිව ම අපිට ක්‍රීඩක සංයෝජන සමඟ යන්න සිදු වුනා. ලෝක කුසලානයට ආසන්න වැඩි නිසා අපිට විශාල තීරණ ගන්න බැරි වුනා.  

අවාසනාවන්ත ලෙස දසුන් අසාර්ථක කාලසමයක් ගත කළා, ඒ හැරුණු කොට ඔහු විශිෂ්ට ක්‍රීඩකයෙක්. ඔහු සතුව ඇති කුසලතා ගොඩක් දුර්ලභයි, හොයා ගන්න අපහසුයි.” 

අනාගත නායකත්වය වෙනුවෙන් එක් ක්‍රීඩකයෙකු නොව ක්‍රීඩකයන් දෙතුන් දෙනෙකු ම සූදානම් කිරීම සිදු කළ යුතු බවයි මහේලගේ අදහස වන්නේ. 

යොවුන් ක්‍රීඩකයින්ට තරුණ කාලයේ දී ම වැඩි වගකීම් ලබා දීම මගින් ඔවුන් ව නිවැරදි මාවතේ යොමු කිරීමට දැනටමත් තමන් ප්‍රමුඛ පිරිස යොමු වී ඇති බවත් මහේල පවසනවා. 

එමෙන්ම අනාගත ඉලක්ක වෙනුවෙන් (ඔලිම්පික් පදක්කමක් වැනි) ක්‍රීඩකයින් සඳහා වර්තමානයේ සිටම ආයෝජන සිදු කළ යුතු බවත් සිය සැලසුම්වල අන්තර්ගත බවයි මහේල මෙහි දී හෙළිදරව් කළේ. 

“ඒ එක ක්‍රීඩකයෙකු පමණක් නොවේවි, ක්‍රීඩකයින් දෙතුන් දෙනෙකු ම සිටී වී. අවශ්‍ය මොහොතේ දී ඔබට තීරණය කරන්න පුළුවන් කොහොමද ඒ සමඟ යන්නේ කියලා.  

අපි පසුගිය විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පසුව මීළඟ විස්සයි විස්ස ලෝක කුසලානයට (2024) යන්නේ කොහොමද කියන දේ සැලසුම් කරා. අපි හොඳින් ම දන්නවා අපි කොහොමද යන්නේ සහ මොන වෙනස්කම් ද සිදු කරන්න යන්නේ කියලා. දැනටමත් ඒ සියල්ල සකස් කර අවසන්. අපිට එය කරන්න අවශ්‍ය නැහැ මොකද දැන් එක්දින ලෝක කුසලනයට අවධානය දීලා තියෙන නිසා.” 

ඒ අනුව මෙවර ලෝක කුසලානයෙන් පසුව ලබන වසරේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ යම් වෙනස්කම් සිදු වනු ඇති බව අනුමාන කළ හැකියි. 

නමුත් අවාසනාවකට 2019 ලෝක කුසලානයෙන් පසුව ශ්‍රී ලංකාවට 2023 පිළිබඳව එවැනි සැලසුමක් නොතිබූ බවයි මහේල පවසන්නේ. 

“ඉතින් මගේ අවවාදය තමයි කුමක් සිදු වුවත් අපිට එය පාලනය කළ නොහැකි. මේ ලෝක කුසලානය ධනාත්මකව ක්‍රීඩා කරන්න. අවසන් පූර්ව වටයට පිවිසෙන්න සහ ජයග්‍රහණය කරන්න උපරිම උත්සාහය දරන්න. නමුත් එසේ නොවුනහොත්, අවසන් වූ වහාම අපි මීළඟ තරග වාරය වෙනුවෙන් නිසි සැලසුමක් සකස් කළ යුතුයි.” 

මෙවර ලෝක කුසලානයෙන් කුමන ප්‍රතිඵලයක් ලැබුණ ද ශ්‍රී ලංකාවේ ඉන් පසු ගමන වෙනුවෙන් නවමු සැලසුම් සකස් විය යුතු බවයි මහේල විශ්වාස කරන්නේ. 

කුසල් මෙන්ඩිස් 

මේ අතර මෙවර ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සතු විශාලතම සම්පත බවට පත් වී ඇති කුසල් මෙන්ඩිස් පිළිබඳ ව ද ThePapare විසින් මහේලගේ අදහස් විමසා සිටියා. 

“කුසල්ගේ කුඩා කල පටන් ම මට නිතරම ඔහු ගොඩක් විශේෂ ක්‍රීඩකයෙක් බව දැනුණා. හැමෝම ඔහුගේ හැකියාව සහ ඒ සියල්ල ගැන සැක පළ කරන විට පවා මම ඔහු වෙනුවෙන් ආයෝජනය කළ යුතු බව කිව්වා. ඕනෑම ක්‍රීඩකයෙක් වැරදි සිදු කරාවි. නමුත් මම හිතන්නේ ඔහු ඉතා ඉක්මනින් වැඩෙමින් පරිණත වෙලා තියෙනවා. 

ඔහු ගැන ඇති හොඳම දෙය තමයි, පසුගිය අවුරුදු කිහිපය තුළ අනෙක් සියලු අංග අවහිර කිරීමට සමත් වීම. එය ඔහුගේ ශක්තිය බවට පත් වුනා, ඔහු ක්‍රීඩාවට පමණක් අවධානය යොමු කරන්නේ කෙසේ දැයි ඉගෙන ගත්තා.”

කුසල් මෙන්ඩිස් යනු දක්ෂතා රැසක් ඇති ක්‍රීඩකයෙකු බවත්, ඔහු වේගපන්දුවට ඉතා හොඳින් මුහුණ දෙන බවත් මහේල පවසනවා. එමෙන්ම දඟපන්දුවට ද මෙන්ඩිස් හොඳින් ක්‍රීඩා කරන නමුත් තවත් හොඳින් ඔහුට එය සිදු කළ හැකි බවයි මහේලගේ අදහස වන්නේ.

පසුගිය කාලයේ මෙන්ඩිස් ගත කළ අසාර්ථක ක්‍රීඩා සමය නිමා කිරීම වෙනුවෙන් ඔහුගේ තාක්ෂණික අංශයේ සුළු වෙනස්කම් කිහිපයක් සිදු කළා සේම ඔහුගේ ආත්ම විශ්වාසය ඉහළ දැමීමට ද කටයුතු කළ බව මහේල හෙළිදරව් කළා.

මහේල විසින් මෙම සාකච්ඡාව පුරාවටම සඳහන් කළ අනාගතය වෙනුවෙන් ආයෝජනය කිරීමේ වැඩපිළිවෙළේ කුසල් මෙන්ඩිස් ද එක් කොටසක් වූ බව වටහා ගත හැකි. එමෙන්ම මහේල පවසන්නේ දැන් මෙන්ඩිස් වටා මෙම කණ්ඩායම ගොඩ නැංවිය යුතු බවයි. 

විස්සයි විස්ස ලීග් සහ එක්දින ක්‍රිකට් 

මේ අතර අවසාන වශයෙන් මේ දිනවල ක්‍රිකට් ලෝකයට බලපා ඇති විශාලතම ගැටලුවලින් එකක් වන එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය සහ විස්සයි විස්ස ලීග් තරගාවලි පිළිබඳ මහේලගේ අදහස් විමසීමට ද ThePapare අමතක කළේ නැහැ. විශේෂයෙන්ම Mumbai Indians කණ්ඩායමේ ඉහළ තනතුරක් හෙබවීම මගින් මහේලට මේ පිළිබඳ ඉහළ අත්දැකීම් ප්‍රමාණයක් ද තිබෙනවා. 

මහේල පවසන පරිදි ද්විපාර්ශවික එක්දින සහ ටෙස්ට් තරගාවලිවලට වැඩි ඉඩක් ලබ දෙමින්, ද්විපාර්ශවික විස්සයි විස්ස තරග අඩු කිරීම සිදු කළ යුතු වනවා. විශේෂයෙන්ම එවන් තරගාවලිවල දී එක්දින සහ ටෙස්ට් තරග ප්‍රමාණය ඉහළ නංවමින් විස්සයි විස්ස තරග අඩු කිරීම කළ යුතු වුවත් මූල්‍යමය පැත්තෙන් බලන කළ එය එතරම් ම ප්‍රායෝගික නොවන බවත් මහේල සඳහන් කළා.

මෙහි දී ලීග් තරගාවලිවලින් ක්‍රීඩකයින්ට ඕනෑ තරම් විස්සයි විස්ස අත්දැකීම් ලබා ගත හැකි නිසා ද්විපාර්ශවික තරගාවලිවල විස්සයි විස්ස තරග අත්‍යාවශ්‍ය නොවන බවයි මහේලගේ තර්කය වන්නේ.

එමෙන්ම LPL වැනි ලීග් තරගාවලි නිසා දේශීය ක්‍රීඩකයින්ට විදෙස් ක්‍රීඩකයින් හා මුසු වීමට ලැබෙන ඉඩ ප්‍රස්තාව සම්බන්ධයෙන් ද මහේල ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වූවා. කෙසේ වෙතත් පාපන්දු ක්‍රීඩාවේ මෙන් ලීග් තරගවලට වැඩි ඉඩක් ලැබෙන, ලෝක කුසලානය වෙනුවෙන් පමණක් සිය රට නියෝජනය කරන ආකෘතියක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් තවත් කාලයක් යන තුරු දකින්න නොලැබෙණු ඇති බවයි මහේල විශ්වාස කරන්නේ.

මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් පුවත් ඉන්දියාවේ සිට ම ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<